ඉරණම සහ සිත මිනිසාගේ දිවිමඟ තීරණය කරයි. ගැහැනිය හෝ පිරිමියා තම ජීවිතයේ බොහෝ අවස්ථාවන් ඉරණමට භාර කරයි.
ඉරණමට පිටුපෑමට නොහැකිය යන්න බොහෝ දෙනකු තුළ වෙනස් කළ නොහැකි මතයක්වී ඇත. ඉරණම, කරුමය, දෛවය ලෙස ආගම් අනුවද මෙම මතය මිනිසාගේ ජීවිත කාලය තුළ නොයෙකුත් අයුරින් වෙනස්කම් ගොනුකරවයි.
යමකුගේ ජන්ම පත්‍රයෙන්ද දක්වන්නේ ඉදිරි ජීවිතයෙහි සිදුවන වෙනස්කම්ය. ඉරණම, කරුමය, දෛවය පිළිබඳ පෙර දැක්මක් ලෙස ජන්ම පත්‍රය පිළිගනු ලබන්නේ එහෙයිනි. දෛවයේ සරදමට ලක්වන්නෝ අනන්තය. දෛවයේ සරදමට පිටුපා දිවිය ජයගත්නෝද අනන්තය. අනන්ත වූ දෛව සටහන් වෙනස් කරනු ලබන්නේ මිනිසාගේ සිතයි. ජ්‍යොතිෂයේදී චන්ද්‍රයා හෙවත් සඳුගෙන් ජන්මියාගේ සිත විමසුම් කරනු ලබයි. සඳුගේ යහපත් වීම, බලවත් වීම, නීච වීම මත මිනිස් සිතුවිලි විවිධ වෙයි. එඩිතර වීම, සානුකම්පික වීම, රළු වීම, පීඩාවට පත්වීම සඳුගේ ග්‍රහ ස්වභාවය අනුව මිනිසා හට උරුම වෙයි.
මිනිසාගේ සිතට ආදරයේ මිහිර සැනසුම හෝ පීඩාව උරුම කර දෙනු ලබන්නේද සඳුය. ඉරණම සමග ගැටෙන සිත අනුව ආදරයේද විවිධ වූ පැතිකඩ විදහා දක්වයි.
“මිනිසාගේ කායික ආශාව සාමාන්‍ය ප්‍රමාණයේ ඇති තෙක් කාම ශාස්ත්‍රයෙහි නීති බල නොපාන්නේය. එහෙත් ආදරයේ බලවේගය ක්‍රියාත්මක වූ පසු එහි නීතියක් හෝ ශාස්ත්‍රයක් නොමැත” යනුවෙන් කාම සූත්‍රයෙහි සඳහන්ය.
විවාහය නම් රැහැන දෙදෙනකු එක්කරවයි. ගැහැනියකගේ හෝ පිරිමියකුගේ එක්වීම ඔවුන්ගේ දිවිමඟ දෙවැනි උපත ලෙස හඳුන්වන්නේ එහි ඇති බලවත්කම නිසාය. ජීවන ගමනට අවැසි ශක්තිය තවත් අයකුගෙන් හිමිවීම ලෞකික දිවියේ දියුණුවට මාර්ගයකි. එය සතුටකි. සහනයකි.
එහෙත් එහි අයහපත වෙනුවෙන් මිනිසා මැසිවිලි නඟනුයේ දෛවයටය. පීඩාව ආරම්භ වූයේ තම සිත තුළය. චෝදනාව උරුම වන්නේ දෛවයටය. ඉරණමටය. ඉරණමට දෛවයට හිමි ගරුත්වය ගිලිහී එය නිර්වචනය වන්නේ කරුමය ලෙසය.
සඳු හෙවත් සිත පතන ආදරය ජන්මියකුගේ තරුණ කාලයෙන් බලවත් වෙයි. ජන්ම පතෙහි ඉරණම අනුව ගැටෙන සඳු හෙවත් සිත තරුණ කාලයේ සිට දිවියේ අවසන දක්වා විවිධව දොළොස් ආකාරයකින් හැඩතල මවයි. එම හැඩතල දොළස ගෙවාලන්නට නොහැකි වූවන්ද එමටය. ඒ අනුව සඳුගේ පිහිටීම බලපාන්නේ මෙලෙසිනි.
* සංවේදී වූ ප්‍රේමණීය හැඟීම් පළමු භාවයෙන් ඇරැඹෙයි. ප්‍රේමයේ ආකර්ෂණීය සිතුම් පැතුම් සිතුවිලි සහ බාහිර ක්‍රියාකාරකම්වලින් මනාව පෙන්වයි.
* දෙවැන්න ආදරණීය සිහිනයේ පරිත්‍යාගශීලී භාවයයි. එය සිත්ගන්නා වදන්, ත්‍යාග හා බැඳෙයි.
* තුන්වැන්න පෞරුෂයයි. නොපසුබට ශක්තියයි. තමන්ට හිමිවිය යුතු ප්‍රේමය වෙනුවෙන් සටනට, දිවිදීමට හෝ පෙලඹෙන ස්වභාවයක් එහි ඇත.
* හතරවැන්නෙන් සිතේ සංවේදී බව ප්‍රකාශ වෙයි. මගේ සිත ඔබ ළඟය. ප්‍රේමය ප්‍රකාශ වන්නේ හදවතෙනි.
* ප්‍රේමයේ වින්දනය පස්වැන්නෙහිය. දෙදෙනකුගේ පෙම් සුව විඳීම එහි නිරූපිතය. ඇතැම් විටෙක ප්‍රේමයේ චපල බවද තවත් හදකට ළංවීමද ඇතිවිය හැකිය.
* හයවැන්නෙන් ප්‍රේමයට එල්ලවන වැඩිහිටි විරෝධය, සතුරු බාධක සහ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ රෝග පීඩා පෙන්වයි.
* හත්වැන්න පෙම් ලොව ජයගත් ප්‍රේමණීය විවාහයයි. පෙම් ලොව ජයගත් වාසනාවන්තම යුවල තමන් ලෙස එකිනෙකා සිතනු ලබන්නේ හත්වැන්නෙනි.
*ඔහු හෝ ඇය මට වටහාගනු නොහැකිය යන පළමු සිතුවිල්ල ඇතිවන්නේ අටවැන්නෙනි. එකිනෙකාගේ කායික සහ මානසික රෝග පීඩාද මෙම කාලයට අවනතය.
* පෙර කළ කුසල් අකුසල් පලදීමක් ලෙස නවවැන්න තුළින් විවාහ දිවිය දැකීමට හැකිය. වැඩිහිටි උරුම හිමිකම්වල ලැබීම නොලැබීමද එහිදී හඳුනාගත හැකිය.
* ආදායම – රැකියාවේ වෙහෙස සහ එකිනෙකාගේ වැඩහිටියන් වෙනුවෙන් කරනු ලබන යුතුකම් සහ පීඩාවන් දහවැන්නට අයිතිය.
* දරුවන්ගේ දියුණුවට තම යුතුකම් කර ඇත. දරුවන් ලොකු මහත් වූ වැඩිහිටියන්ය. විවාහයේදී ඔහු හෝ ඇය නිවැරැදි ලෙස හඳුනාගැනීමට නොහැකි වුවද ඉතිරි කාලය කෙසේ හෝ ගතකළ යුතු යැයි සිතන්නේ එකොළොස් වැන්න අනුවය.
තමන් අසරණය. රෝග පීඩා බහුලය. ගත වාරු නැත. වතුර උගුරක් හෝ දීමට ඇත්තේ සහකරු පමණකි. තමන් වෙත අසීරුවෙන් හෝ කරනු ලබන උවටැන්වලට දක්වන කරුණාවට පෙර කාලයේ තමන් දයාබර වූවාදැයි සිතට පැනයකි. එයම මහත් වේදනාවකි. ප්‍රේමයේ මුල් අවදිය, ප්‍රේමයේ ආකර්ෂණීය සිතුම් පැතුම් තුළින් ඔහු හෝ ඇය දුටු ආකාරය සුන්දර සිහිනයකි. එම සුන්දර සිහිනය සමග බැඳුණු සැබෑ ප්‍රතිරූපය තමන් තනිකර නොයා යුතුය. ජීවිතයේ බියකරු බව දකින තමන් අසලම සිටිය යුතුය. දොළොස්වැන්නෙන් දිවියේ අවසානය දක්වා රැඳෙන ප්‍රේමයේ – ආදරයේ අර්ථ නිරූපණය අවසාන වන්නේ එලෙසය.
කවර නම් අඩුපාඩු, නොගැළපීම් පෙර කාලයේ දුටුවද මරණයෙන් වෙන්වන ප්‍රේමය සුන්දරය. සුන්දර ප්‍රේමයේ මතකය කාරුණිකය. කෘතවේදීය. අනෙකා වෙනුවෙන් එකල ඉටුකළ යුතු යුතුකම්, මඟහැරුණු වගකීම් පිළිබඳ තැවීම් නොකළ යුත්තකි. සියල්ල දෛවය, ඉරණම අනුව සිදුවූවාදැයි විමසිය යුතුවෙයි. පෙර ආත්මයේ කරනු ලැබූ කුසල් අකුසල් සහ ග්‍රහ බලය මත හිමිවිය යුතු සහකරු හෝ සහකාරිය හිමිව ඇත. කාලය දොළොස්වැන්නට එළඹීමට පෙරාතුව ආකර්ෂණීය ප්‍රේමයේ පළමු ඇරැඹුමෙන්ම තම ප්‍රේමය සහ තම සිත හඳුනාගත යුතුය. වෙනස් විය යුතු තැන වෙනස් වීම අවැසිය. ජන්ම පත්‍රයෙන් පෙන්වන ඉරණම අනුව තම සිත ප්‍රේමය, විවාහය, සහකරුගේ ගති ලක්ෂණ හඳුනාගැනීම වැදගත්ය.
දෛවය හෙවත් ඉරණම වෙනස් කළ හැකිය. බුදු දහමේ පවා කර්මය එලෙසින්ම පල දෙන බවක් සඳහන් නොවේ. අහෝසි කර්ම මත අකුසල් දුරුවීමට පුළුවන. දිරිමත් සිතට අපල දුරුකළ හැකිය.
යුගදිවිය තුළ නිවැරැදි හඳුනාගැනීමෙන් ජන්ම පතේ ඉරණම වෙනස් කළ හැකිය. හඳහන හෙවත් ජන්ම පත්‍රයෙන් තම අනාගතය දකින්න. අයහපත් දශාවකදී අවබෝධයෙන් කටයුතු කිරීමෙන් දුෂ්කරතා මඟහැරීමට පුළුවන. යුගදිවිය යනු ඉරණම, දෛවය, කර්මය වෙනස් කරන දිවිමඟ සන්ධිස්ථානයකි. එම සන්ධිස්ථානයෙන් ඇරඹෙන දොළොස්වැදෑරුම් දිවිමඟ යහපත් කරගන්න. එසේ නම් පළමුව තමන් හඳුනාගන්න. සිත හඳුනාගන්න. වෙනස් වියයුතු සිතුවිලි අනුව වෙනස් වන්න. එවිට නිසැකවම දෛවය වෙනස් වනු ඇත. ඉරණම යහපත් වනු ඇත. කර්මය සුබදායකව අවසන් වනු ඇත.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











