බොහෝ සමාගම් විසින් ලබාදෙන ඉන්ධන දීමනා යටතේ ඉන්ධන මිලදීගන්නා පෞද්ගලික අංශයේ කාර්යමණ්ඩලය එම මුදල් ආපසු ලබාගැනීමට යාමේදී සිදුවන අපහසුතා මඟහැරවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආයතනික ඉන්ධන ක්‍රෙඩිට් කාඩ් පතක් සහ පෙරගෙවුම් ඉන්ධන කාඩ් පතක් හඳුන්වා දී තිබේ.
සෑම මාසයකදීම තම සේවකයන්ගේ ඉන්ධන වියදම් ආපසු ඔවුන් වෙත ලබාදෙන මහා පරිමාණ මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ සමාගම් සඳහා මෙම කාඩ්පත් නිර්මාණය කර තිබෙන අතර, සමාගම්වල ඉන්ධන පොත් සහ ගමන් වවුචර පොත් වෙනුවට මෙම කාඩ්පත් භාවිත කළ හැකි වේ. මෙහිදී, බිල්පත් පරීක්ෂා කිරීමට, තොරතුරු එකතු කිරීමට සහ ඒවා සලකා බැලීමට යන කාලය ඉතිරිකර ගැනීමට අවස්ථාව හිමිවන අතර බිල්පත් නැතිවීමේදී ඇතිවන ගැටලු මඟහැරේ.
සමාගමක ඉල්ලීම මත බැංකුව විසින් එම සමාගමේ සේවකයන්ට මෙම පෙරගෙවුම් ඉන්ධන කාඩ්පත් නිකුත් කරන අතර ඒවා නැවත නැවතත් රීලෝඩ් කළ හැකි වේ. මෙම කාඩ්පත් ඩෙබිට් කාඩ්පත් ලෙසින් ක්‍රියාකරන අතර ඒවා භාවිත කළ හැක්කේ ඉන්ධන පිරවුම්හල්වලදී පමණි. මෙහදී, මාසය ආරම්භයේදී සමාගමට සිය සේවකයන්ගේ මාසික ඉන්ධන දීමනාව කොමර්ෂල් බැංකුවේ පෙර ගෙවුම් ඉන්ධන කාඩ්පත් ගිණුමට බැරකළ හැකි අතර සේවකයන්ට මාසය පුරාම එම කාඩ්පත තුළින් ඉන්ධන මිලදී ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවේ.











