2026.06.28 සිට 2026.07.04 දක්වා කුජ, යුරේනස්, රවි, ගුරු, බුධ, සිකුරු, ශනි, නැප්චූන් යෝග පොකුරක් සහිත සතියක්. චන්ද්‍රයාගෙන් තීරණාත්මක රාශි මාරුකිරීම් තුනක්
2026.06.28 වැනිදායින් ආරම්භ වන ඉදිරි සතියේ සමස්ත ග්‍රහ ගෝචරයන් සැලකිල්ලට ගැනීමේදී සතියේ ආරම්භයේම කුජ යුරේනස් වෘෂභ රාශියේත්, රවි, ගුරු, මිථුන රාශියේත්, බුධ, සිකුරු කටක රාශියේත්, කේතු ග්‍රහයා සිංහල රාශියේත්, චන්ද්‍රයා වෘශ්චික රාශියේත්, රාහු කුම්භ රාශියේත්, සෙනසුරු සහ නැප්චූන් මීන රාශියේත් ගෝචරව සිටිති. ඒ අනුව සමස්ත ග්‍රහ සිත්තම තුළ රවි, ගුරු යෝගයක්, බුධ සිකුරු යෝගයක්, කුජ යුරේනස් යෝගයක්, ශනි නැප්චූන් යෝගයක්ද පෙන්නුම් කරයි. එමෙන්ම මෙම 28 වැනිදා සිට ජූලි 04 වැනිදා දක්වා සඳු හෙවත් චන්ද්‍රයා සිය ගෝචර ගමනේදී වෘශ්චික, ධනු, මකර යන රාශි ත්‍රිත්වයේම ගෝචර වීමට නියමිතය. Sri Lanka Latest News
මෙම ග්‍රහ තත්ත්වය අනුව විමසීමේදී ඉදිරි සතිය ඉතා තීරණාත්මක සතියක් බව පෙන්නුම් කෙරේ. ඒ අනුව ඉදිරි සතියේ ලෝකවාසී ජනතාවට සැනසිලිදායක පුවතක් අසන්නට ලැබෙනු ඇත. එමෙන්ම ජනතාවගේ යහපත උදෙසා ගැනෙන විශේෂ තීන්දු තීරණ කිහිපයක් ලෝකයේ විවිධ තැන්වලින් ඇසෙන්නට ඉඩ තිබේ. ලෝකය තුළ හෝ රට තුළ ස්ත්‍රීන් සම්බන්ධ කතාබහක් මෙන්ම අධ්‍යාපනය සම්බන්ධ කතාබස් දුරදිග යන බවක් පෙන්නුම් කෙරේ. එමෙන්ම රට තුළ ආහාර හෝ ඒ ආශ්‍රිත මාතෘකා සම්බන්ධ යම් යම් කතාබස් ඇතිවීමට ඉඩ තිබේ.
සතිය අවසානයේ යම් ආන්දෝලනාත්මක පුවතක් අසන්නට ලැබෙනු ඇත. එමෙන්ම අතපසුවීමක්, මගහැරීමක් හෝ ඊට සමාන කාරණාවක් කතාබහට ගන්නට සිදුවනු ඇත. හදිසි අනතුරු සිදුවන අවදානමක් පෙන්වන අතර ගැටෙන වැටෙන කැපෙන කෙටෙන වැඩ කරන අය මෙන්ම විශේෂයෙන් රථ වාහන පදවන්නන් සිය ආරක්ෂාව ගැන දෙවරක් සිතට ගත යුතු සතියකි.
කෙසේ නමුත් මෙම ග්‍රහ තත්ත්වය අනුව ඉදිරි සතිය ඔබගේ ලග්නයට අනුව විමසීමේදී ලග්න පහකට පැතුම් ඉටුකර ගන්නට මග පෑදෙන අතර, ලග්න හතකට තීරණාත්මක සතියක් බව පෙන්නුම් කරයි.
මේෂ ලග්නය – අමුතු හැඟීම්
උදරය ආශ්‍රිත යම් යම් අපහසුතා දැනෙනු ඇත. හදිසි ආරංචි ලැබේ. නීතිය සම්බන්ධ කතාබස් ඇති කෙරේ. වෙනදාට වඩා අමුතු හැඟීම් ඇති කෙරෙන අතර සතිය අවසාන භාගයේ දුර ගමන්, ආගමික අංශය සමග ගනුදෙනු මෙන්ම හදිසි මූල්‍ය වාසිද පෙන්නුම් කෙරේ.
වෘෂභ ලග්නය – සතුරන් පරදී
විශේෂ ගමන් බිමන් යෙදෙන අතර, දියර සම්බන්ධ කාරණා ගැන ලැබීම් පෙන්වයි. රැකියා ලැබීමේ මෙන්ම රැකියා කරන්නන්ට විශේෂ වරප්‍රසාද හිමිවේ. ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය ලැබෙන සතියකි. සතුරන් පරාජය කිරීමට හොඳම දින හතකි. ව්‍යාපාරවලින් වැඩි වාසි හිමිවේ.
මිථුන ලග්නය – ප්‍රවේශම වැදගත්
රැකියාව සම්බන්ධ හදිසි ලැබීම් යෙදෙනු ඇත. නව සබඳතා ගොඩනැගෙන අතර, සතිය අගදී සිත් තැවුල්, අවනම්බු ඇතිවිය හැකිය. ගනුදෙනු ප්‍රවේශමෙන් කළ යුතු සතියකි. රෝග තත්ත්ව ගැන අවධානයට හේතු යෙදේ. ප්‍රවේශම් විය යුතුය.
කටක ලග්නය – ස්ත්‍රී පුරුෂ විශේෂ බැඳීම්
ස්ත්‍රී පාර්ශ්වයෙන් විශේෂ වාසි යෙදෙනු ඇත. දුර ගමන් බිමන් වාසි මෙන්ම දුර බැහැර සිටි අයකු ඔබ සොයාගෙන පැමිණේ. සමාජය සමග සම්බන්ධතා තර කෙරේ. සතිය අගදී ගනුදෙනුවලින් පාඩු විය හැකිය. සති අගදී ස්ත්‍රී පුරුෂ බැඳීමකට හේතු යෙදේ.
සිංහ ලග්නය – බලාපොරොත්තු ඉටුවේ
සතිය ආරම්භයේදීම විරුද්ධ ලිංගිකයන් සම්බන්ධ විශේෂ ආරංචියකින් සතුටට හේතු යෙදෙන අතර, තමා කලක සිට බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඉටුවන බවට ස්ථිර වීමක් සිදුවනු ඇත. එහෙත් සතිය අවසානයේ ශරීරයේ අප්‍රාණික බවක්, පීඩාකාරී බවක් දැනේ.
කන්‍යා ලග්නය – විශේෂ වාසි
සතිය ආරම්භයේ සිත් සතුටට හේතු යෙදේ. පවුලේ හෝ පිටස්තර අයකු ගැන සුබ ආරංචියක් ලැබෙනු ඇත. ගමන් බිමන්වලින් වාසි අත්වේ. හදිසි ධන ලාභ මෙන්ම වාහන ලාභ වැනි විශේෂ වාසිද යෙදේ.
තුලා ලග්නය – නව සබඳතාවකට ඉඩ
ආදරණීය හැඟීම් වර්ධනය කෙරෙන අතර, නව සබඳතා තර කෙරේ. රාග සිතුවිලි පහළ වන අතර, ඊට විශේෂ අවස්ථාද යෙදේ. වියදම් ඉහළ යා හැකිය. කතාව ප්‍රවේශමෙන් කළ යුතුය. සතිය අගදී ප්‍රවේශම් විය යුතුය. හිතවතුන් අමනාප විය හැකිය.
වෘශ්චික ලග්නය – නව සැලසුම්
උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනු ඇත. ස්ත්‍රී පාර්ශ්වයේ අයෙක් අමුත්තකු ලෙස නිවසට පැමිණෙනු ඇත. එමෙන්ම ආර්ථික දියුණුවට විශේෂ වාසි අත්වන අතර, හිතවතුන්ගෙන් ආදර සංග්‍රහ මෙන්ම ආර්ථික වාසිද අත්වේ. නව සැලැස්මක් ගැන සිතුවිලි පහළ වනු ඇත.
ධනු ලග්නය – උපක්‍රමශීලී වන්න
පවුලේ අය සමග ගනුදෙනු ප්‍රවේශමෙන් කළ යුතුය. එමෙන්ම දුර බැහැර ගමනකට ආරාධනා ලැබෙන සතියකි. සිතේ හැඟීම් පාලනය කරගත යුතු කාලයකි. සතිය අගදී තමාගේ නමට අගතියක් වන දේ ප්‍රචාරය විය හැකිය. උපක්‍රමශීලීව කටයුතු කරන්න.
මකර ලග්නය – නොසිතූ ධන ලාභයක්
උදරය සම්බන්ධ අපහසුතා ඇතිකෙරේ. මුදල් වියදම ප්‍රවේශමෙන් කළ යුතු සතියකි. එහෙත් සතිය මැද භාගයෙන් පසු විශේෂ ආර්ථික ලාභ, රැකියාවේ නව ලැබීම් මෙන්ම නොසිතූ ධන ලාභයකටද ඉඩ තිබේ.
කුම්භ ලග්නය – සතුටට හේතු යෙදේ
සතුටට හේතු යෙදේ. උත්සාහයේ ප්‍රතිඵල ලැබෙන කාලයකි. විශේෂ ආර්ථික වාසි ලැබෙනු ඇත. තමාට ලැබෙන්නට තිබූ මුදලක් ලැබෙනු ඇත. රසවත් ආහාරපාන ලැබෙන සතියකි. සතිය අගදී සතුටට කරුණු යෙදේ.
මීන ලග්නය – දියුණුවට අවස්ථා
වෙනදා නොවූ උනන්දුවකින් වැඩකරයි. පැරැණි හිතමිතුරන් හමුවේ. ගමන් බිමන්වලින් විශේෂ වාසි ලැබෙනු ඇත. තමාට අවශ්‍ය උපකරණ හෝ භාණ්ඩ ලැබෙන සතියකි. ලොතරැයි හෝ වෙනත් වාසි ලැබෙනු ඇත. දියුණුවට විශේෂ අවස්ථා උදාවේ.
ජ්‍යොතිෂ පුවත්පත් රැසක හිටපු ප්‍රධාන කර්තෘ
ජ්‍යොතිෂවේදී, ජ්‍යොතිෂ පර්යේෂක
ජේ.එන්.කේ. රත්නායක
යටිගල්ඔළුව
0777579404











