ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගෙයි. එය පැරැණි කියමනකි. ගහෙන් වැටුණොත් මොකද වෙන්නෙ…..
වාහනයක හැපුණොත් මොකද වෙන්නෙ….
දීමට පිළිතුරු රාශියක් ඇත. එයට පෙර ඇසිය යුතු පැනයක් ද ඇත. අතපය කැඩිලද? අතපය තැළිලද? එහෙම නැතිනම් රෝගියා මැරිලද? පිළිතුරු එසැණින් හිමිවෙයි.
මරණයක් සිදුවී නොමැත. වාසනාවකි. අත් පා කැඩී ඇත.
අත්පා කැඩීම, හදිසි අනතුරු, ශල්‍යකර්ම, රුධිරය වැගිරීම් ආදියට ජ්‍යොතිෂයේ මූලික වන්නේ කුජ ග්‍රහයාය. කුජ ග්‍රහයා පීඩාවට පත්වූ ජන්ම පත්‍රයක හදිසි අනතුරු පිළිබඳව පූර්ව දැනුම් දීම් ඇත. එහෙත් අත්පා බිඳී ගිය රෝගියකුගේ ජන්ම පත්‍රය පිරික්සීමෙන් ඵලයක් නොවේ. කඩිනමින් කළ යුතු වන්නේ නිසි ප්‍රතිකාර ලබා දීමයි.
හදිසි අනතුරක් වීමෙන් යමකුගේ සන්ධියක් තුවාල විය හැකිය. සන්ධි හෝ අස්ථි භග්නයක් හෙවත් කැඩීමක් තුළින් ශරීරයේ අනෙකුත් සන්ධි පීඩාවට පත්වීම් ක්‍රමවේදයන් දෙකකට අනුව සිදුවිය හැකිය. එය කැඩුම් බිඳුම් වෙදකමේ උඵක්කුවක් සහ විස්ථාපනය යන නමින් හැඳින්වේ. සන්ධියක බන්ධනයක් ඉරීයෑම උඵක්කුව වේ. සන්ධියක් සෑදෙන අස්ථි කෙළවර එකිනෙකින් සම්පූර්ණව ඈත්වීම විස්ථාපනය නම්වෙයි.
උඵක්කුවීම් වැඩි වශයෙන් ඇතිවන්නේ වළලුකර සන්ධියේය. එහෙත් දණහිස- වැළමිට-මැණික් කටු සන්ධි හා ඇඟිලිවල සන්ධිවල උඵක්කුවීම් ඉඳහිට ඇතිවේ.
ක්ෂණික විස්ථාපනය ඇතිවන්නේ හදිසි අනතුරක් නිසාය. වැටීමකින්, පහරවැදීමෙන් හෝ ගාත්‍රයක් ඇඹරීයෑමෙන් විස්ථාපනය ඇතිවිය හැකිය. උරහිස-වැළමිට-උකුඵ සන්ධිවල විස්ථාපනය බොහෝ විට ඇතිවේ. විස්ථාපනයන්හිදී අස්ථි බොහෝ විට ඈත්වෙයි. එවිට ඒවා සම්බන්ධ කරන බන්ධන හා අස්ථි සන්ධි ප්‍රාවර ඇදී හෝ ඉරී යයි. විස්ථාපනයක් වූ විට එම සන්ධියේ සාමාන්‍ය චලනය වෙනස්වීම සන්ධිය අවට තිබිය යුතු සාමාන්‍ය හැඩය වෙනස්වීම විස්ථාපනවල ලක්ෂණ හා නිමිති වේ. තැළීම-ඉදිමීම-වේදනාවද ඇතිවීම පීඩාවේ සොබාවයකි. දුරස් වූ අස්ථි කෙළවර නියමිත තැනට දැමීම විස්ථාපනය සකස් කිරීම වෙයි. අස්ථියක් කැඩීමකට වඩා බිඳීම වෙනස් වෙයි. අස්ථියක් බිඳීමෙන් ඇට කැබැලි රාශියක් භග්නය තුළ විසිරීමට ඉඩ ඇත. භග්නය සිදු වූ ස්ථානයේ ඉදිමීම ඇතිවේ. චලනය අපහසු වෙයි. භග්නයේ ස්වභාවය අනුව රෝගියාගේ නාඩි ගමන වේගවත් විය හැකිය. රුධිර පීඩනය දුර්වල වෙයි. ශරීරය සුදුමැලි වීමද අධික පිපාසය සහ සිහිමුර්ඡාවද ඇතිවීමට ඉඩ තිබේ. වමනය ඇතිවීම, ශරීරය සීතල වීමද රෝගී සොබාවය අනුව අඩුවැඩි වෙයි. ඉළ ඇට බිඳුණු විට රෝගියාට පිරිසුදු ගිතෙල් ස්වල්පයක් බීමට දී බිඳුණු ඇට මත ගිතෙල් හෝ සන්ධිතෙල් තවරා ඒ මත උණපතුරු වැනි පතුරු තබා වෙඵම් පටි යෙදිය යුතුය.
කොඳු ඇට බිඳුණු විට උඩට නෙරා ගිය ඇටය පහත් කර පහතට ගිය ඇටය ඔසවා තෙල් ගල්වා වෙ`ඵම්පටි යොදන අතර කළවා ඇට බිඳුණු විට එම ඇට එකතු කර නොසෙල්වෙන ලෙස පැත්ත සන්ධිවන අයුරින් බැඳිය යුතුය. රෝග විනිශ්චයේදී ප්‍රතිකාරක ක්‍රමවේදයන් වෙනස් වෙයි.
හදිසි අනතුරකින්- අස්ථි බිඳීමෙන් පීඩාවට පත් රෝගියකුගේ සොබාවය පිළිබඳව රෝගියාගේ භාරකරුවන් දැනුවත් වීම වැදගත්ය. වැටීම්-තැළීම්- ඇට බිඳීම්- කැඩීම් ආදී පීඩාවන්ගෙන් වාත කෝපවීම් සිදුවේ.
මලමුත්‍ර අඩස්සිය, ශ්වසනය අවිධිමත් වීම, බඩ පිපුම, ස්වර භේදය, අප්‍රාණිකත්වය, දෙඩවීම ආදී ලක්ෂණ වාත කෝපවීමෙන් ඇතිවේ.
රෝගියා මෙම පීඩාවන්ගෙන් මුදවා ගැනීමට වාත උපක්‍රම අතරින් වස්ති කර්මය ප්‍රධානය. වාත කෝප සමනයට එරඬු තෙල් වැනි තෙල්වලින් අංග මර්දනය කිරීම, වෙළීමද මූලික ප්‍රතිකාරක රටාවනට අනුගතය.
මිනිස් ශරීරයේ ප්‍රධාන ශක්තිත්‍රය වා, පිත්, සෙම් වන අතර මින් යමක් විකෘතිවීම දෝෂ වශයෙන්ද සියල්ල නියමිත පරිදි ක්‍රියාකොට ශරීරය පවත්වාගෙන යෑම ධාතු නමින්ද, විකෘති වූ සෙම් ශරීරය කිලිටි කිරීම මල නමින්ද හැඳින්වේ. ශරීරයක පැවැත්ම උදෙසා මලද ඉතා අවශ්‍ය කොටසකි. ප්‍රධාන වශයෙන් මල කොටස් තුනකි.
1.ස්වේද/දහදිය 2. මුත්‍ර 3. පුරීෂ(අසූචි) යනුවෙනි.
ශරීර මූලයන්හි තෙවැනි කොටස වන මල ශරීරයෙන් පිට කිරීම තුළින් ශරීරය පිරිසුදු වෙයි. ශරීර ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් නිසා ශරීරයට හිතකර දේ මෙන්ම අහිතකර දෙයද නිපදවෙයි. ශරීරයේ යහපත් පැවැත්ම උදෙසා අහිතකර දේ ශරීරයෙන් බැහැර කළ යුතුය.
පිට කළ යුතු අහිතකර දේ, ශරීරයෙන් පිටනොවීම බරපතළ හානියකි. මල මුත්‍ර අඩස්සිය, උදරය පුරවා දැමීම භග්න රෝගියකුට හානිකර වුවද මල මුත්‍ර බැහැර කිරීමෙන් බරපතළ පීඩාවන් දුරුවෙයි. රෝගියාට නිවැරැදි ස්මෘතිය ඇති වෙයි. එය වෛද්‍යවරයාට රෝගී සොබාවය නිසිව හඳුනා ගන්නට පහසුවකි.
ගසෙකින් මිනිසකු වැටීම, ක්ෂණිකව සිදුවෙයි.නැඟී සිටීමට දීර්ඝ කාලයක් ගතවෙයි. ගසෙක පංචාංගයම මිනිස් සර්වාංගය සුවපත් කිරීමට සැදී පැහැදී සිටියි. කැඩුම් බිඳුම් වෙදකමේ අරුමැසියද එතැනය.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











