ජ්‍යොතිෂයේ සඳහන් දහසකුත් එකක් යෝග අතරින් ජන්ම පත්‍රයක ඉතා කලාතුරකින් යෙදෙන ඒ සිංහාසන යෝගය නිර්මලව පිහිටි කල නිසැකවම ඉහළ ප්‍රතිඵල දෙනවා සේම යම් දුර්වලතාවකින් පිහිටියද යම් පමණ හෝ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ගෙනදෙයි.
දුර ඈත අතීතයේ නම් සිංහාසන යෝගය පිහිටි කල එම ජන්මීන්ට හිමි වූයේ රටේ රජකමය. එහෙත් වර්තමානයට එකී තත්ත්වය යාවත්කාලීන කර ගළපා ගැනීමේදී සිංහාසන යෝගයෙන් උපත ලද්දෝ කොතරම් දිළිඳු අසරණ පවුල් පසුබිමක ජනිත වුවද ඉදිරි අනාගතයේ එකී ජන්මියා සමාජයේ කවර හෝ ඉහළ නිලයක, තානාන්තරයක වැජඹීම නම් ස්ථිරය. සිංහාසන යෝගයෙන් මෙලොව ජනිත වීම ඉතා අපහසු සේම එසේ උපන්නවුන් අනුන් යටතේ සේවය කිරීමට බොහෝ විට අකැමැතිය. ඒ ඔවුන් නායකත්වය, මූලිකත්වය, ප්‍රමුඛත්වය අපේක්‍ෂා කරන බැවිනි. මෙම යෝගය හිමියන්ට උක්ත තත්ත්ව හිමිවනුයේ නිරායාසයෙනි. මෙවැන්නන් ස්ත්‍රී වේවා, පුරුෂ වේවා බොහෝ විට සමාජයේ කැපීපෙනෙන ව්‍යාපාරිකයන්ය. සාමාන්‍යයෙන් සිංහාසන යෝගයෙන් උපන් ජන්මීන්ගේ ජීවිතය තරුණ විය දක්වා රක්‍ෂා කරගැනීම තරමක් අපහසුය. එනමුත් යම් ලෙසකින් මෙම යෝගහිමියෝ තරුණ වියට පා තැබුවහොත් යෝගයේ බල දුබලතාව මත ප්‍රතිඵල ලැබෙනු ස්ථිරය. විශේෂයෙන් යෝගයට දායක බලවත් ග්‍රහයකුගේ හෝ ඡායා ග්‍රහයකුගේ මහ දශා අතුරු දශා ලැබීමේදී හා ඒ සමඟ යෝගයට අදාළ ග්‍රහයන් සුබ ගෝචරයක යෙදීමෙන් උසස් ප්‍රතිඵල හිමිවෙයි.
සිංහාසන යෝගය ජන්ම පත්‍රයක 2, 6, 8, 12 යන දුෂ්ට ස්ථාන හෙවත් ත්‍රික ස්ථානවල ග්‍රහයන්ද, ඡායා ග්‍රහයන්ද තැන්පත් වීමෙන් නිර්මාණය වෙයි. මෙහිදී අවම වශයෙන් එක් ස්ථානයක ග්‍රහයකු හෝ ඡායා ග්‍රහයකු සිටිය යුතුය. සාමාන්‍යයෙන් කේන්දරයක 2 වැන්න ද්විතීයික ධාරක ස්ථානය ලෙසද, 6 වැන්න රෝග ස්ථානය ලෙසද, 8 වැන්න මරණ හෙවත් ආයුෂ ස්ථානය ලෙසද, 12 වැන්න වැයස්ථානය ලෙසද හැඳින්වෙයි. පොදුවේ ගත්කල උක්ත 2, 6, 8, 12 යන සිවු ස්ථානයන්ම අසුබ ස්ථානයන්ය.
සිංහාසන යෝගය හිමියන් කරා ධනය, බලය, කීර්ති, ප්‍රශංසා, ගරු නම්බු, ගෞරව නාම යනාදිය ගලා එන්නේ නිරායාසයෙනි. විශේෂයෙන් ත්‍රික ස්ථානවල සියලුම ග්‍රහයන් ඒකරාශී වීමත් එසේ නොමැති කල එම ස්ථානවල පාපීන්ම සිවු දෙනෙක් ස්ථානගත වීමත් තුළින් යෙදෙන සිංහාසන යෝගය ඉතාම ප්‍රබලය. මොවුන් තම ආත්ම ගෞරවය උපරිමයෙන් රැකගන්නා ආත්ම අභිමානයෙන් යුතු පුද්ගලයන්ය. යම් ලෙසකින් සිංහාසන යෝගය ලග්නයේ තැන්පත් වූ චන්ද්‍රයා කෙරෙන් යෙදෙන විට වඩාත් බලවත්ය. කරුණු කාරණා එසේ නමුත් ඇතැම් ජ්‍යොතිෂ පොතපතට අනුව රාහු හා කේතු යන ඡායා ග්‍රහයන් මෙකී යෝගයට දායක නොවන බවද සඳහන් වෙයි. කෙසේ නමුත් සිංහාසන යෝගයේ බලය යම් යම් හේතු මත අඩුවන කල යෙදෙනුයේ අර්ධ සිංහාසන යෝගය වෙයි. අර්ධ සිංහාසන යෝගය බොහෝ විට යෙදෙනුයේ ග්‍රහ දෘෂ්ටිවලිනි. එවැනි අර්ධ සිංහාසන යෝග උසස්ම ප්‍රතිඵල නොව මධ්‍යම ප්‍රතිඵල ගෙනදෙයි.
සාමාන්‍යයෙන් ජන්ම පත්‍රයක පාපී ග්‍රහයන් ලෙස හඳුන්වනුයේ කුජ, ශනි, අවසඳු හා රවි යන ග්‍රහයන්ය. මේ හැර රාහු හා කේතු යන ඡායා ග්‍රහයන්ද පාපීන්ම සේ සැලකේ. තවද මෙකී පාපීන්ට පරිබාහිර ඒ ඒ ලග්නයට පාපීන් වන ග්‍රහයන්ද ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. එසේම ජන්ම පත්‍රයක දුෂ්ට ස්ථාන අධිපතීන්ද, 3, 7, 11 අධිපතීන්ද, පාපීන්ම සේ සැලකේ. යම් ජන්ම පත්‍රයක සිංහාසන යෝග පිහිටීම දුටු කල එම යෝගය තුළ තැන්පත් ග්‍රහයන්ගේ රාශිගත බලය සේම භාවගත බලය මැනවින් තුලනාත්මකව තක්සේරු කර පලාපල පැවසිය යුතුය. එසේම එම ග්‍රහයන් තැන්පත් නැකැතද අදාළ භාවාධිපතියාට ඇති සතුරු – මිතුරුකමද සැලකීමට බඳුන්කළ යුතුය. මීට අතිරේක යෝගයට දායක ග්‍රහයන් අස්ථද, ග්‍රහ යුද්ධ ආදියෙන් පරාජිතද සුබ – අසුබ ග්‍රහ දෘෂ්ටි ලබයිද භාව සන්ධිගතද නොඓසේ නම් භාව ආරෝහණ හෝ අවරෝහණද භාව මධ්‍ය ස්ඵුට ආසන්නයේද යන වග විමසා බැලිය යුතුය. තවද ලග්න කේන්දරයේ පමණක් නොව නවාංශක කේන්දරයේද යෝගයට අදාළ ග්‍රහයන් බලවත් නම් නිසැකවම සිංහාසන යෝගයේ ප්‍රතිඵල ජන්මියාට ලබාදෙයි. එනමුත් යම් ලෙසකින් මෙකී යෝගය ඉතාම දුර්වලව පිහිටි කල යෝගය යම් පමණ පලදීම සැකසහිත බව කිව යුතුමය. ඔබට මේ ලිපිය අධ්‍යයනය තුළින් ඔබේ ජන්ම පත්‍රයේ සිංහාසන යෝගය පිහිටා ඇද්ද, එය පලදෙන මට්ටමක පවතීද යන්න අවබෝධ කරගත හැකිය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද











