බහිරව යන වචනය ගැන අප මීට ප්‍රථමද විවිධ මාතෘකා යටතේ කතාබස් කර තිබේ. කෙසේ නමුත් බහිරවයා කියූ සැණින් සෑම කෙනකුගේම මනසට නැගෙනුයේ යම් බියකරු රූපයකි. එසේම සිත තුළ තිගැස්මක් ඇති වීමද සාමාන්‍ය දෙයකි. බහිරවයන් පිළිබඳව කතා කිරීමේදී වස්තුව, ධනය, මුතු-මැණික්, රන්-රිදී ආදිය අමතක කළ නොහැකිය. මන්ද බොහෝමයක් බහිරවයන් මෙම වස්තූන්ට ආශා කරමින් ඒ ඒ වස්තුවට බැල්ම හෙළමින් වාසය කරන්නන් බව පැවසේ.
එහිදී අතීතයේ අද මෙන් සිය ධනය ආරක්‍ෂා කර ගැනීමට දියුණු තාක්‍ෂණික ක්‍රම නොතිබීම හේතුවෙන් එකල බොහෝමයක් ධනවත් පිරිස් සිය ධනය විවිධ තැන්හී රඳවා තබා ඇත. එවැනි ස්ථාන ලෙස ගස්, ගල් මෙන්ම මහපොළොවද යොදාගෙන ඇති අතර, එසේ රඳවා තැබූ ධනය කාලාන්තරයක් නොගැනීම මත එම ස්ථාන තුළම නිධන් බවට පත්ව ඇත. එසේ නිධන් වූ වස්තුව මිහිපිට වෙසෙන බහිරවයන්ට පෙනෙන බවටද මතයක් වෙයි. එනිසා එම බහිරවයන් අදාළ ස්ථානවල නතර වී එම ධනයට ආශාවෙන් රැඳී සිටින බවත් එසේ රැඳී සිටිමින් එම ධනයට කාගෙන් හෝ අනතුරක් වේ යැයි සිතුණහොත් එම පුද්ගලයන්ට විපත් පමුණුවන බවටත් විශ්වාසයක් වෙයි.
එසේම රත්නපුරය ආදී ප්‍රදේශවල ඇති මැණික් ඉල්ලම්ද බහිරවයන්ට හොඳින්ම පෙනෙන බව පැවසෙයි. එනිසා ග්‍රහ තත්ත්වය බලවත් නොවූ පතල්කරවැන්ගේ අදාළ පුදපූජා නොබලා පතල්කරුවන් මැණික් ඉල්ලමට ළංවෙත්ම බහිරවයා සිය බලය යොදා එම ඉල්ලම වෙනත් පැත්තකට රැගෙන යන බවටද විශ්වාසයක් වෙයි. එසේම බොහෝ මැණික් පතල් හිමියන්ට මැණික් ලැබෙන්නේ මෙම තත්ත්වය බලපාන බවට විශ්වාස කෙරෙන අතර, යම් ලෙසකට අදාළ පුදපූජා තැබීමෙන් පසුව ඇතැම් පතල් හිමියන්ට මැණික් පතල් හමුවෙනුයේ මැණික්වලට බැල්ම හෙළා සිටින බහිරවයාගෙන් තිබූ බාධාවන් ඉවත්වීමෙන් බවට විශ්වාස කෙරේ.
බහිරවයන්ගේ වාසස්ථාන ලෙස ඇතැම් ඉඩම්ද තෝරාගෙන තිබෙනවා. යම් ලෙසකට බහිරවයන් ප්‍රිය කරන යමක් යම් ඉඩමක ඇත්නම් එම ඉඩම බහිරවයාගේ වාසස්ථානය සඳහා තෝරා ගැනෙනවා. එවැනි බහිරව වාසස්ථාන ඇති ඉඩම්වල විශාල නාගයන් සිටි බවටත් මතයක් තිබෙනවා. බහිරව දෝෂ ගැන හඳුනාගත හැකි තවත් සාධක කිහිපයක් ගුප්ත විiාවේදී හඳුන්වා දී තිබෙනවා. ඒ අතරින් රාත්‍රියට විවිධ ආලෝක ඇති වීම, මිටි විරූපී මිනිසුන් පෙනීම, ඉඩම්වල පදිංචිකරුවන් රාත්‍රියට සිහිනෙන් බියට පත්කිරීම, ඉඩමට, කළු හරක් ඒමට පටන් ගැනීම, ඉඩම්වල පලදාව ලැබුණු ගස් නිසරු වී, ආදායම බින්දුවට වැටීම වැනි දේත් ප්‍රසිද්ධයි. බොහෝ දුරට බහිරවයන් කෝප වූ විට මේ තත්ත්වය වැඩි වෙනවා කියලත් කතාවක් තිබෙනවා.
මේවා සරලව සිතීම අනිටු පල ඇති කරන්නට සමත් වෙනවා. එනිසා තමන් සිටින ඉඩමේ බහිරවයන්ට අයත් යමක් ඇතැයි සැකයක් වේ නම් පහනක් දල්වා බහිරවයාට ඔහුගේ වස්තුව තබාගන්නා ලෙස පවසා තමන්ට එම වස්තු අනවශ්‍ය බැවින් තමාටත්, පවුලේ අයටත්, ආර්ථිකයටත් කරනා හානිය නතර කරන ලෙස ඉල්ලා සිටීමෙන්ම ඔබට බහිරව කරදරයෙන් මිදී සුවසේ ජීවත් වීමට වාසනාව උදාවනු ඇත.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර











