ඉඩකඩ සීමාවීම හේතුකොට ගෙන නාගරිකව ඉදිකෙරුණු මහල් නිවාස සංකල්පය මේ වන විට විශාල ඉඩම් පිහිටි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වීමට හේතුවෙලා තියෙන්නෙ එම රැල්ලයි. කෙසේ වෙතත් මහල් නිවාස ඉදිකිරීමේදී බොහොමයක් දෙනාගේ මූලික අවධානය යොමුවන්නේ අලංකාරයටයි. එහෙම වුණාම ඇතැම් වාස්තු කරුණු මඟහැරී යන්නේ කාටත් නොදැනීමයි. ඒ විදියට මඟහැරෙන දෙයක් තමයි මහල් නිවෙසට යොදන පඩිපෙළ. බොහෝ විට නිවෙස තුළට ගියාම ලස්සනට පෙනෙන විදියට තමයි පඩිපෙළ දාන්න හදන්නේ. එය තීරණය කරන්නෙ නිවැසියාමයි. ඇතැම් විට වාස්තු ශිල්පියා කියූ තැන හරිනැහැ කියලා නිවාස හිමියාට සිතෙන තැනක් තෝරාගැනීම කරන අවස්ථාත් තියෙනවා. එහෙත් එයින් යෙදෙන වාස්තු දෝෂ බරපතළ බව අමතක කරන්න හොඳ නැහැ.
යම් නිවෙසක ඉතා සුබ ආකාරයට පියගැටපෙළ යොදනවා නම් එය උතුර හෝ නැගෙනහිර දිශාවෙන් ආරම්භ කිරීමයි වඩාත්ම හොඳ. ඒ වගේම එම පඩිපෙළෙහි අවසන් පඩිය දකුණු දෙසට හෝ බටහිර දෙසට යොමුවෙනවා නම් වඩාත් හොඳ වෙනවා. එය ඉතා සුබ තත්ත්වයක්. නමුත් පඩිපෙළ උතුර නැගෙනහිර බිත්තිවලට සම්බන්ධ නොකළ යුතුයි. පඩිපෙළ සහ බිත්ති අතර අඩුම තරමින් අඟල් තුනක්වත් පරතරය තැබීම වැදගත් වෙනවා.
යම් ගොඩනැගිල්ලක හෝ නිවෙසක උතුරු හෝ නැගෙනහිර දිශාවන්ට මුහුණලා බැසීමට හැකි පඩිපෙළක් නිර්මාණය කරගත හැකි නම් එය එම නිවැසියන්ට සුබ පල ළඟාකර දෙන්නක්. තරප්පුවක් නිර්මාණයේදී ඉහළ සහ පහළ වැසීමට හැකි දොරටු දෙකක් තිබේ නම් එයද වැදගත්. මෙම දොරටු උතුරට සහ නැගෙනහිරට මුහුණලා සකස් විය යුතුයි. ඒ වගේම ඉහළ පහිටි දොරටුව පහළ දොරටුවට වඩා අඟල් කිහිපයක් කුඩා වීම ඉතා වැදගත්.
ඇතැම් නිවාසවල පඩිපෙළ කවාකාරවයි යොදන්නේ. එවිට එය දක්ෂිණාවර්තව යෙදීම ඉතා වැදගත්. එනම් නැගෙනහිර සිට දකුණු දෙසට හෝ දකුණ සිට බටහිරට, උතුර සිට නැගෙනහිරට ආදී ලෙසයි. යම් ගොඩනැගිල්ලක ඉහළට යෑමට සහ පහළට බැසීමට පඩිපෙළ දෙකක් ඇත්නම් ඒවා වෙන වෙනම ඉදිකළ යුතුයි. මෙය බලපාන්නේ පොළොව යට බිම් මහලක් ඇති නිවාස සඳහායි. එසේම පඩිපෙළ නිවෙසක ඉදිරිපස මැද කොටසේ නොවිය යුතුයි. එසේම ප්‍රධාන දොරටුව ඉදිරිපස හෝ ප්‍රධාන දොරටුව හරහා යන ලෙසද තරප්පු පෙළ නොදැමිය යුතුයි.
බොහොමයක් නිවාසවල තරප්පු පෙළ යට ඇති ඉඩකඩ තුළ ආගමික පුදපූජා ස්ථාන, සේප්පු හෝ මුදල් කටයුතු, එසේත් නැත්නම් පොත් රාක්ක, මංගල ඡායාරූප ආදිය තැබීමට භාවිත කරයි. එය නොගැළපේ. එම ස්ථානය එවැනි කිසිදු කටයුත්තකට ගත නොහැකි ස්ථානයක් නොවේ. ඊළඟට තරප්පුවක පඩි ගණන ඉරට්ටේ වීමද ඉතා වැදගත් කාරණයකි. එසේම නිවෙසක පියගැටපෙළ භාවිත කිරීමේදී හඬක් නැගේ නම් එය අසුබ තත්ත්වයක් සේ සැලකේ. මෙය යකඩ හෝ ලී තරප්පුවල දක්නට ලැබේ. විශේෂයෙන්ම ඊට පිළියම් නොකළහොත් විවාහ ප්‍රශ්න ඇතිවිය හැකිය.
නිවෙසක පියගැටපෙළෙන් ගොස් එක්වරම කාමර තුළට ඇතුළු වන ලෙස සැකසීමෙන් නිවැසියන්ට නරක ප්‍රතිඵල ගෙනදේ. එය කාන්තා පාර්ශ්වයට වඩාත් අශුභ වේ. බොහෝ දුරට සුළු සුළු කරුණු යැයි සිතා සිටින ඇතැම් කාරණා නොදැනුවත්වම විශාල හානිදායක තත්ත්වයක් ඇතිකරන බැවින් ඒ ගැන දැන සිටීම වගේම වාස්තු ගැන දන්නා කියන අයකු සම්බන්ධ කරගෙන වාස්තු දෝෂ ඉවත් කරගැනීමත් වැදගත්ය.
බොහෝ පිරිස් සිය දියුණුවේ මධ්‍යම අවස්ථාවේ දෙමහල් නිවාස ඉදිකිරීමට පෙලඹෙන අතර, නිවෙස ඉදිකිරීමෙන් පසු දියුණුව අඩාළ වීමට බලපාන්නේ මෙවැනි වාස්තු දෝෂ බව නොදනියි. ඒ නිසා ඔබගේ නිවෙසේත් එවැනි දෝෂ නැතැයි සනාථ කරගැනීම ඔබට යහපතකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්