‘වාස්තු පුරුෂයා’ නම කියූ සැණින් බොහෝ දෙනෙක් දැන සිටියද ඒ කිසිවකු වාස්තු පුරුෂයාගේ සැබෑ බලය නොදන්නා බව නම් රහසක් නොවේ. යම් භූමියක ශක්තිය දැක්වීමට සහ හඳුනාගැනීමට මෙම වාස්තු පුරුෂ සංකල්පය ඉතා වැදගත්ය. හතරැස් කොටුවක ආකාරයට ස්ථානගත වී සිටින වාස්තු පුරුෂයා සෑම නිවසකම සහ සෑම ඉඩමකම ස්ථානගතව සිටින බව වාස්තු විද්‍යාවේ පැහැදිලිව සඳහන් වේ. Sri Lanka Latest News
ඊසාන දිශාවටත්, නිරිත දිශාවටත් හැරී පිහිටන වාස්තු පුරුෂයාගේ හිස ඊසාන දිශාවට පිහිටයි. එය ඕනෑම ඉඩමකට, නිවසකට පොදු කාරණාවකි. මෙම වාස්තු පුරුෂයා සංකල්පයට අනුව නිවසක හෝ ඉඩමක බලයන් සහ ශක්තීන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය.
වාස්තු විද්‍යා සංකල්පයට අනුව බලද්දී මෙම වාස්තු පුරුෂයාගේ විවිධ කොටස් පිහිටන දිශාවන් ඇත. ඒ අනුව ඉඩමේ, නිවසේ ඒ ඒ දිශාවන්ගේ වාස්තු පුරුෂයාගේ ශරීරයේ විවිධ කොටස් ස්ථානගත වන අතර, එම කොටස් වාස්තු සිද්ධාන්තවලට නොගැළපෙන කාරණාවලින් පීඩාවට පත්වුවහොත් එම නිවසේ හෝ ඉඩමේ පදිංචිකරුවන්ට ඒ ඒ ශරීරාංගවල පීඩාවන් විඳීමට සිදුවනු ඇත.
මෙම වාස්තු පුරුෂයාගේ නොපෙනෙන බලය තුළ විශ්ව ශක්තියේ විවිධ ප්‍රභවයන් ගැබ්ව ඇති අතර, ඒ ඒ දිශාවන්ගේ එම ශක්ති ප්‍රභවයන් ගැබ්වන අයුරුදු වාස්තු පුරුෂය සංකල්පය අනුව පෙන්වාදී ඇත. මෙම ශක්ති ප්‍රභවයන් අතර මිනිසාට යහපත් සහ අයහපත් ප්‍රභවයන් ඇති අතර, ඒවා ඉඩම හෝ භූමිය තුළට ගැබ්වීම සිදුවේ. එහිදී අසුබ බලයන්ගේ ශක්තිය ප්‍රබල වුවහොත් නිවැසියාට අයහපතක්ද, යහපත් ශක්ති ප්‍රභවයන් වර්ධනය වුවහොත් නිවැසියන්ට සුබ ප්‍රතිඵලද ලැබෙන බව හඳුනාගෙන ඇත.
අතීත වාස්තු සිද්ධාන්ත අනුව වාස්තු පුරුෂයා මුණින් අතට පොළොවේ දිගාවී සිටින බවටද මතයක් වෙයි. එහිදී ඒ ඒ දිශාවන්ගේ කළ යුතු නොකළ යුතු කාර්යයන් පිළිබඳ හෙළ වාස්තු රහස් ඇසුරේ පෙන්වාදී තිබේ. ඒ අනුව එකී දිශාවල නොගැළපෙන ඉදිකිරීම් හෝ නොකළ යුතු ක්‍රියාවන් කළහොත් වාස්තු පුරුෂයාගේ එකී අංශය පීඩාවට පත්වන්නේ යම්සේද එලෙසින්ම නිවැසියන්ගේ එම ශරීරාංග හෝ ඒ හා සම්බන්ධ ඉන්ද්‍රිය පීඩාවට පත්වන බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව වාස්තු පුරුෂයාගේ හිස ඊසාන දෙසටත්, පාද නිරිත දෙසටත්, වැලමිට ගිනිකොනට හා වයඹටත් පිහිටා ඇත.
එසේම වාස්තු පුරුෂයාගේ හදවත, පපු ප්‍රදේශය, ලිංග ප්‍රදේශය කිසිදු ආකාරයකින් පීඩා නොවිය යුතු බවටත් වාස්තු විද්‍යා සිද්ධාන්තවල පැවසෙයි. වාස්තු පුරුෂයාගේ මෙම ස්ථාන ආශ්‍රිතව බර අධික දේ ස්ථානගත කිරීම, විශාල කුලුනු වැනි දේ ගොඩනැගීම, පොකුණු ආදිය ඉදිකිරීම නුසුදුසු වෙයි. එසේම නිවසක ගින්දර සම්බන්ධ කටයුතු කෙරෙන මුළුතැන්ගෙය අනිවාර්යයෙන්ම ගිනිකොන දිශාවටම ගත යුතුය. මොනම හේතුවකටවත් මෙය ඊසාන පැත්තට නොගත යුතුය. ඊසාන දිශාවට මුළුතැන්ගෙය ගැනීමෙන් නිවැසියන් නිතර අසනීපවලට ගොදුරු වන බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙයි.
යම් ලෙසකට නිවසක් ඉදිකිරීමේදී වාස්තු පුරුෂයාගේ වැලමිටි පීඩාවී නම් නිවැසියන්ට වැලමිටි අපහසුතාද, වාස්තු පුරුෂයාගේ පාද දණහිස් ආදිය පීඩා වී නම් නිවැසියන්ටද එවැනිම පීඩාද ඇතිවන බව දත යුතුය.
වාස්තු පුරුෂයා මුනින් අතට සිටින ඉරියව්ව කිසිවිටෙක වෙනස් නොවේ. එය ස්ථිර පිහිටීමකි. ඊට අමතරව වාස්තු පුරුෂයාට තවත් මුහුණුවර දෙකක් වෙයි. එකක් නිත්‍ය වාස්තු පුරුෂයා වන අතර, එම වාස්තු පුරුෂයා සෑම හෝරා දෙකකටම වරක් සිය ඉරියව්ව වෙනස් කරයි. අනෙක් වාස්තු පුරුෂයා සෑම දිනකම ගමන් කරයි. මෙම ගමන පෘථිවියේ ඍතු වෙනස් වීමට සාපේක්ෂව සිදුවේ.
සූර්යයා උතුරු අර්ධ ගෝලයේ සිට දකුණු අර්ධ ගෝලයට සංක්‍රමණය වීම අනුව ගොඩනැගිල්ලකට ලැබෙන ආලෝකය හා උණුසුම වෙනස් වේ. මේ නිසාම එක් එක් ඍතුවට අනුව විශ්ව ශක්තීන් එම ගොඩනැගිල්ලට ඇතුළු වන බව වාස්තු විද්‍යා රහස් ඇසුරින් හෙළිවෙයි.
මාර්තු මාසයේ සිට මැයි දක්වා සූර්ය බලය උතුරු දෙසින්ද, ජුනි සිට අගෝස්තු දක්වා නැගෙනහිරින්ද, සැප්තැම්බර් සිට නොවැම්බර් තෙක් දකුණු දෙසින්ද, දෙසැම්බර් සිට පෙබරවාරි තෙක් බටහිර දෙසින්ද සූර්ය බලය පොළොවට ලැබේ. මෙහි ප්‍රාදේශීය වශයෙන් සුළු වෙනස්කම් සිදුවුවද පොදුවේ ගතහැකි සංසිද්ධියක් සේ වාස්තු විද්‍යාවේ සඳහන් වෙයි. මෙම කාලවලට ඒ ඒ දිශාවට දොර ජනෙල් විවර කර තැබීම යහපත් බවද පැහැදිලි කර ඇත. මෙමගින් ඒ ඒ කාලවල එම ගොඩනැගිලිවල යහපත් ශක්තීන් ක්‍රියාකාරී වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වනු ඇත.
කෙසේ නමුත් ගෘහයක වාසය කරන යම් පිරිසකට, කෙනෙකුට නිතර අස්ථි, උදර හෝ වෙන යම් අපහසුතා, ආබාධ සෑදේ නම් හෝ ධනය, බලය, ශක්තිය මෙන්ම පුද්ගල ආකර්ෂණය ගිලිහේ නම් එකී අය සිටින නිවස හෝ ඉඩම තුළ වාස්තු පුරුෂයා පීඩාවට පත්ව ඇති බවට ඉඟි පළකෙරේ.
එහෙයින් එවන් අවස්ථාවක කළ යුතු හොඳම දෙය තමන් දන්නා කියන හෝ විශ්වාසවන්ත වාස්තු ගැන දත් ජ්‍යොතිෂවේදියකු ගෙන්වා නිවස ඉඩම පරීක්ෂා කරවා ගැනීමයි. එසේ කියූ සැණින් කලබල වී වර්තමානයේ නිවැසියන්ගේ පසුම්බි සූරාගෙන ලක්ෂ ගණන් අයකරන වාස්තු ව්‍යාපාරිකයන්ට හසු නොවී ශාස්ත්‍රය මැනැවින් දන්නා විශ්වාසවන්ත අයකු ලවා නිවස පරීක්ෂා කරවාගෙන අවශ්‍ය කටයුතු කරගැනීම වඩාත් සුදුසුය. ඉදිකිරීමක් නොකඩා විස්තු දොස් දුරුකළ හැකි බොහෝ ක්‍රමවේද පාරම්පරික වාස්තු රහස් තුළ ගැබ්ව ඇති හෙයින් එවැන්නකට යොමුවීම ඔබගේ පසුම්බියට වඩාත් යහපත් වනු ඇත.
ජ්‍යොතිෂ සහ වාස්තුවේදී
ජ්‍යොතිෂ පර්යේෂක
ජ්‍යොතිෂ පුවත්පත් රැසක හිටපු ප්‍රධාන කර්තෘ
ජේ.එන්.කේ. රත්නායක
0777579404











