13 නපුරු ඉලක්කමකි. මේ නිසාමදෝ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරනු ලැබීය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිද්දී එවකට ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමැතිවරු ආරක්ෂා සහිතව බස් රථයකින් හෝටලයක සිට පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබීය. 13ට එරෙහිව රට පුරා ගිනි ඇවිළිණි. ජවිපෙ 13ට පක්ෂ මන්ත්‍රිවරුන්ට මරණ වරෙන්තු නිකුත් කරනු ලැබීය. පාර්ලිමේන්තුවට බෝම්බ ගසනු ලැබීය. මැති ඇමැතිවරු එජාප ලේකම්, සභාපති ඇතුළු නිලධාරීන්, පළාත් සභා, පළාත් පාලන මන්ත්‍රිවරු ඝාතනය වූහ. විජය කුමාරණතුංග නම් වූ ප්‍රකට නළුවා ඝාතනය විය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ රටම මළ ගෙයක්ව තිබියදීය. මිනිස්සු ඡන්දෙ දමන්න ගියේ මළ මිනී උඩින්ය. ඡන්ද දායකයන් තැන තැන මරනු ලැබීය. ඇත්තටම ජේ.ආර්.ගේ ආණ්ඩුව ඉවර වුණේ 13 නිසාය.
ලංකාවේ පළමු පළාත් සභා ඡන්දය වූ 1988 පළාත් සභා ඡන්දයේදී විජය ඝාතනය විය. දෙවැනි පළාත් සභා ඡන්දය වූ 1993 පළාත් සභා ඡන්දයේදී ජනාධිපති ප්‍රේමදාස සහ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය විය. එජාප ආණ්ඩුව වසර 17කට පසු අවසන් ගමන් ගියේ 1994 දකුණු පළාත් සභා මැතිවරණයෙන්ය. චන්ද්‍රිකා කරළියට ආවේ 1993 පළාත් සභා ඡන්දයෙන්ය.
චන්ද්‍රිකා ජනාධිපති වී පැවැති පළමු පළාත් සභා ඡන්දය වූ 1999 වයඹ පළාත් සභා ඡන්දය ඡන්ද මංකොල්ලයක් වූ අතර චන්ද්‍රිකාගේ ආණ්ඩුව අප්‍රසාදයට පත්වීම ආරම්භ වූයේ 1999 පළාත් සභා ඡන්දයෙන්ය. ජවිපෙ කරළියට ආවේත් 1999 පළාත් සභා ඡන්දයෙන්ය.
2005 ජනාධිපති වූ මහින්දගේ ආණ්ඩුව ඉවර වූයේත් පළාත් සභා ඡන්දයකිනි. ඒ 2014 ඌව පළාත් සභා ඡන්දයෙන්ය. මහින්දගේ ආණ්ඩුව පළාත් සභාව දින්නත් ඌව පළාත් සභා ඡන්දයෙන් යූ.ඇන්.පී.ය ඔළුව ඉස්සුවේය. මෛත්‍රි පොදු අපේක්ෂකයා වූයේද ඌව පළාත් සභා ඡන්දයේදී යූ.ඇන්.පී.ය ඔළුව උස්සපු නිසාය. 2014ට පසුව තවම පළාත් සභා ඡන්ද පවත්වා නැත. ඒ මෛත්‍රි – රනිල් ආණ්ඩුව 13ට බය වූ නිසාද කියන්න දන්නේ නැත.
13 ඒ තරමටම ගුප්ත ව්‍යවස්ථා සංශෝධනයකි. 13ට පසු මෛත්‍රි – රනිල් ආණ්ඩුව ගෙන ආ 19ද 13 වගේම ගුප්ත ව්‍යවස්ථා සංශෝධනයකි. මෛත්‍රි – රනිල් ආණ්ඩුව වැටුණේත්, රාජපක්ෂලා යළි බලයට ආවේත් 19 නිසාය. 19 ආණ්ඩු තුළ අර්බුද ඇති කොට ආණ්ඩු පුපුරවන කාල බෝම්බයක් වැනිය. එයට හේතුව රටේම ජනතා ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපති සහ පාර්ලිමේන්තු බහුතරය දිනාගන්නා අගමැති අතර සටන නිසාය. ජනාධිපතිවරණයකින් මුළු රටම දිනා ගන්නා ජනාධිපති හිතන්නේ රට පාලනය කරන ජනවරම ඇත්තේ තමන් අතේ කියාය. ඒත් අගමැති හිතන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව රට පාලනය කරන බලය තියෙන්නේ තමන් අතේ කියාය. මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලය පුරාම දක්නට ලැබුණේ බලය සඳහා මේ දෙදෙනා අතර වූ අරගලයය. මෙහිදී තමාට තමා ලබාගත් ජනවරම ක්‍රියාත්මක කිරීමට අගමැති සීමා පනවන විට ජනාධිපති සමීප වන්නේ පක්ෂයටය. මහින්දලා මෛත්‍රිට සමීප වූයේ 19 නිසාය. ඒ මෛත්‍රි 19 නිසා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව සමඟ ඇතිකර ගන්නා වෛරය තම වාසියට ප්‍රයෝජන ගන්නටය. මෛත්‍රි බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වෙලාය. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වී ජනාධිපතිවරණය අවලංගු කර ජනාධිපති පාර්ලිමේන්තුවෙන් තෝරන ක්‍රමයකට ගියා නම් රට පාලනය කරන්න ජනවරම ඇත්තේ අගමැතිට බවට හිත හදා ගන්න ජනාධිපතිවරයකුට සිදුවේ. ඒත් මහජන ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙක් හිතන්නේ ජන වරම අයිති තමාට කියාය. ජනාධිපති වූ පසු මෛත්‍රි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අකමැති වූයේත්, රට පාලනය කරන්න ජනවරම ලබාදී ඇත්තේ තමන්ට කියා හිතාගෙනය. 2015 මහ මැතිවරණය දිනා අගමැති වූ රනිල් හිතුවේ 19ට අනුව රට පාලනය කරන ජනවරම ඇත්තේ තමන් අතෙහි කියාය. මෛත්‍රි තමාට හිමි යැයි හිතන ජනවරම ක්‍රියාත්මක කරන්න අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය ඉඩ නොදෙන විට බලෙන් රට පාලනය කරන්න ගන්නේ තමන් වටා සිටින නිලධාරීන්, උපදේශකයන් සහ විපක්ෂය ප්‍රයෝජනයට ගනිමින්ය. ඔහු ඔවුන් පාවිච්චි කොට බර අවිවලින් පහර දුන්නේ තමන්ගේම ආණ්ඩුවටය. මෙය මෛත්‍රි එක් පක්ෂයක් රනිල් තවත් පක්ෂයක් නියෝජනය කළ නිසා හටගත් ආරවුලක් නොවේ. 2019 ජනාධිපතිවරණයෙන් සජිත් දිනා රනිල් අගමැති වුණා නම් මේ අර්බුදය එන්නේ එජාපය තුළින්ය. එවිට එජාපය තුළම බල කඳවුරු දෙකක් ගොඩනැඟී එකිනෙකාට පහර දීමට පටන් ගැනීමට ඉඩ තිබිණි. අවසානයේ එයින් ආණ්ඩුව පමණක් නොව පක්ෂයද විනාශ වී යෑමට ඉඩ තිබිණි.
“ඉතින් මේ 19 කාලබෝම්බය ගෝඨාට මහින්දට පත්තු වෙන්නේ නැද්ද?”
මහින්ද 2019 ජනාධිපතිවරණයේදීත් පසුගියදා ඉන්දියාවට ගිය විටදීත් කීවේ තමන් සහ ජනාධිපති ගෝඨාභය සහෝදරයන් නිසා 19 හදන අර්බුදය තම ආණ්ඩුවට අදාළ වන්නේ නැහැ කියාය. හැබැයි ලංකාවේ ඉතිහාසය බලන විට රජකම බෙදාගන්න දරුණුතම යුද්ධ පැවතියේ සහෝදරයන් අතරය. නිදහසින් පසු ලංකාවේ දේශපාලන ඉතිහාසයේත් බලය සඳහා වූ දරුණුතම දේශපාලන අර්බුදය පැන නැග්ගේ ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක සහෝදරවරුන් අතරේය. ඒ චන්ද්‍රිකා සහ අනුර අතරය. ඔවුහු ශ්‍රීලනිපය අයිති කරගන්න මහා සටනක් ගෙන ගියහ. රණතුංග පවුලේ ගම්පහ ඔටුන්නට ප්‍රසන්න සහ අර්ජුන අතර සටනක් තිබේ. එම නිසා සහෝදරකම් නිසා 19 හදන අර්බුද යටතේ වෙනවා යැයි මහින්ද කියන කතාව පිළිගත නොහැකිය. අනෙක් අතට 19 නිසා මහින්ද සහ ගෝඨාභය තමන් අමාරුවෙන් දිනාගත් බලය නැති කර ගනීය කියල හිතන්නත් බැරිය. අනෙක රාජපක්ෂ පවුල බණ්ඩාරනායක පවුල වගේ නොවේ. ඔවුන්ගේ ලේවල ඝනකම වැඩිය.
“ඉතින් 19 අහෝසි කළා නම් ඉවරයිනේ…”
ජනාධිපතිවරණයට කලින් 19 අහෝසි කරන්න ඕන යැයි පොහොට්ටුව කිව්වාට දැන් ඒ කතාව කියන්නේ මෛත්‍රිපාලයි, ශ්‍රීලනිපයයි විතරයි.
“ඇයි ඒ…?”
හේතුව හරිම පැහැදිලිය. 19 අහෝසි කළහොත් අගමැති මහින්ද පියන් කෙනෙක් වෙනවාය. ජේ.ආර්. හදපු විධායක ජනාධිපති ක්‍රමය යටතේ අගමැති ධුරය පියන්කමකට සමාන කළේ අනුර බණ්ඩාරනායකය. ඒ ප්‍රේමදාසට සමච්චල් කරමින්ය. ප්‍රේමදාසත් එය පිළිගත්තේ 1988 ජනාධිපතිවරණයට පක්ෂයෙන් නාමයෝජනා ලබා පක්ෂ සම්මේලනයේ කළ කතාවෙනි.
ඇත්තටම විධායක ජනාධිපති ක්‍රමය යටතේ පත්වූ හැම අගමැතිම වැඩ කළේ පියන් වගේය. ඒ අතරින් ප්‍රේමදාස පමණක් වැඩ මවාගෙන වැඩ කළේය. ඒත් ජේ.ආර්. ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්න උදයේ කෑම මේසයට ආරාධනා කළ දෙතුන් දෙනා අතර ප්‍රේමදාස සිටියේ නැත. ප්‍රේමදාසද ඔහුගේ අගමැති ඩී.බී. විජේතුංග පියන් කෙනෙක් කළේය. ප්‍රේමදාස අගමැති ධුරයට හෙව්වේම පියන් කෙනෙකි. චන්ද්‍රිකා අගමැති ධුරයට පත්කළේත් රෝද පුටුවෙන් යන මැතිනියවය. ඇයත් ඇයට පසු අගමැති වූ රත්නසිරිත් වැඩ කළේ පියන්ලා වගේය. ප්‍රේමදාසට පසු මවාගෙන බලය පෙන්වාගෙන අගමැතිවරයෙක් වැඩ කළේ නම් ඒ 2004 පත්වූ මහින්දය. 2002 අගමැති වූ රනිල් – චන්ද්‍රිකාගේ ආණ්ඩුව පරාජය කොට අගමැති වූ නිසා ඔහු ආණ්ඩුවේ නායකයා විය. මහින්ද ජනාධිපති වී අගමැති ධුරයට පත්කළේත් පියන්ලාය. ඔහු පළමුව රත්නසිරිත්, ඉන්පසු දි.මු.වත් අගමැති ධුරයට පත්කළේය.
“ඉතින් 19 අහෝසි කොට ඩී.බී. රත්නසිරි, දි.මු. වගේ පියන් කෙනෙක් වෙන්න මහින්ද කැමැති වෙයිද?”
මහින්ද එහෙම වෙයි කියා හිතන්න බැරිය. 19 ඕනෑ මහින්දටය. ඒ බව දැන ගෝඨාභයත් 19 අහෝසි කරයි කියා හිතන්න බැරිය. 19 වගේම 13ත් කවදාවත් අහෝසි කළ හැකි ව්‍යවස්ථා සංශෝධනයක් නොවේ. එයට හේතුව ආසියාවේ ලොකු අයියා ඉන්දියාව ගොරවන නිසාය. 19 නම් අහෝසි කරන්න පුළුවන. ඒ පොදු අපේක්ෂකයෝ ජාතික අපේක්ෂකයෝ නැතිව ප්‍රධාන පක්ෂයක නායකයා ජනාධිපතිවරණයට තරග කරන විටදීය. මන්ද ඔහුට කා සමඟවත් බලය බෙදාගන්න අවශ්‍ය නැත. ඒත් 19 අහෝසි කරන්න තුනෙන් දෙකක් නැතිව බැරිය. තුනෙන් දෙක හදා ගන්න එක ලේසි නැත. රාජපක්ෂලාටත් 19 එක්ක ජීවත් වෙන්න හුරු පුරුදු වෙනවා ඇරෙන්න විකල්පයක් නැත. 19 නපුරු බව රාජපක්ෂ පවුලේ අන් කාටත් වඩා හොඳින් බැසිල් දනී. ඔහු මහ ඡන්දයට තරග නොකරන්නේ ආණ්ඩු පුපුරුවන 19යේ නපුර කඩන පවුර තමන් යැයි හිතාගෙන විය යුතුය.
උපුල් ජෝශප් ප්‍රනාන්දු










