සාර්ථකත්වයට පත්වීම දියුණුව ලැබීම සැමටම තියෙන හීනයක්. ඒත් ඒ හීනේ සිහිනයක් නොවී හැබෑවක් කරගන්න පුළුවන් කීයෙන් කීදෙනාටද. පුද්ගලයන් සියයක් ගත්තොත් අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි සාර්ථක මිනිස්සු ඉන්නේ. තමන් දන්න කියන අය, නෑදෑයෝ, හිතමිතුරන්, අසල්වාසීන් අතර කවුරු හරි එකපාරට දියුණු වුණොත් හැමෝම හොයලා බලනවා මෙයා කොහොමද එකපාරට දියුණු වුණේ. මොකක්ද දියුණුවේ රහස කියලා. ඒත් ඇත්ත හේතුව හොයාගන්න හම්බවෙන්නේ කලාතුරකින්. ජීවිතයේ අන්තිම අඩියට වැටිලා ඉඳලා දියුණුවට පත්වෙලා වර්තමානයේ චමත්කාරවත් ජීවිතයකට උරුමකම් කියන තැනැත්තියක් හොයාගෙන අපි ඇගේ නිවෙසට ගියේ දියුණුවේ රහස ඔබට හෙළිකරන්න. මේ කරුණු ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුවේවි.
‘චමත්කා අපි කොතැනින්ද කතාව පටන් ගන්නේ?’
‘මම කැමැතියි දුක්කරදර පිරිලා තිබුණු අතීතයට යන්න’ චමත්කා ඇගේ කතාව අප හා කියන්න පටන් ගත්තා.
මේනකගෙයි – මගෙයි විවාහ ජීවිතයට දැන් අවුරුදු දහයක්. ලොකු දූටත් අවුරුදු අටක්නේ. මගේ මහ ගෙවල් හංවැල්ලේ උනාට මේනකගේ මහ ගෙවල් කෑගල්ලේ. අපි දෙන්නාගේ රස්සාවල් හින්දා කොළඹ පදිංචිය අත්‍යවශ්‍ය දෙයක් වුණා. ඒ හින්දා කසාද බැඳලා මාස දෙකක් විතර යනකොට මේ ගේ මේනක ලෝන් එකක් දාලා ගත්තා. ලෝන් එකට මාසෙකට ලොකු ගානක් කැපුණත් ප්‍රශ්නයක් වුණේ නැත්තේ මගේ පඩියයි, මේනක සති අන්තයේ ලෙක්චර් කෙනෙක් විදියට වැඩ කරපු නිසා ලැබුණු මුදලයි නිසා. මේනක හරි ආසයි පරණ ගෙවල්වල පෙනුමට. ඒ හින්දා මහනුවර යුගයේ චිත්‍ර, පැරැණි ලී බඩුවලින් ගේ ලස්සන කළා. ගෙදරට එන හැමෝම කිව්වේ හරි ලස්සනයි කියලා. ඒත් ජීවිතේ ලස්සන තිබුණේ කී දවසද?
ගෙදර පදිංචි වෙලා අවුරුදු හතරක් විතර යද්දි මම රස්සාවෙන් අයින් වුණා. පොඩි දූ හම්බ වෙන්න හිටිය නිසා. අපිට සල්ලි ප්‍රශ්න තිබුණෙත් නැහැනේ. මම රස්සාවෙන් අයින් වෙලා ටික දවසකින් මේනකට රස්සාවේ ප්‍රශ්න එන්න ගත්තා. මේනකට රස්සාව ලැබුණු කාලේ එයා වැඩ කරපු සමාගම එච්චර ප්‍රසිද්ධ නැහැ. ඒත් මේනක අලෙවි කළමනාකරු විදියට වැඩ පටන් අරන් ටික කාලෙකින් කොම්පැනි එක දියුණු වෙලා ප්‍රසිද්ධ වුණේ මේනක හින්දා. සමාගමේ දියුණුවත් එක්ක උසස් වීමක් බලාපොරොත්තු වුණත් මේනකට උසස්වීම් නොදී මෙලෝ වැඩක් නොකරන හැම වෙලේම මේනකට වළ කපපු කෙනෙක්ට උසස්වීම් දීලා මේනකව එයා යටතේ වැඩ කරන්න දැම්මා. මේනක මානසිකව වැටෙන්නෙ නැතුව හිටියේ ලෙක්චර් කෙනෙක් විදියට හරි වැඩ කරන්න පුළුවන් නිසා. ඒකෙත් ප්‍රශ්න එන්න ගත්තා. ලෙක්චර්ස් අඩු වුණා. ලැබෙන ආදායම් අඩුවෙලා දරුවෝ දෙන්නගේ වැඩ කරගෙන ජීවත් වුණේ හරි අමාරුවෙන්. මේනකයි, මමයි රට යන්න ලෑස්ති වුණේ විකල්පයක් නැති නිසා. ඒකත් හීනයක් වගේ වුණා.
‘වාස්තු බැලුවද?’
ඔව්, ඒ විතරක් නෙවෙයි තියෙන වාස්තු දෝෂ අයින් කරන්න වැඩකටයුතු කළ නිසා තමයි මමයි, මේනකයි, දරුවොයි සතුටින් ඉන්නේ.
‘එතකොට මොනවද ගෙදර තිබුණු දෝෂ. ඒවා අයින් කළේ කොහොමද?’
ඒ හැම දෙයක්ම මේ විස්තර පත්‍රිකාවේ ඇති. විස්තර පත්‍රිකාව චමත්කා මා අත තැබුවා.
නිවෙසේ තිබූ වාස්තු දෝෂ සහ ඒවාට යෙදූ පිළියම් මෙසේය.
නිවෙසේ එක් මුල්ලක සිට අනෙක් මුල්ල පෙනීම
නිවෙසක පවතින්නේ ප්‍රධාන මුලු 4ක් පමණි. එය නිවැරැදිව වටහාගත යුතුය. මන්ද නිවෙස විවිධ හැඩතලයන් අනුව විවිධ පැතිකඩවලට විහිදී ගිය විට මුලු වරදවා වටහා ගන්නට පුළුවන්. නිවෙසේ ප්‍රධාන මුලු 2ක අංශක 45 කෝණයට පෙනේ නම් (සරලව සරල ආකාරයෙන් පැවසුවහොත් මුල්ලෙන් මුල්ලට ගසන ඉරි පවතින ආකාරයට එක් මුල්ලක සිට නිවෙසේ අනෙක් මුල්ල පෙනේ නම්) එය බලවත් ධන හානි කරවන දෝෂයකි. විශේෂයෙන් දොරවල් 2ක් එම මුලුවල තිබුණහොත් එම දෝෂය තීව්‍ර වෙයි. දිනෙන් දින පරිහානියට පත්ව දිළිඳුභාවයට ඇද දමයි. ජීවිත පරිහානියට එක් හේතුවක් වෙයි. බිත්තියක් බැඳ එම දෝෂය භංග කළ හැකිය. (ප්‍රධාන දොර සුබ පාදයක තැබීමෙන් එම දෝෂය තරමක් භංග කළ හැකිය)
විෂමබාහු භුමිය
විෂමබාහු භූමියක් යනු පැති 6කින් සමන්විත ඉඩමකි. සරලව කිවහොත් ඉඩමේ මුලු 4ක් ඇත. දිග පැත්ත වැඩිය පිහිටයි. මෙය මිනී පෙට්ටියක හැඩය ගනී. සමහර අවස්ථාවලදී ඕවාලාකාර හැඩයක අවස්ථාද ඇත. විෂමබාහු භූමියක වාසය කිරීමෙන් නිරන්තරයෙන් ජීවිතයට අවාසනාව උදාවෙයි. ගෘහ මූලිකයාට මාරක ගෙනදෙයි. නිරන්තරයෙන් ශෝකය ඇති වෙයි. ඉඩම ඕනෑම අතකට දෙකකට බෙදීමෙන් හෝ ඉඩමේ නැම්ම ඇති පැත්තක් කෙළින් කිරීමෙන් දෝෂය ඉවත් වෙයි.
බ්‍රහ්ම පාදයට එල්ලවන සේ ප්‍රධාන දොර පැවැතීම
මෙයින් අදහස් කරන්නේ බ්‍රහ්ම පාදයේ සිට විහිදෙන ඍජු රේඛාවකට ප්‍රධාන දොර කැපීමයි. මෙම නිවෙසේ සිදුවූයේ බ්‍රහ්ම පාදයේ සිට විහිදෙන ඍජු රේඛාවකට අඟල් හයකින් පමණ ප්‍රධාන දොර හසුව පැවැතීමයි. මධ්‍ය ලක්‍ෂ්‍යයකට ලම්බකව හසුනොවූ බැවින් මාරක ඇති නොකළත් පරිහානිය, උසස් වීම් අහිමි වීම, ආර්ථික පරිහානිය, සෞඛ්‍ය පරිහානිය ආදිය ඇති කරයි. නිවෙසට තව කොටසක් එකතුකර මෙම දෝෂය භංග කළ හැකිය. සියලු දෝෂ නිරාකරණයෙන් පසු නිවැසියන් සාර්ථකත්වයට පත්වනු නිසැකයි.
අමාලි අගස්පතිරණ











