විවාහයෙන් පසුව ඇතිවන ප්‍රශ්න අවම කරගැනීමට හොඳම මඟ තමයි විවාහයට කලින් පොරොන්දම් ගළපා විවාහ වීම. ඒත් පොරොන්දම් ගළපා විවාහ වන අය අතර ප්‍රශ්න නැද්ද? සමහරුන්ට තමන්ට ඇතිවන ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය ඉවසීම, බුද්ධිය, පරාජයන් පිළිගැනීම වැනි උසස් ගුණාංග පිහිටලා තියෙනවා. අප අතර ඉතාමත් කලාතුරකින් හමුවන සමහර කේන්දර තියෙනවා එම කේන්දර හිමියා සමඟ විවාහ වන තැනැත්තා අකාලයේ මිය යන බවත්, කේන්දර හිමියා ඉතාමත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන බවත් සඳහන් වේ. අන්න එහෙම යෝගයක් තමයි ජ්‍යොතිෂයේදී විෂ කන්‍යා යෝගය කියලා කියන්නේ. මේ යෝගය යෙදෙන හැටි තේරුම් ගන්න ටිකක් අමාරු වුණත් මේ ගැන අද “මව්රට කේන්දරේ” තුළින් ඉගෙන ගන්න උත්සාහ දරමු.
විෂ කන්‍යා යෝගය කාන්තාවන්ට පමණක් යෙදෙන යෝගයකි. මෙම යෝගය සහිතව උපන් කාන්තාව නිතරම දුකෙන් කාලය ගත කරන, අසහනය, අවිවේකී බව, කරදර බාධක මැද ජීවත් වන, සැප සම්පත් භුක්ති විඳීමට අවස්ථාව නොලැබෙන තැනැත්තියකි. වස්ත්‍රාභරණ ලැබුණත් ඒවා ඇඳීමට, පැලැඳීමට නොලැබෙන, ඇඳ පැලඳ ගත්තත් අලංකාරයක්, ප්‍රසන්න බවක්, නොලැබෙන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. නිතරම කිලිටු ඇඳුම් අඳිමින්, අප්‍රසන්න පෙනුමක් ඇතිව සිටින අතර, විවාහයෙන් පසුව ස්වාමියාගේ ආදරය නොලැබෙන බවද, එකට ජීවත් වීමට වාසනාවන්ත නොවන බවද, ස්වාමියා ආබාධිත වන බවද, දරුවන් ගර්භයේදීම හෝ ඉපදී ටික දිනකින් මිය යන බවද, ජ්‍යොතිෂ මූලාශ්‍ර ග්‍රන්ථ වන ස්ත්‍රී ජාතකය, භාව කුතුහලය වැනි පොත්වල සඳහන් වෙනවා.
විෂ කන්‍යා යෝගය ඇතිවන්නේ දිනය, නැකත, තිථිය යන කරුණු තුනක් පදනම් කර ගෙනය. දිනය කියන්නේ සතියේ ඉරිදා, සඳුදා……පදනම් කරගෙනය. නැකැත කියන්නේ පෘථිවිය වටා තිබෙන අංශක 360ක් වූ සීමාව 27න් බෙදූ විට ලැබෙන අංශක 13යි කලා 20ක් වූ කොටසකි. මේෂ රාශියේ ආරම්භයේ සිට මීන රාශියේ අවසානය දක්වා මෙම නැකැත් 27 විහිදී තිබෙනවා. නැකැත් 27 වන්නේ අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස, අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල්, උත්‍රපල්, හත, සිත, සා, විසා, අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවණ, දෙනට සියාවස, පුවපුටුප, රේවතී.
චන්ද්‍රයා සූර්යයාගෙන් ඈත්වෙමින් යන කාලය පුර පක්ෂයේ තිථි 15ක්ද, චන්ද්‍රයා සූර්යයාට සමීපව එන කාලය අව පක්ෂයේ තිථි 15ක්ද වශයෙන් සලකා එක චන්ද්‍ර මාසයකට තිථි 30ක්ද හඳුන්වා දී තිබෙනවා. තිථි 15 වන්නේ,
- පෑලවිය 2. දියවක 3. තියවක 4. ජලවක 5. විසේනිය 6. සැටවක 7. සතවක 8. අටවක 9. නවවක 10. දසවක 11. එකොළොස්වක 12. දොළොස්වක 13. තෙළෙස්වක 14. තුදුස්වක 15. පසළොස්වක
ඉහත තිථි 15න් 2, 7, 12 තිථි භද්‍රා තිථි ලෙස හඳුන්වා දී තිබෙන අතර විෂ කන්‍යා යෝගය ඇතිවන්නේ භද්‍රා තිථියක ඉපදී ඇති විට පමණයි.
විෂ කන්‍යා යෝගය සහිතව ඉපදීම අවස්ථා කිහිපයක් යටතේ විස්තර කෙරෙනවා. - දෙවැනි තිථිය යෙදී ඇති අඟහරුවාදා දවසක සියාවස නැකැතකින් ඉපදී සිටීම.
- දෙවැනි තිථිය යෙදී ඇති සෙනසුරාදා දවසක අස්ලිස නැකැතින් ඉපදී සිටීම.
- හත්වැනි තිථිය යෙදී ඇති අඟහරුවාදා දවසක සියාවස හෝ විසා නැකැතින් ඉපදී සිටීම.
- හත්වැනි තිථිය යෙදී ඇති සෙනසුරාදා දවසක කැති නැකැතින් ඉපදී සිටීම.
- දොළොස්වැනි තිථිය යෙදී ඇති ඉරිදා දවසක අස්ලිස, කැති, සියාවස යන නැකැතකින් ඉපදී සිටීම.
අපගේ ජීවිත ගමනේදී මෙම කරුණ ඉතාමත් වැදගත් වන්නේ, විවාහය සඳහා පොරොන්දම් බලන අවස්ථාවේදීයි. මෙවැනි විවාහකයාට මරණය ගෙන දෙන නරක යෝග කිහිපයක් ගැනම ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. පොරොන්දම් ගළපන කොට වෙන වෙනම ස්ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකම මාරක යෝග සඳහා පරීක්ෂා කරන්න ඕනෑ. ස්ත්‍රියක් ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා ඉපදී ඇත්නම් 2, 7, 12 යන භද්‍රා තිථියක ඉපදී ඇත්නම් කැති, අස්ලිස, විසා, සියාවස යන නැකැතක ඉපදී ඇත්නම් විෂ කන්‍යා යෝගය ගැන පරීක්ෂා කර බලන එක වඩාත් හොඳයි.
මෙහෙමයි කියලා විෂ කන්‍යා යෝගය තියෙන අයට කවදාවත් විවාහ වෙන්න බැහැ කියලා පැරණි ජ්‍යොතිෂ මූලාශ්‍රවල සඳහන් වන්නේ නැහැ. මෙම දෝෂය භංගවන ක්‍රමද එම පොත්වල සඳහන් වෙනවා.
ඕනෑම කේන්දරයක හත්වැන්න අධිපතියා හත්වැන්නේම සිටියදී ලග්න රාශියේ හෝ චන්ද්‍රයා සිටින රාශියේ බුධ, ගුරු, සිකුරු වැනි සුබ ග්‍රහයෙක් සිටී නම් එම කේන්දරයේ විෂ කන්‍යා යෝගය තිබුණද එය භංග වෙනවා.
ලග්නය ස්ත්‍රී රාශියක් වෙලා සඳු, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් කේන්දරයේ බලවත් වෙලා ඉන්නවා නම් විෂ කන්‍යා යෝගය භංග වෙනවා. (ස්ත්‍රී රාශි වන්නේ වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන රාශීන්ය.)
ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි











