ජ්‍යොතිෂයත් බුදු දහමත් වෘක්ෂලතාත් අතර ඇත්තේ නොබිඳෙන නොමැකෙන පෞරාණික සම්බන්ධයකි. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන මූලික හා වැදගත්ම සන්ධිස්ථාන තුනටම වෘක්ෂයේ සම්බන්ධයක් විය. මානව වංශකතාවෙහි දුර ඈත අතීතයේ සිටම ග්‍රහ වස්තූන් හා මිනිසා අතර පැවැති සබැඳියාවත් බෞද්ධ දර්ශනය හා ජ්‍යොතිෂයත් අතර ඇති වෘක්‍ෂලතාවන්හි පවතින දැඩි සබැඳියාවත් මනාව පැහැදිලි කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වෙයි.
සිදුහත් තවුසාණන්ට බුදුබව ලබන්නට සෙවණ දුන් දඹදිව ඇසතු බෝ වෘක්‍ෂයේ දකුණු ශාඛාව වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලිඛිත ඉතිහාසයක් ඇති ලොව ඉපැරණිම වෘක්‍ෂය ලෙස හඳුන්වයි. සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කරවා දෙවනපෑතිස් රජුගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහමෙවුනා උයනෙහි රෝපිත ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බොදු බැතිමතුන්ගේ මුදුන් මල්කඩකි.අතීතයේ දී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හිමි තැනැත්තා රටෙහි රජු ලෙස සැලකූ අතර උන්වහන්සේ දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමට එකල සිටි පාලකයෝ ක්‍රියා කළහ.
වංශකතාවල සඳහන් පරිදි ජයශ්‍රී මහා බෝ පැළයේ ආරක්‍ෂාවට එය රෝපණය කරන අවස්ථාවෙහි ගල් පතුරුවලින් එය වටකර ආරක්‍ෂාව සැලසූ බව සඳහන් වෙයි. පරසතුරු ආක්‍රමණ සිදුවූ කාලපරිච්ජේදය තුළ සඟමිත් තෙරණිය සමග මෙරටට පැමිණි 18 කුලයක පිරිස ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රැකගත් බවත් පසුව කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1781) යුගයේදී බෝපත් කෑමට එන වන අලින්ගෙන් බෝධිය ආරක්‍ෂා කරගැනීමට උසින් අඩි සොළොසක් සහ පළල අඩි දෙසිය හැත්තෑවක්ද දිග අඩි තුන්සිය හැටකින් හා කවුලු තුන්සිය පනහකින් යුත් සුවිසල් ගල් ප්‍රාකාරයක් තනවන ලදී. එය අදටත් දැකිය හැකිය.
ඉහත දැක්වූ ආකාරයට සම්බුද්ධ ශාසනය තුළ බෝ ගස සඳහා හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා ශ්‍රී සම්බුද්ධත්වයට පත්වූයේ දඹදිව පිහිටි ශ්‍රී මහා බෝධිමූලයේදීය. මෙම හේතූව නිසා ආගමික වතාවත් අතරින් බෝධි පූජාව, බෝධි වන්දනාව අටවිසි බෝධි වන්දනාවට සුවිශේෂ ස්ථානයක් හිමිව ඇත. සම්බුද්ධ ධර්මයේ සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේලා විසි අටනමකගේ නම් සඳහන් වන අතර එම සියලු බුදුවරුන් බුද්ධත්වය ලබා ඇත්තේ අනේක විධ වූ ශාක මූල අබියසය. මෙම ශාක අටවිසි බෝධීන් ලෙස බෞද්ධ ව්‍යවහාරයේ සඳහන්ව ඇත.
මීට අමතරව අප සැවොම මෙලොව එළිය දකින වේලාව අනුව සැකසෙන ජන්ම පත්‍රයේ ඇති නැකැතත් සමගින් ඇති නැකැත් 27ද ජ්‍යොතිෂයේදී අදාළ වන ශාකයන් දක්වා ඇත. එම නිසා ශාකයේ අති ප්‍රබල වැදගත්කම අපට මැනැවින් වැටහේ. පෙර ඉසිවරු ජ්‍යොතිෂයේ මූලිකාංග වන නවග්‍රහයන්ට, නැකැත් 27ට හා විවිධ ආනිශංසයන්ට හිමි ශාක මැනැවින් දක්වා ඇත.
ජ්‍යොතිෂයේදී එක් එක් දිශාවන් සඳහා සුබ අසුබ වෘක්‍ෂ දක්වා ඇති අතර දිශා පිළිබඳ අගනා විවරණයක් කරන බෞද්ධ දර්ශනය තුළ සිඟාලෝවාද සූත්‍රයෙහි මෙම දිශාවන් පිළිබඳ මැනැවින් දක්වා ඇත. අද අප බොහෝ විට සුබ කටයුතු අරඹන්නේ සුබ දිශාවකිනි. පහත දැක්වෙන්නේ ඒ ඒ ප්‍රධාන දිශාවන්ට සුබ අසුබ ශාකයන් වෙයි
ප්‍රධාන දිශාවන්ට අයත් සුබ හා අසුබ වෘක්‍ෂ
දිශාව/උතුර – සුබ/පුලිල – අසුබ/අත්තික්කා
දිශාව/දකුණ – සුබ/අත්තික්කා – අසුබ/පුලිල
දිශාව/නැගෙනහිර – සුබ/නුග – අසුබ/බෝ
දිශාව/බටහිර – සුබ/බෝ – අසුබ/නුග
නවග්‍රහයන්යට අදාළ වෘක්‍ෂයන් පෙර ඉසිවරු විසින් ජ්‍යෙතිෂයේ දක්වා ඇති අතර නවග්‍රහ අපල ඇති විට එම ශාකවලට සාත්තු කිරීමෙන් එම අපල උපද්‍රව දුරුකරගත හැක. එසේම රුක් රෝපණයද මෙම ආත්මභාවයේ මෙන්ම මතු ආත්මභාවයන්හිදීද සුව විවරණයක් හා සැපවත් ජීවිතයක් ලබාගැනීම සඳහා ජ්‍යොතිෂයේ පෙන්වාදී ඇති මහඟු සත්කාරයකි.
නවග්‍රහයන්ට අදාළ වෘක්‍ෂ
රවි – ඉඹුල්
සඳු – දිවුල්
කුජ – කොලොන්
සිකුරු – මඟුල් කරඳ
බුධ – කොහොඹ
ගුරු – බෝ
ශනි – නුග
රාහු – වැටකේ
කේතු – කෙසෙල්
විවිධ ආනිශංස හිමි ශාක
• බෝ – සැප සම්පත් හා දියුණු
• අශෝක – දුක් දොම්නස් පහවෙයි
• කොහොඹ – ජීවය සැපවත් වෙයි
• කෑල – පිහිට ආරක්‍ෂාව ලැබෙයි
• බෙලි – පිං රැස්වෙයි
• පළොල් – සුගතිගාමී වෙයි
• ඇට්ටේරිය – මතු භවයේ සැප ලබයි
• දෑ සමන් – දෙවියන්ගේ පිහිට ලැබෙයි
• බුළු – මෙහෙකරුවන් ලබයි
• මූණමල් – දැසි දසුන් ලබයි
• වරු – සූර්යාගේ පිහිට ලැබෙයි
• දඹ – දෙව්ලොව සැප ලබයි
ශාක සමග ඉතා සමීප මිත්‍රශීලී ජීවිතයක් ගතකළ මිනිසා එහි ප්‍රතිඵලයක් ලෙස ගස් වැල් සම්බන්ධව විවිධ මතිමතාන්තර දැරූ අතර පරම්පරා ගණනාවක් ඔස්සේ අදටද එම වටිනා කරුණු නොනැසී පවතී. පහත දැක්වෙන්නේ දෙවියන් හා ශාක සම්බන්ධ වටිනා සාම්ප්‍රදායික අවස්ථා කීපයකි.
• කතරගම දෙවිඳුන් සිය දේවාලය කුඹුක් ගසක් යට පිහිටුවා ගත් බව පැවසේ.
• සුමන සමන් දෙවිඳුන් රාජායතන ගසින් බිහිවී ඇති බව විශ්වාස වෙයි.
• පත්තිනි දේවමෑණියන් අඹ ගසකින් උපත ලබා ඇති බව විශ්වාස වෙයි.
• නවගමු දෙවොලේ නා ගසෙහි පත්තිනි සලඹ සැඟවූ බව විශ්වාසයක් පවතී.
• ශක්‍රයා සිය ආසනය පියනන්දන උයනේ පිහිටි පරිජාත නම් වෘක්‍ෂය මූලයේ පිහිටුවාගෙන ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.
• බෙලි ගස ශ්‍රියාකාන්තාවගේ ශාකය ලෙස පිළිගැනෙන අතර එය නිවෙස ඉදිරිපිට රෝපණයට සුදුසුය.
• රුක්අත්න ශාක ඇති විට එම ප්‍රදේශයේ විෂකුරු සතුන් පලායන බවට මතයක් ඇත.
• දොඹ ගස නිවෙස අසල තිබීම වාසනාවට හේතු වේ.
• අංකෙන්ද ගසක් ගෙවත්තක තිබෙයි නම් එම නිවැසියන්ට වා පිත් සෙම් රෝග ඇති නොවන බවට විශ්වාසයක් පවතී.
• මයිල ගස් හා ඊතන පඳුරු ඇති බිමෙහි ජල උල්පත් බහුලය.
• නිවෙස ඉදිරියේ ඇති අඹ ගස් බෝවන රෝග තුරන් කරන අතර හෙණ වළකා අසුබ තත්ත්වයන් මඟහැරීමෙහි ශක්තියක් ඇත.
• අඳුකොළ නාගයන් පලවාහරින අතර මදුරුතලා මදුරුවන් පලවා හරි.
ඉහත දක්වන ලද උදාහරණ තුළින් අපට ජ්‍යොතිෂයත්, බුදුදහමත්, වෘක්ෂලතාත් අතර ඇති සබැඳියාව මනාව තේරුම්ගත හැකිය.
ජ්‍යොතිෂ හා වාස්තුාව්දී සම්පත් එස්. කල්පගේ