ජ්‍යොතිෂය හා ගුප්ත විද්‍යාව මේ වන විට ජන ජීවිත හා එකිනෙකට බැඳී පවතින කාරණාවක් බවට පත්ව තිබේ. එහෙයින් බොහෝ දෙනා මේ විද්‍යාවන්ගේ උදව් උපකාර ලබමින් සිටිති. එහෙත් වර්තමානයේ මෙකී විද්‍යාවන් කෙරෙහි යොමුවන බහුතරය අතරින් වැඩි කොටසක් තමන්ගේ කාරණාවන්ට අවශ්‍ය සහාය හෝ පිහිට ලබාගත යුත්තේ කිනම් දෙවියන්ගෙන්ද යන්නත්, ඊට අවශ්‍ය අනෙකුත් කාරණා ගැනත්, ඒ ඒ යන්ත්‍ර මන්ත්‍ර ගැනත් හරි අවබෝධයක් නැති බව පෙනී යයි. මේ නිසා බොහොමයක් දෙනාට කිසි පිහිටක් ආරක්ෂාවක් ලැබෙනවාද යන්න සැක සහිතය. විශේෂයෙන්ම ජ්‍යොතිෂයටත් වඩා ගුප්ත විද්‍යාව මෙහිදී විශේෂ වෙයි.
ගුප්ත විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර යන තුන් කොටසක සම්මිශ්‍රණයක් වන අතර මෙය අටවැදෑරුම් අරමුණු අනුව කටයුතු කෙරේ. වශී කර්ම, ආකර්ෂණ කර්ම, මෝහන කර්ම, සතම්භන කර්ම, ශාන්ති කර්ම, විද්වේෂණ කර්ම, උච්චාවන කර්ම, මාරන කර්ම ආදී වශයෙන් ගුප්ත විද්‍යාවේ හොඳ මෙන්ම නරකද ඇතුළත්ය. ඉහත කී අටවැදෑරුම් අරමුණු අතර ශාන්ති කර්ම සහ ආකර්ෂණ කර්ම හැරුණු කොට අනෙක් හයම නරක ඒවාය.
සමහරු මන්ත්‍රයක් 3,7,9,21,27,108,1008 ආදී වශයෙන් යම් වාර ගණනක් ජපකිරීමට හේතුව විමසති. මෙයට දීමට ඇති සරලම පිළිතුර නම් ත්‍රිවිධ රත්නය සහ නව අරහාදී බුදු ගුණ යන සංකල්ප දෙක පමණකි. සමහර මන්ත්‍ර තුන් වරක් හත් වරක් සහ නවවරක් ආදී වශයෙන් ජපකෙරෙන අතර එසේ ජප කරන වාර ගණන නැවතත් දෙකේ තුනේ හතේ දොළහේ ආදී ගුණාකාරවලින් ජප කිරීමෙන් එහි ජීවමේ බලය වැඩි වශයෙන් ලැබේ. උදාහරණයක් ලෙස යම් මන්ත්‍රයක් වාර 9ක් ජප කළ යුතු යැයි සිතමු. එම මන්ත්‍රයම වාර නවය බැගින් දොළොස් වතාවක් එනම් 108 වතාවක් ජප කළ විට එහි බලය වඩාත් වැඩි වේ.
එමෙන්ම අද රට පුරා විවිධ දේවාලවල විවිධ හේතූන් සඳහා විවිධ දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීම කෙරෙනු ලැබේ. මේ අතර විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට, ගණ දෙවියන්ට, දැඩිමුණ්ඩ දෙවියන්ට, සමන් දෙවියන්ට, සූනියම් දෙවියන්ට ආදී වශයෙන් විවිධ දෙවිවරුන්ටද ලක්ෂ්මි, සරස්වතී, පත්තිනි සහ භද්‍රකාලි ආදී වශයෙන් දේව මෑණිවරුන්ටද විවිධ හේතූන් උදෙසා පුද පූජා බාරහාර වන බව දැකිය හැකිය.
විශේෂයෙන් ග්‍රහ අපල ආදී හූනියම් ලෙඩ රෝග නඩුහබ සතුරු කරදර ආදී වශයෙන් එක් එක් කාරණාවලදීද දෙවියන්ගේ පිහිට පතන අය බොහෝය. ඒ අතර ඒ ඒ ග්‍රහ අපල සඳහා ඒ ඒ දෙවිවරුන්ට බාරහාර පුද පූජා පවත්වනු දැකිය හැකිය. උදාහරණ ලෙස රවීගෙන් වන අපලයට ඊශ්වර දෙවිඳුන්ට, සඳුගෙන් වන අපලයට සමන් දෙවිඳුන්ට, කුජගෙන් වන අපලයට කතරගම දෙවිඳුන්ට, බුධගෙන් වන අපලයට දැඩිමුණ්ඩ දෙවිඳුන්ට, ගුරුගෙන් වන අපලයට විෂ්ණු දෙවියන්ට, සිකුරුගෙන් වන අපලයට පත්තිනි දෙවියන්ට, රාහුගෙන් වන අපලයට සූනියම් දෙවියන්ට, කේතුගෙන් වන අපලයට විෂ්ණු දෙවියන්ට යනාදී වශයෙන් ඒ ඒ ග්‍රහ අපල සඳහා වෙන වෙනම දෙවිවරුන්ට බාරහාර පුද පූජා පවත්වනු ලැබේ.
එහෙන්ම එක් එක් කාරණාවලදීද මේ ආකාරයෙන් වෙන වෙනම දෙවිවරුන් තෝරාගෙන පුද පූජා පවත්වනු දැකිය හැකිය. සෞභාග්‍යය සඳහා ව්‍යාපාර දියුණුවට විෂ්ණු සහ ලක්ෂ්මී දෙවිවරුන්ටද, අධ්‍යාපන සහ විභාග කටයුතුවලදී සරස්වතී මෑණියන්ට සහ ගණදෙවිවරුන්ටද, ලෙඩරෝග, බිළිඳුන් වෙනුවෙන්, දරුවන් ලැබීමට සිටින ගැබිනි මවුවරුන්ට ආදී වශයෙන් පත්තිනි මෑණියන්ටද, නඩුහබ සතුරු කරදර ආදී කරුණු සඳහා භද්‍රකාලී මෑණියන්ටද ආදී වශයෙන් යම් යම් කාරණා සඳහා වෙන වෙනම දෙවිවරුන්ටද පුද පූජා පවත්වනු දැකිය හැකිය.
ප්‍රදේශ අනුව ගත් කල වන්නි ප්‍රදේශවල ගණදෙවියන්ට සහ රුහුණේ කතරගම දෙවියන්ට, සබරගමු පළාතේ සමන් දෙවියන්ට සහ දැඩිමුණ්ඩ දෙවියන්ටද, වයඹ පළාතේ ගම්භාර සූනියම් දෙවියන්ටද ආදී වශයෙන් පුද පූජා පැවැත්වීම සුලභව දැකිය හැකිය.
ඒ අතරම එක් එක් දෙවිවරුන්ට පූජා කළ යුතු මල් වර්ග සහ ඒවායේ වර්ණද, තෙල් වර්ග සහ පලතුරු වර්ග, රෙදිවල වර්ණ පවා වෙනස් වේ. මේ සියලු කරුණු අතර බැතිමතුන් අතර සහ දේවාලවල ඇදුරන් අතරද එක් එක් කාරණා සඳහා වෙන වෙනම දෙවිවරුන් සිටින බවටද විශ්වාස කෙරේ. නමුත් එම අදහස නම් ඉතා සාවද්‍ය කරුණක් බව කිව යුතුය. උදාහරණයක් ලෙස ගතහොත් සතුරු කරදර නඩුහබ ආදිය සඳහා භද්‍රකාලී දෙවියන් තෝරාගෙන සිටිති. නමුත් බොහෝ අය නොදන්නා කරුණ නම් ධනය, වාසනාව, සෞභාග්‍යය, බලය ආදිය සඳහා භද්‍රකාලී දේවියට පුද පූජා පවත්වා බාරහාර වීම සිදුකළ හැකිය. නමුත් විශේෂත්වය වන්නේ සතුරු කරදර සඳහා බාරහාර වීමේදී කරන පුද පූජාවලට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් සෞභාග්‍යය සඳහා පුද පූජා පැවැත්වීමේදී අනුගමනය කළ යුතු වීමය.
භද්‍රකාලී, අරකාලි, ඔඩ්ඩිකාලි, සුලකපාලකාලි, භූමිකාලි, සොහොන්කාලි ආදී වශයෙන් භද්‍රකාලි දේවියගේ ස්වරූප හතක් ඇති අතර විවිධ කාරණා සඳහා භද්‍රකාලි දේවියගේ එක් එක් ස්වරූපය සඳහා පූජා පවත්වා තම අරමුණු ඉටුකරගැනීමේදී ඒ ඒ කාරණා සහ ස්වරූපයන්ට අවශ්‍ය මන්ත්‍ර සහ ස්තෝත්‍ර කියා පුද පූජා පැවැත්විය යුතුය.
ජ්‍යොතිෂවේදී, රෝහණ විජිත් කුමාර ගිරිඋල්ල