දකුණු පළාතේ පිහිටි නිවෙසක වාස්තු පරීක්ෂා කරන විට එහි වර්තමාන හිමිකරු නිවෙසේ සිව් වැනි උරුමකරුවා විය. මොහු වසර 35කට පමණ පෙර තම මව්පියන්, දෙසොහොයුරන් සමඟ මෙහි පදිංචි වී දෙවසරක් පමණ ගතවන විට වැඩිමහල් සොහොයුරා සිහිකල්පනාව අහිමි වන රෝගී තත්ත්වයකට බඳුන්ව ආගිය අතක් සොයාගත නොහැකි පරිදි නිවෙස හැරදා ගොස් ඇත. එහි ශෝකය දරා ගත නොහැකි වූ පියා දැඩි සේ රෝගාතුරව ලෙඩ ඇඳට වැටිණි. කොතරම් ප්‍රතිකාර කළද සුවයක් නොලබා වසර හතරකට පමණ පසු පියා දිවි ගමනට සමු දුන්නේය.
පියාගෙන් පසුව ඔවුන්ගේ වැවිලි ව්‍යාපාරය කරට ගත් අනෙක් සොහොයුරාද හදිසියේම වසවිස ශරීරගතව මියගිය හෙයින් බාලයා වූ වත්මත් හිමිකරුට ව්‍යාපාරය උරුම වුවත්, සාපය ලද්දාක් මෙන් වරින් වර මාරක රෝගාබාධවලට ගොදුරුව දිවි ගැලවුණත් කොයියම් මොහොතක හෝ පියාට, සොහොයුරන්ට අත්වූ පරිදි ඉරණමක් තමාටද අත්වේදැයි ඔහු දැඩි මානසික පීඩාවකට හා බියට පත්ව සිටියේය.
නිවෙසේ සහ ඉඩමෙ කොටසින් කොටස පරීක්ෂා කිරීමේදී නිවෙසියන්ට මෙවන් දුක්ඛදායී ඉරණමක් ඇති කළා වූ වාස්තු දෝෂයන් මා හට සොයා ගැනීමට හැකි විය. පැවැති වාස්තු දෝෂ සහ ඒවාට මා යෙදූ පිළියම් මෙසේය.
ප්‍රධාන දොර ගිනිකොන දිශාවට පිහිටීම.
මෙම නිවෙසේ ප්‍රධාන දොර පිහිටියේ ගිනිකොන දිශාවේය. ගිනිකොන දොර පිහිටීමෙන් ගෘහ මූලිකයාට අඩු ආයුෂ, දැඩි මානසික පීඩා, උමතුවීම, බිය ජනිත කරවයි. නිවෙසේ ප්‍රධාන දොරට ඉහළින් කානු පරාලයක් (යටලී) වැටී තිබිණි. මෙලෙස පිහිටි විට මානසික පීඩා, සිත් තැවුල් උපදවයි. ප්‍රධාන දොර ගලවා ඊශාන දිශාවට ඉසුරු පාදයේ තබන ලදී.
ගබඩා කාමරයක් තුළ බ්‍රහ්ම පාදය පිහිටීම.
මෙම නිවෙසේ හරි මැද හෙවත් බ්‍රහ්ම පාදය පිහිටියේ ගබඩා කාමරයක් තුළය. නිවෙසක බ්‍රහ්ම පාදය ගබඩා කාමර වැනි අඳුරු ස්ථානයන්හි පිහිටීමෙන් ගෘහමූලිකයාගේ හෘදය, පපුව ආශ්‍රිතව රෝගාබාධ මෙන්ම නිවෙසියන්ගේ ජීවිත අඳුරෙන් වසා ගත්තා වැනි තත්ත්වයන් ඇති වේ. හදවත නිතර ශෝකයෙන්, බියෙන් පිරී පවතී. සිතෙහි සැනසුම නැතිව ගොස් සතුරු කරදර රෝග පීඩා බහුල වේ. ගබඩා කාමරය ඉවත් කිරීමට උපදෙස් දෙන ලදී.
විෂමබාහු භූමිය සහ ශල්‍ය දෝෂ.
පොළොව යට යම් අසුබ දෙයක් මිනී හා සත්ත්ව ඇට කටු, නිධාන, කුණු වැළලී තිබීම ශල්‍ය දෝෂයන්ය.
මෙම ඉඩමේ නිවෙසට ආසන්නව සොහොන් කොත් පිහිටා තිබිණි. භූමි පාඵවක් ලෙස ක්‍රියාත්මක වන සොහොන් කොත් ශල්‍ය දෝෂ ඇති කළේය. මෙලෙස පිහිටීමෙන් නිවෙස, ඉඩම් පාඵ වී විනාශ මුඛයට ඇද දමයි. අමනුෂ්‍ය දෝෂ, ජීවිතවලට බිය, දුක්, මානසික පීඩා ජනිත කරයි.
මිනී පෙට්ටියක හැඩය ගත් (විෂමබාහු භූමිය) ඉඩම නිසා නිවෙසියන් තවත් අගාධයකට ඇද දමමින් මාරක දෝෂ, ශෝකය ඇති කළේය. භූමි පා`ඵව ඉවත් කිරීමටත්, විෂමබාහු හැඩය ඉවත් කිරීමටත්, චතුරස්‍රාකාර හැඩයකට වැටගසා මායිම් වෙන් කළේය.
නිවෙසේ පැවැති වාස්තු දෝෂ ඉවත් කිරීමෙන් පසු මේ වන විට නිවෙසියෝ නව වැවිලි ව්‍යාපාරයක්ද ආරම්භ කොට බියකින් තොරව සැනැසීමෙන් ජීවත් වෙති.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ










