ස්ත්‍රී – පුරුෂ භේදයකින් තොරව නාභියේ හැඩයෙන් විවිධාකාර ජීවන රහස් හෙළිදරව් වෙයි. එහෙත් වැඩි අවධානයක් යොමු වන්නේ කාන්තාවන්ගේ නාභියෙන් හෙළිකෙරෙන කරුණු කාරණා ගැනයි. එසේම නාභිය සම්බන්ධ විවිධාකාර රහස්ද හෙළිදරව් වන අවස්ථා තිබේ. ඒ අතරින් යම් කෙනකුගේ නාභියෙහි මස් නැටීමක් සිදුවුවහොත් එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජීවිතයේ වැදගත් යමක් ඉදිරි කාලයේ සිදුවන බවට ඉඟි පළකරයි. එහෙත් යම් කෙනකුගේ නාභියේ උපන් ලප පිහිටයි නම් එය අසුබ පල ගෙන දෙන්නකි. ඒ අතර කෙනකුගේ නාභිය පිටතට නෙරා ඇති අවස්ථා දැකිය හැකිය. එයද එතරම් සුබ ලකුණක් සේ නොසලකයි. එයින් යුගදිවිය අසාර්ථක බවත්, උදරයට සම්බන්ධ රෝගපීඩා වැලඳෙන බවටත් ඉඟි පළකරයි.
කාන්තාවන්ගේ නාභිය මනාලෙස වලගැසී, දකුණට කරකැවී ඇත්නම් ඇය මහත් පින් ඇති වාසනාවන්තියකි. ඉතා කෙටි කලකින් ධනවත් වීමටත්, සැමියාගේ ආදරය ලබන බිරියක වීමටත් ජීවිතයේ අගභාගය ප්‍රීතිය උතුරා ගිය කාලයක් කරගන්නට වාසනාව ලබන්නීය. කෙනකුගේ නාභිය යම් ලෙසකට පිපුණු මලක් සේ දිස්වෙයි නම් ඇය දිව්‍ය සැප සම්පත් ලබනට වාසනාව ඇත්තියකි. එසේම එවැනි නාභිය මනාලෙස ගැඹුරට පිහිටයි නම් පුරුෂයන්ගේ මනා ආකර්ෂණයටත්, ආදරයටත් පත්වන්නීය.
නාභිය වමට කරකැවී ඇත්නම් එය අවාසනාවේ සංකේතයකි. නින්දා, අපහාස, උපහාස අඩුවක් නැත. අනාගතයේ මහා දුකකට උරුම හිමිකම් කියයි. කුසුමක් සේ මොලොක් බවින් යුතුව තරමක් පළල්ව නාභිය පිහිටන ස්ත්‍රියට වාසනා ගුණයත්, ආත්ම ශක්තියත් අඩුවක් නැත. ඇය සියලු කලාවන්ගේ නිපුණ තැනැත්තියකි. ජනප්‍රියත්වය ඇය සොයා පැමිණේ. විවාහ දිවිය අවුල් විය හැකි අතර, අන් අය අතර ආකර්ෂණීය චරිතයක් වෙයි. දැසි දස්සන් පිරිවරාගෙන ජීවිතය ගෙවන්නට වාසනාව ඇත.
දෙපසට දිගු බවක් පෙන්වන නාභියක් සහ රැලි සහිත උදරයක් ඇත්තී පිරිමියකු සේ හැසිරෙන කාන්තාවකි. ඇගේ වචන ප්‍රිය නැත. එසේම අධික කාමාශාවකින් යුතු ඇය අන් පුරුෂයන් සොයා යන්නටද පෙළඹෙනු ඇත.
සියුම් රෝමයන්ගෙන් වටවූ ප්‍රිය මනාප නාභියක් ඇත්තී වාසනාවන්තියකි. ඇයගේ විවාහය සාර්ථකය. අන් අයගේ සිත් හඳුනා ගැනීමේ දක්‍ෂය. ඇගේ හදවත නම්‍යශීලීය. යම් අයුරකින් නාභියේ මුව විශාල නම් ඇයද අධික කාමාශාවකින් හෙබි කාන්තාවකි. ලේසියෙන් තෘප්තිමත් නොවෙයි. අවස්ථාව ලද තැන පරපුරුෂයන් සොයා යනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර











