ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද වඩාත් ප්‍රචලිත විවාහ ක්‍රම අටක් වේ. මේවා අදටත් වලංගුය. එහෙත් අද මේවා හණමිටි අදහස්වලට පටවා පුහු ආටෝපයන් කරපින්නාගෙන විවාහ වෙති. නූතන යුගයේ වයස අවුරුදු 18 දී විවාහ වී වයස අවුරුදු විස්සේදී පමණ දරුවන් සමඟ උපන් ගෙදර යයි. ඉන්පසු ඇයව සැමියා මඟහැර යයි. පසුව දරුවන් සමඟ නින්දා මැද ඇය දුක්විඳී. මෙය බොහෝ කනගාටුදායක කරුණකි. එනිසා මෙම විවාහ ක්‍රම දැන සිටීම වැදගත්ය.
බ්‍රහ්ම විවාහය
අලංකාරව මනාලිය සරසවා මනාල යුවළම අලුත් සළුපිළිවලින් සැරසී නැකැතට පෝරුවට නැඟ චාරිත්‍ර ඉටුකර ඥාතීන්ට බුලත් හුරුලු දී කතා කිරීම චාරිත්‍රයක් විය. සවස් කාලයේ යෙදෙන සුබ නැකැතින් හතර පාර්ශ්වයේ නෑයන්ගේ උණුසුම් ආශීර්වාදය මැදින් මනාලියගේ නිවෙසින් යුවළ පිටත්ව යයි. නිවෙසින් එසේ පිටව යන තෙක් ඔවුන්ට බමුණන් පමණක් මංගල ගීත, අෂ්ටක ගායනා කර දෙදෙනාට සුබ පතයි. මෙම විවාහ චාරිත්‍ර සෑම එකක්ම බමුණන් විසින් සිදුකරයි. ස්ත්‍රීන් කිසිවක් සිදු නොකරයි.
දේව විවාහය
ස්ත්‍රී, පුරුෂ දෙදෙනාගේ දෙපාර්ශ්වයේ හිතවතුන්, ඥාතීන්, මවගේ ඥාතීන්, පියාගේ ඥාතීන් සමඟ එකතු වී විවාහ මංගල උත්සව ජයට පවත්වයි. නව යුවළට ආශීර්වාද කරමින් නැකැතට පෝරුවේ චාරිත්‍ර කරයි. කලින් දෙපාර්ශ්වයම පොරොන්දම් පරීක්ෂා කර බලා මංගල නැකැත් සාදා මනාල පාර්ශ්වයෙන් එම නැකැත් මනාලියගේ ගෙදරට ගොස් නැකැතට භාරදෙයි. එසේ සිදුකරන විවාහය දේව විවාහයයි.
අසුර විවාහය
මව්පියන්ගේ මුදල් අය කරගෙන මනාලයා විසින් මනාලියව කැඳවාගෙන යෑම අසුර විවාහයයි. මෙම විවාහය එතරම්ම අනුමත කළ නොහැක්කකි. මනාලයා මුදලට කෑදරකමට බිරිය ගත්තාට නියම ආදරයක්, සෙනෙහසක් ඇයට නොලැබෙයි. එම සියල්ලම ලැබෙන්නේ මුදල් අතේ තිබෙනතුරු පමණයි. මුදල් අවසන් වූ විට මනාලියව නැවැත මහගෙදරට යවයි. නැවැත මුදල් ගෙන්වාගැනීමට. එවිට දෙවැනි බිරියක්ද සිටී. ඇය රූමත් බවින් පළමු බිරියට වඩා රූමත් නම් ඇය ඔහුව යටත්කරගෙන ඔහුගෙන් මුදල් ඉල්ලයි. මුදල් නැති විට ඔහුව ඇය තනිකර දමා වෙනත් සල්ලිකාර තරුණයකු සමඟ යයි. මෙය අසම්මත විවාහයකි. පිරිමිකමත් නින්දාවට ලක්වන පැවැත්මක් නැති විවාහයකි.
ප්‍රජාපතී විවාහය
මෙය යහපත්ම විවාහයක් බව නමින්ම ඔබට පැහැදිලි වේවි. ශිෂ්ට සම්පන්න විවාහයකි. මෙය පළමුව කී බ්‍රහ්ම විවාහයට නෑකම් කියයි. ඒ හා බොහෝදුරට සමාන වේ. මව්පිය දෙදෙනාගේ අදහස් අනුව මව්පියන්ගේ අවවාද අනුශාසනා අසා ඒ අනුවම විවාහ චාරිත්‍ර සියල්ල ඉටුකරන විවාහයකි. විශේෂයෙන්ම මෙහිදී මනාලියට ඇගේ මව්පියන් විසින් විවාහ ජීවිතය ගතකළ යුතු ආකාරය, පතිදම් රැකගත යුතු ආකාරය, සැමියාට, සැමියාගේ මව්පියන්ට, හිතවතුන්ට, ඥාතීන්ට, දරුවන්ට සැලකිය යුතු ආකාරය කියාදෙමින් අවවාද සමූහයක් ඇයට ලබාදෙයි. පතිවත සුරැකි කතට දෙවියන්ද පිහිට වේ.
ගාන්ධර්ව විවාහය
තරුණ වයසේ පසුවන ස්ත්‍රී, පුරුෂ දෙදෙනකු හමුවී එකිනෙකාට ප්‍රේම කරමින් සිට ප්‍රේමයෙන් පසුව දෙපාර්ශ්වයේම මව්පියන්ට හොරා දෙදෙනාගේ තනි කැමැත්තට විවාහ වීම ගාන්ධර්ව විවාහයයි.
ස්වයංවර විවාහය
මෙය රජ දවස පැවැති විවාහයකි. වසර දහස් ගණනක සිට පැවැත එන්නකි. ධනවත් නිවාසවල මෙය පෙර දවස පැවැති විවාහයකි. විවාහ වන වයසේ තරුණ දුවක් සිටී නම් මව්පියන් විසින් නොයෙක් පළාත්වල තරුණයන් තම නිවෙසට කැඳවාගෙන එම තරුණියව ඔවුන් හමුවට කැඳවා තමන් කැමැති තරුණයාට තරුණිය විසින් මල්මාලයක් පැලඳීමෙන් විවාහය සඳහා ඇය තම සහකරුවා සොයාගැනීම සිදුකරයි.
රාක්ෂ විවාහය
රූමත් තරුණියක් දුටු විට ඇගේ නිවෙසට පැමිණ මව්පියන්ව බියගන්වා විරුද්ධ වූ විට මවුපියන් හට පහරදී ඔවුන්ට හානි සිදුකර, තුවාල සිදුකර පසුව තරුණියව පැහැරගෙන යෑම හා විවාහ වීම රාක්ෂ විවාහයයි. කිසිම විදිහකින්වත් අනුමත කළ නොහැකි තත්ත්වයේ විවාහයකි.
ප්‍රේත විවාහය
මව්පියන් හොඳින් ආරක්ෂා කරන තම දියණියව එම මව්පියන්ට හොරෙන් බලෙන්ම පැහැරගෙන ගොස් විවාහ වීම ප්‍රේත විවාහයයි කියති. අපි ශිෂ්ටසම්පන්නව ජාතියක් ලෙස මෙයද අනුමත කළ නොහැකි විවාහයකි.
මෙම විවාහ ක්‍රමවලින් බොහොමයක් සමාජය විසින්ම පිළිකුල් කර ප්‍රතික්ෂේප කර ඇත. ප්‍රේත, රාක්ෂ හා අසුර විවාහය ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඉන්දියාවෙන් ඇරැඹි මෙම විවාහ ක්‍රම අද පෙරදිග සංස්කෘතිය පිළිගන්නා රටවල්වලට පවා ව්‍යාප්ත වී අදටත් ශේෂව පවතී.
මෙම විවාහ ක්‍රම අට ප්‍රකාශයට පත්කරන ලද්දේ වත්ස්‍යන පඬිවරයා විසිනි. අවුරුදු දහස් ගණනකට පෙර ප්‍රකාශ කළ මෙම කරුණු අදටත් වලංගුව පවතී. අද බුද්ධිමත් සමාජයක් තුළ පවා අසුර, ප්‍රේත, රාක්ෂ ගණයේ විවාහ කෙරෙන බව නොරහසකි.
ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන











