ජීවිතයේ දෙවැනි උපත වන විවාහයේ ප්‍රධාන බලාපොරොත්තුව නිරෝගී, රුවැති දරුවකුගේ සුරතල් බැලීමයි. කාන්තාවකට දරුවකු ලැබීමෙන් ඇය ලොව ඇති උතුම්ම පදවියට එනම් මවු පදවියට උරුමකම් කියනු ලබයි. ගර්භණී සමයේදී කාන්තාවකට ශරීරයේ විවිධ වෙනස්කම් ඇතිවේ. එමෙන්ම අවට සිටින සැමගේ උදව් උපකාර, රසවත් කෑම බීම, ගරු සැලකිලි, ආදරය, කරුණාව නොඅඩුව ලැබේ. සිය සැමියාගෙන්ද ඉහළ සැලකිලි ලබන කාලයක් ලෙස ගර්භණී කාලය සැලකිය හැකිය. දරුවා පිළිසිඳ ගත් දා පටන් මව එම දරුවා වෙනුවෙන්ම කැපවේ. දරුවා ගැන පමණක් සිතයි. එනිසාම දරුවාට කුස තුළදී සිය මව සිතන පතන දේ, කරන කියන දේ හොඳින් තේරුම් යයි. එමෙන්ම දරුවාට අවශ්‍ය දේ, අනවශ්‍ය දේ, දරුවා කැමැති අකැමැති දේ මවට හොඳින් දැනේ. දොළදුක ලෙස දැනෙනුයේද දරුවාට පෝෂණය පිණිස අවශ්‍ය හෝ දරුවා කැමැති දේවල්ය.
කාන්තාවක් ගැබිනියක් වූ පසු මුල් මාස 3 යන තුරු ඈලිමෑලි දුබල ගතිය, ආහාර අරුචිය හා වමනය වැනි සංකූලතා ඇතිවේ. දොළදුක ඇතිවනුයේ 4 වැනි මාසයේ සිටය. දොළදුක යනු ගැබිනි සමයේ කාන්තාවකට ඇතිවන විවිධ ආශාවන්ය. මෙම ආශාවන් අතර කෑම බීම සඳහා ඇතිවන ආශාව ප්‍රධාන ස්ථානයක් ගනී. ඊට අමතරව යම් ස්ථාන කරා යෑමට ඇති ආශාව, විවිධ සුවඳ වර්ග විඳීමේ ආශාවද බොහෝ ගැබිනි මවුවරුන් තුළින් දැකිය හැකිය.
ගර්භණී වීමත් සමග ඇතිවන දොළදුක බටහිර රටවල පිළිනොගනී. නමුත් ඉන්දියාව, ලංකාව, පාකිස්තානය, චීනය, ජපානය හා කොරියාව යන රටවල එය බොහෝ දුරට පිළිගනී. එමෙන්ම ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල දොළදුක් කාලයට එම ගැබිනි කාන්තාව කෑමට ප්‍රිය ආහාර වර්ග සූදානම් කර තම නිවෙසේ ප්‍රිය සම්භාෂණ ආකාරයට උත්සව පවත්වයි. එහිදී ගැබිනියගේ හා ඇගේ සැමියාගේ ඥාතීන් හා යහළුවන් ඊට ආරාධනා ලබන අතර ඔවුන් ගැබිනි කාන්තාව සමග බොහෝ විනෝද වී ඇගේ මනදොළ සතුටින් පුරවාලයි.
ඒ තුළින් දරුවාගේ මනසේ වර්ධනය හා දරුවාට සතුටු සුවය භුක්ති විඳීමට දීම අරමුණයි. මොවුන් කරන මෙම ක්‍රියාව ජ්‍යොතිෂ ඇසින් බැලුවහොත් එහි විශාල අරුතක්ද වේ. මෙසේ ගැබිනිය කෑමට කැමැති ආහාර විශාල පිරිසකට දානයක් ලෙස දීම හේතුවෙන් එම ගැබිනියට යම් අපල තත්ත්වයක්, මාරකයක් වේ නම් ආහාර දන් දීමේ පිනේ ආනුභාවයෙන් එම අපල තත්ත්වය දුරුවී හෝ අවම වී යනු ඇත.
දොළදුක් කාලය තුළ ඇතිවන ආශාවන් අනුව ලැබීමට සිටින දරුවා පිළිබඳ අනාවැකි කීමද පැරැන්නන් තුළ තිබූ සිරිතකි. පලතුරු වර්ග කෑමට ආශාවක් ගැබිනි කාන්තාවට ඇතිවුවහොත් උපදින්නට සිටින බිලිඳා යහපත් ආත්මභවයක සිට මවු කුල පිළිසිඳ ගත් අයකු බවත්, ඔහු හෝ ඇය සමාජයේ ගුණධර්ම ඇති අයකු ලෙස ජීවත් වන බවත් මතයයි.
මස් මාංශ ආහාරයට ගැනීමට ප්‍රිය වීම, දුගඳ ආග්‍රහනයට ප්‍රිය වීම සිදුවුවහොත් දරුවා නරක ආත්ම භවයක සිට මවු කුස පිළිසිඳ ගත් අයකු ලෙසත්, අනාගතයේ බොහෝ නරක ක්‍රියාවල යෙදෙන, සමාජයට හානි පමුණුවන අකාරුණික හා අනාදරය පතුරුවන අයකු ලෙසත් පිළිගැනේ. එලෙසම ගැබිනිය නිතර පන්සල් යෑමට ප්‍රිය වීම, පින් පෙත් කිරීමට ප්‍රිය වීම, දුගී මගී යාචකයන්ට දන් දීමට ප්‍රිය වීම, සුවඳ දුම්, මිහිරි සුවඳ විඳීමට ප්‍රිය වීම තුළින් ලැබෙන්නට සිටින දරුවාගේ විඥානයේ ස්වභාවය මැනගනී.
ඔහු හෝ ඇය පෙර භවයේ යහපත් ආත්ම භවයක සිට චුතුවී මවු කුස පිළිසිඳ ගත් බවත්, අනාගතයේ රටට, දැයට වැඩදායී අයකු ලෙස ජීවිතය ගෙනයන, ගුණගරුක අයකු වේ යැයි පිළිගැනෙන බවත් කියැවේ. නමුත් ආයුර්වේදයේ දොළදුකට කෑමට ආශා හිතෙන ආහාර වර්ග දරුවාගේ ඌනතා සැපිරීමට උපයෝගී වන බව පවසයි. උදාහරණයක් ලෙස පලතුරු, එළවළු කෑමට ආශා වීම මවු කුසේ සිටින ළදරුවාට විටමින් ඌනතාවක් ඇති විට එය පියවා ගැනීමටත්, මස් මාළු කෑමට ආශා වීම දරුවාට ප්‍රෝටීන් ඌනතාවක් ඇති වූ විට එය පියවා ගැනීමටත්, විටමින් සී ඌනතාවක් බිලිඳාට ඇති වූ විට මවට වැඩිපුර ඇඹුල් වර්ග රුචි වීමත් සඳහන් කළ හැකිය.
ආයුර්වේදයේ මෙසේ සැලකුවද බටහිර වෛද්‍ය විද්‍යාවේ දොළදුක හඳුන්වනුයේ ගැබිනි සමයේ ඇතිවන හෝමෝන වෙනස්වීමක් හා ස්නායු උත්තේජනය වී මොළයට ලැබෙන සංඥාවල වෙනස්වීමක් ලෙසය.
ගැබිනියකට යමක් කෑමට හෝ ගමනක් යෑමට දොළදුකක් ඇතිවුවහොත් එය අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු බව පොතපතේ සඳහන්ය. මන්ද එසේ නොවුණහොත් එය දරුවාගේ වර්ධනයට මෙන්ම නිරෝගී බවට බලපාන නිසායි. මවගේ සියලු සිතුම් පැතුම් ඉටුවී මව සතුටින් සිටී නම් කුසේ සිටින දරුවාද සුවෙන් වැඩෙන බව නොරහසකි. මවට දැනෙන සියලු දේත් මව විඳින සියලු දේත් දරුවාද විඳිනු ලබයි. ඒ මව හා දරුවා අතර තිබෙන සම්බන්ධය නිසාය.
ලොව උපදින මනුෂ්‍යයකුට විඳීමට සිදුවන විශාලතම වේදනාව හා උතුම් මවු පදවිය යන දෙකම එක විට භුක්ති විඳීමට යන ගමනේ ඇයට ඇතිවන ඕනෑ එපාකම් සියල්ල සැමියා ප්‍රමුඛ කොට ඇති සියලුම ඥාතීන් විසින් ලබාදීමට තරයේ සිත තබාගත යුතුය. ඇයගේ සිත අසන්තෝෂයෙන් තැබීම ඇයට දුක් පීඩා දීම කිසි විටෙකත් නොකළ යුතුය.
– ජ්‍යොතිෂවේදී, ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී