ඔබගේ විවාහය තවමත් පරක්කුද? නැතිනම් ඔබට සුදුසු සහකරු හෝ සහකාරිය ජන්ම පත්‍රයට අනුව තාමත් මුණගැහුණේ නැද්ද? කෙතරම් මංගල යෝජනා ආවත් ඒවා එකක්වත් ඔබේ කේන්ද්‍ර සටහනට අනුව ගැළපුණේ නැද්ද? ගළපලා හොයලා බලලා තිබුණත් කෙරෙන පාටක් පේන්න නැතිද? මෙවැනි දහසකුත් ප්‍රශ්න මැද ඔබත් සිත් වේදනා විඳින අයෙක් නම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ පිළිබඳ ඔබ කෙතරම් දුරට දැනුවත් වී සිටින්නේද? එසේ පීඩා විඳින ඔබට මෙම ලිපිය වැදගත් වේවි කියා සිතමින් අද මම සෙනසුරු නිසා ඔබේ ජීවිතයට එල්ල වුණු පීඩාවෙන් මිදෙන්න හැකි ක්‍රමයන් ගැන දැනුවත් කිරීමටයි මේ සූදානම. Sri Lanka Latest News
ඔබේ කේන්ද්‍ර සටහනේ 7 වැනි භාවයේ ශනි – කුජ කියන ග්‍රහයන් සංයෝග වී හෝ යෝග වී හෝ ඉන්නවාද? මෙසේ සිටිනවා නම් එම ග්‍රහ තත්ත්වය විවාහ දෝෂයන් කැන්දන බව ඔබ දන්නවාද? එම දෝෂ තත්ත්වය ජ්‍යොතිෂයේදී ශනි මංගල දෝෂය ලෙසින් හඳුන්වන්නේය. මෙහිදී ශනි යනු සෙනසුරු ලෙසත්, මංගල යනු කුජ ග්‍රහයාට කියන තවත් නමක් ලෙසත් සඳහන් කළ යුතුය. මෙය කුජ – ශනි දෙදෙනාගේ සංයෝග වීමෙන් විතරක්ම නොවේ, එකිනෙකාගේ දෘෂ්ටියට හසුවීමෙන් පවා යෙදෙන්නේ වේ. එය අපි ජ්‍යොතිෂයට අනුව ගත්කල අර්ධ ශනි මංගල දෝෂය ලෙසද ගනු ලැබේ. වාසනාව අවාසනාව කරන මෙම පිහිටීම් දෙදෙනාගේම කේන්ද්‍ර සටහන්වල යෙදීම තුළින් මෙකී විවාහ දෝෂ තත්ත්වය භංග වී නියම ශුභ ඵල උදාකිරීමට සමත් වන බව ඔබ දන්නවාද? මෙසේ නොගැළපීම් මත සිදුවන විවාහයන් තුළ එකිනෙකා තනිවීම, අනෙක් කෙනාට දරුණු අනතුරු අවහිරතා ඇතිවීම, තමා නොසිතූ මොහොතක විපත්ති කරදරවලට මුහුණ දීමට සිදුවීම, ආර්ථික දුෂ්කරතාවන් උත්සන්න වීම, දියුණුවට ඇති මාර්ග අවහිර වීම ආදී වූ ඉතා අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට පවා සිදුවනුයේ නිවැරැදිව විවාහ දෝෂ පරීක්ෂාවක් කර නිවැරැදි උපදෙස් මාලාවක් පිළිපැදීමට නොහැකි වීමෙන් බවත් මා මෙහිදී කිව යුතුව ඇත.
මෙම විවාහ දෝෂ කැන්දන ආකාර කිහිපයක්ම ජ්‍යොතිෂයෙහි මේ ආකාරයට සඳහන්ව ඇත.
● කුජ ග්‍රහයාගෙන් 4-7-8 යන භාවයක ශනිගේ පිහිටීම තිබීම.
● කුජගෙන් 4 වැන්නේ ශනි සිටීම.
● කුජ, ශනි එකම කොටුවක සිටීම.
● කුජගෙන් 7 වැන්නේ ශනි සිටීම.
● කුජගෙන් 8 වැන්නේ ශනි සිටීම.
● ශනි ග්‍රහයාගෙන් 3 වැන්නේ කුජ සිටීම.
● ශනිගෙන් 7 වැන්නේ කුජ ග්‍රහයා සිටීම.
● ශනිගෙන් 10 වැන්නේ කුජ ග්‍රහයා තැන්පත්ව සිටීම.
ඒ ආකාරයට මෙම අශුභ යෝගය උදාවන අතර, මෙම කේන්ද්‍ර සටහන් දෙකේම නිවැරැදි ලෙස බලා පරීක්ෂා කොට මෙම විවාහ දෝෂ කේන්ද්‍ර දෙකෙහිම යෙදුණේ නම් එම විවාහ යුග දිවිය ඉතා වීර්යවන්ත වූ, ධෛර්යසම්පන්න වූද ආර්ථිකය අතින් ඉහළ ශක්තිමත්භාවයක් රඳන්නාවූද, මනා ගැළපීම් සහිත විවාහ දිවියකට උරුමකම් කියන්නේද වේ.
එබැවින් විවාහ කේන්ද්‍ර පරීක්ෂාවකදී නම් මෙකී සකලවිධ දෝෂ තත්ත්වයන් මැනැවින් පරීක්ෂා කළ යුතුව ඇත. එසේ නොවීම තුළ විවාහ සැපත අඩුවීම, යුගදිවි බාධා උත්සන්න වීම, කටුක අමිහිරි අසුන්දර අත්විඳීම් හමුවේ අසරණ වීම, යුගදිවි ගැටලු උත්සන්න වීම, දෙදෙනාට දෙදෙනා නොරිස්සීම, ලිංගික දුබලතා ඉස්මතු වීම, හදිසි අනතුරු මෙන්ම අකල් මරණ හමුවේ අසරණ වීම වැනි කලකිරීම්සහගත තත්ත්වයන්ට බොහෝ විට මුහුණ පාන්නට සිදුවනු ඇත. මෙහිදී මා තවදුරටත් සඳහන් කරනුයේ විවාහ කේන්ද්‍ර පරීක්ෂාවකදී මෙකී කරුණු අනුව ගත්කල එනම් ජ්‍යොතිර් විද්‍යාවට අනුව ගත්කල 7 වැනි භාවයේ හෝ 8 වැනි භාවයේ මෙම ශනි මංගල දෝෂ තත්ත්වයක් පෙන්නුම් කෙරේ නම් අනිවාර්යයෙන්ම එවැනි විවාහ ගිවිසාගැනීමක් සිදුවිය යුත්තේද එවැනිම වූ තවත් 7 වැන්නේ සහ 8 වැන්නේ එවැනිම වූ පාපී කේන්ද්‍රයක් සමග බව ඔබ මෙහිදී වඩාත් හොඳින්ම දැනගත යුතු කාරණා අතරින් එකකි. කෙතරම් දුරට පාපී දෝෂ සහිත කේන්ද්‍ර සටහනක් වුවද කේන්ද්‍ර ගැළපීමේදී නම් ශනි මංගල දෝෂයට නොගැළපෙන ආකාරයෙන් පිහිටියේ නම් එම කේන්ද්‍ර විවාහ සඳහා නොගත යුතුව ඇත.
ඉහත කී ග්‍රහයන්ගේ අංශක ගණන ගැන බලා ඒ අනුව මෙකී දෝෂ තත්ත්වයන්වල බලපෑම අවම වන අවස්ථාව අපට විද්‍යමාන වී ඇත. එයට හේතුව භාවකේන්ද්‍ර සටහනේ සටහන් වන ආකාරයට අනුව මෙම තත්ත්වය වෙනස් වීමක් පෙන්නුම් කෙරෙනු ඇත. එම නිසා දුටු විගසම බියවීමද එතරම් ශුභ නොවනු ඇත. කරුණු කාරණා මැනැවින් විමසා බලා තීරණයකට එළැඹීමට ඔබ දක්ෂ විය යුතුය.
දැඩි ආත්ම ශක්තිය ඇති, ඉතා කාර්යශූර, එඩිතර, තාක්ෂණික, කාර්මික, ඉංජිනේරු වෘත්තීන්වල නියැළෙන බොහෝ දියුණු වන පුද්ගලයන් මෙම යෝගය හරහා ලොවට දායාද වී ඇත. ඒ වගේම මෙම ශනි මංගල යෝගය පිහිටි ස්ථාන අනුව මෙන්ම යෝගකාරක ග්‍රහයන්ගේ ග්‍රහ තත්ත්වය මෙන්ම මොවුන් බැඳී සිටි නැකැත් හිමි අධිපතීන් උපඅධිපතීන් නවාංශකයේ ශුභ ලෙස පිහිටීම ආදී බොහොමයක් කාරණා සොයාබලා මෙම තත්ත්වය පිහිටීම ගැන නිරීක්ෂණයකට ආ යුතුව ඇත. බොහෝ ප්‍රසිද්ධ, වෙහෙස නොබලා වැඩ කරන, දියුණුවේ මාවත් තනන මෙකී පුද්ගලයන්ගේ තරමක් දරදඬු අහංකාර ගති පැවැතුම්ද නැත්තේම නොවේ.
මේවාට පිළියම් වශයෙන් නිවැරැදි කේන්ද්‍ර පරීක්ෂාවක් කළ පසුව සෙත්කවි රචනා කිරීම, බාරහාර වීම, වත්පිළිවෙත් නිවැරැදි ලෙස කිරීම, දෙවියන්ට භාර වීම, අවිවාහක අයට උදව් උපකාර කොට විවාහ කරදීම ආදී පිළියම් බොහොමයක් ජ්‍යොතිර් විද්‍යාව හරහා ලොවට හෙළිදරව් කර ඇති අතර, නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවක් කිරීම තුළින්ම මේ සඳහා නිවැරැදි වත්පිළිවෙත් ආරම්භ කළ යුතුව ඇත.
තවත් මෙවන් වූ කරුණු ඇසුරින් ඔබව දැනුවත් කිරීමට ලබන සතියේදීත් හමුවන තුරු ඔබ සැමට සියලු යහපතම උදාවේවායි පතමි.

ජ්‍යොතිර්වේදිනී පී.එම්. සංජීවී වසන්ති
(ජ්‍යොතිර් විද්‍යා ඩිප්ලෝමාධාරිනී / ජ්‍යොතිෂ ශිරෝමනී,ජ්‍යොතිෂ අවිශ්කාර් විශිෂ්ට ගෞරව සම්මානලාභිනී, සෙත්කවි ශාස්ත්‍ර විශාරද විශිෂ්ට ගෞරව සම්මානලාභිනී)
සංජීවී ජ්‍යොතිර් පියස
දුරකතන – 0777 130391











