2020 පෙබරවාරි 16 ඉරිදා සිට 22 සෙනසුරාදා දක්වා ඔබට මොකද වෙන්න?
මේෂ – ශාරීරික පීඩා
සඳු 8, 9, 10 භාව හරහාද, ලග්නාධිපති කුජ 9 වැන්නේද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබට වැඩකටයුතුවලදී ශරීරයට පීඩා ඇති විය හැකිය. නිතර නිතර සිතට අසහනය ගෙන දෙන සිදුවීම්වලට මුහුණ දීමට සිදුවෙයි. සතිය මැදදී ඇති වන අසනීපයක් නිසා එදිනෙදා වැඩකටයුතුවලින් බැහැර වීමට සිදුවෙයි. ඥාතීන්ගෙන් සහ හිතවතුන්ගෙන් උපකාර ලබා ගැනීමට සිදුවෙයි. සති අන්තයේදී විදෙස්ගතව සිටි මිතුරකු ඔබ හමුවට පැමිණේ.
ජය අංකය : 6, ජය වර්ණය : කහ පැහැය
වෘෂභ – ලොතරැයි දිනුමක්
ඔබගේ ලග්නාධිපති සිකුරු අය ස්ථානය වන 11 වැන්නේද, සඳු 7, 8, 9 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. හදිසි ධන ලාභයක් ලැබීමට නියමිත බැවින් ලොතරැයි මිලදී ගැනීමට සුදුසු කාලයකි. අනාගත දියුණුව සඳහා මුදලක් ආයෝජනය කිරීමට අවස්ථාව සැලසෙයි. නිවෙස අලංකාර කිරීමට අවශ්‍ය භාණ්ඩ කිහිපයක්ම මිලදී ගනී. සමාජයෙහි තමන්ට හොඳ නමක්, සැලකිල්ලක් ලැබෙන සතියකි. අඹු-සැමියන් අතර සුහදතාව වැඩිදියුණු වෙයි. සති අන්තයේ විනෝද ගමනක් යෑමට අවස්ථාව උදාවෙයි.
ජය අංකය : 2, ජය වර්ණය : කොළ පැහැය
මිථුන – පින්දහම් කටයුතු
ලග්නාධිපති බුධ පුණ්‍ය ස්ථානය වන 9 වැන්නේද, සඳු 6, 7, 8 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබගේ සිත වැඩි පුර යොමු වන්නේ පින්දහම් කටයුතු ගැනය. ශරීර සෞඛ්‍ය ඒ තරම් යහපත් නොවන කාලයකි. උගුර, කන, නාසය ආශ්‍රිත රෝග ඇති විය හැකිය. හිතවතුන් සහ ඥාතීන් සමඟ තිබෙන හොඳ හිත පලුදු විය හැකි බැවින් දුරදිග බලා කටයුතු කිරීම සුදුසුය. එදිනෙදා කටයුතුවල වෙනස්කම් කිහිපයක්ම සිදුවන අතර, ඒ හැම එකකින්ම ඔබට අවාසි සිදුවෙයි.
ජය අංකය : 9, ජය වර්ණය : දම් පැහැය
කටක – පදිංචියේ වෙනසක්
පදිංචි ස්ථානය වෙනස් කිරීමට සිදුවිය හැකිය. ලග්නාධිපති සඳු 5, 6, 7 භාව හරහා ගමන්ගනී. මේ සතිය තුළදී ඔබගේ වැඩකටයුතුවලට වැඩිහිටියන්ගෙන් විරුද්ධකම් එල්ල විය හැකි බැවින් කල්පනාකාරී වන්න. හිතුමතේ වැඩ කිරීමට ගොස් අලාභයක් විඳීමට සිදුවෙයි. සතිය මැදදී තමන්ට හිතවත් පිරිසක් සමඟ දුරබැහැර ගමනකට සහභාගී වීමට සිදුවෙයි. දරුවකුගේ රැකියා කටයුතු පිළිබඳව වෙහෙසෙන කාලයකි.
ජය අංකය : 7, ජය වර්ණය : සුදු පැහැය
සිංහ – කාර්ය බහුල සතියක්
කාර්ය බහුලව අවිවේකීව සතිය ගෙවී යන අතර, අනාගත දියුණුව සඳහා වැඩපිළිවෙළක් සකස්කර ගනී. ලග්නාධිපති රවි 7 වැන්නේද, සඳු 4, 5, 6 භාව හරහාද ගමන් ගනී. සෙම් රෝග, උදරාබාධ, උණ ආදී රෝග මතුවීමට ඉඩ ඇත. විවාහක අඹු-සැමියන් අතර වාද-භේද ඇති වන කාලයකි. ඇස්වහ, කටවහ වැනි දෝෂ ඇති විය හැකි බැවින් තමන්ගේ සාර්ථකත්වයන් අන් අයට ප්‍රදර්ශනය නොවන ලෙස කටයුතු කරන්න.
ජය අංකය : 7, ජය වර්ණය : කොළ පැහැය
කන්‍යා – වස්තු ලාභ
ලග්නාධිපති බුධ 6 වැන්නේද, සඳු 3, 4, භාව ස්ථාන හරහාද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබට නොයෙකුත් භාණ්ඩ ලබා ගැනීමට හැකිවෙයි. රැකියා කටයුතු ව්‍යාපාර ආදියෙහි දියුණුවක් දැකගැනීමට හැකිවෙයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින කන්‍යා ලග්න හිමියන්ට අලුත් ඉගෙනීම් සඳහා යොමු වීමට අවස්ථාව සැලසෙයි. මොළය වෙහෙසා කරන කටයුතුවලින් ආදායම් උපයා ගතහැකි සතියකි.
ජය අංකය : 6, ජය වර්ණය : සුදු පැහැය
තුලා – කාන්තාවන් සමඟ ගැටුම්
සඳු 2, 3, 4 භාව හරහාද, ලග්නාධිපති සිකුරු 6 වැන්නේද ගමන් ගනිමින් ගෙවී යන සතිය තුළදී ඔබ කාන්තා පක්‍ෂය සමඟ මතභේද ඇතිකර ගන්නා බවක් පෙන්නනට තිබේ. තමන් සිතන, පතන ආකාරයටම බොහෝ දේ සිදුවන කාලයකි. අලුත් ඇඳුම්, පැලඳුම් මිලදී ගැනීමට අත ඇති මුදලින් වැඩි කොටසක් වැය කරයි. සතිය මැදදී හදිසි ධන ලාභයක් ලැබීමට නියමිත අතර, දේපොළ පිළිබඳව තිබුණු ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීමටද හැකිවෙයි.
ජය අංකය : 6, ජය වර්ණය : නිල් පැහැය
වෘශ්චික – ආදායම පහළ යයි
මේ සතිය තුළදී ඔබගේ ආදායම් තත්ත්වය වෙනදාට වඩා පහළ මට්ටමක පවතින බවක් පෙනෙන අතර, ලග්නාධිපති 3 වැන්නේද, සඳු 1, 2, 3 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. නිෂ්පල දේටත් යන්ත්‍ර-සූත්‍රවල කොටස් මිලදී ගැනීමටත්, අත ඇති මුදල් වැඩිපුර වියදම් වෙයි. හිස ප්‍රදේශයේ ආබාධයක් ඇති විය හැකියි. මෙතෙක් හිතවත්ව සිටි කෙනකු සුළු වරදක් නිසා ඔබෙන් ඈත් වන අතර, අලුත් මිතුරන් සමඟ ඇසුර ආරම්භ කරයි.
ජය අංකය : 2, ජය වර්ණය : රතු පැහැය
ධනු – මුළාවීමක්
අන් අයකුගේ රැවටීමකට මුළාවකට ඔබ ලක්විය හැකි සතියකි. ලග්නාධිපති ගුරු ලග්න භාවයේමද, සඳු 12, 1, 2 භාව හරහාද ගමන්ගනී. සිත්තැවුල්, කනගාටු ඇති වන අතර, තිබුණු ගෞරවය අඩු වීමට හේතු වන කරුණු යෙදේ. ඥාතීන් සමඟ කතාබහ කිරීමේදී දුරදිග බලා වචන පාවිච්චි කළයුතු කාලයකි. හදිසි කැපුම්, කෙටුම්, වැටීම් ආදියෙන් සුළු තුවාල, අනතුරු ආදිය සිදුවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින ධනු ලග්න හිමියන්ට විභාගවලින් සමත් විය හැකි කාලයකි.
ජය අංකය : 1, ජය වර්ණය : කහ පැහැය
මකර – ඥාති හමුවක්
සතිය ආරම්භයේදීම ඔබට කලකින් නුදුටු ඥාතීන් කිහිප දෙනකුම හමුවී සුහද පිළිසඳරක යෙදීමට අවස්ථාව සැලසෙන අතර, ලග්නාධිපති ශනි ලග්න භාවයේමද, සඳු 11, 12, 1 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. කලක් සුළු අමනාපයකින් පසුවූ ඥාතියකු ඔබ සමඟ සුහදව කටයුතු කිරීම නිසා ඔබට සැලකිය යුතු ලාභයක් ලබා ගැනීමට හැකි වෙයි. වගා කටයුතුවල යෙදී සිටින මකර ලග්න හිමියන්ට යහපත් සතියකි. සිතට සැනසීම ඇතිව කාලය ගතවෙයි.
ජය අංකය : 1, ජය වර්ණය : සුදු පැහැය
කුම්භ – ආදර සංග්‍රහ
ඔබට මේ සතිය තුළදී ප්‍රීති උත්සවයකට සහභාගී වීමටත්, ආදර සංග්‍රහ නොඅඩුව භුක්ති විඳීමටත් අවස්ථාව සැලසෙයි. ලග්නාධිපති ශනි වැය ස්ථානය වන 12 වැන්නේද, සඳු 10, 11, 12 භාව හරහාද ගමන් ගනිමින් සිටී. එදිනෙදා කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට හැකි වන අතර, ආදායම් තත්ත්වයේ ඉහළ යෑමක් පෙන්නුම් කරයි. විදෙස් සංචාර බලාපොරොත්තුවෙන් සිටින කුම්භ ලග්න හිමියන්ට විදෙස් ගතවීමට අවස්ථාව උදාවෙයි.
ජය අංකය : 3, ජය වර්ණය : කහ පැහැය
මීන – දරුවන්ගේ අසනීප
දරුවන්ගේ අසනීප වෙනුවෙන් කාලය ගතකිරීමට සිදුවන සතියකි. ලග්නාධිපති ගුරු 10 වැන්නේද, සඳු 9, 10, 11 භාව හරහාද ගමන්ගනී. වගා කටයුතුවල යෙදී සිටින මින ලග්න හිමියන්ගේ වගා පාළු වන කාලයකි. වැරැදි මාර්ගයකින් මුදල් ඉපැයීමට ගොස් නීතියේ රැහැනට හසුවීමේ අවදානමක් පවතින බැවින් කල්පනාකාරී වන්න. ගමන් – බිමන් අධික වෙතත් එයින් ප්‍රයෝජන ලැබෙන්නේ ඉතා සුළු වශයෙනි. සති අන්තයේදී ඔබට ආගමික කටයුත්තකට සහභාගි වීමට අවස්ථාව සැලසෙයි.
ජය අංකය : 1, ජය වර්ණය : සුදු පැහැය
ජ්‍යොතිෂ විiා විශාරද, ජ්‍යොතිෂ ශිරෝමනී,
දේශබන්ධු, අගලවත්තේ චන්දන වීරක්කොඩි











