ඇය සිනමාවට පිවිසියේ ‘සරිගම’ චිත්‍රපටය හරහා. ඒ පුංචි තාරකාවියගේ සුරතල් බසට අපි කවුරුත් ආදරය කළා. ඇය නමින් මෙනාරා වීරතුංග. ඒ පුංචි ළමා රංගන ශිල්පිනිය නැවත අපට දැකගන්නට ලැබෙන්නේ ළඟදීම තිරගත වීමට නියමිත සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘සුනාමි’ චිත්‍රපටය හරහා.
සුනාමි චිත්‍රපටය හරහා ඔබ මාපියන් දෙදෙනෙක්ගේ ආදරයක් පතනවා. එය ගැන මොකද හිතෙන්නේ?
පළමුවෙන්ම ‘සුනාමි’ චිත්‍රපටයේ ප්‍රභා, ශශී චරිත දෙක වෙනුවෙන් මාව තෝරගත්ත රේණුකා බාලසූරිය නැන්දාටත්, සෝමරත්න දිසානායක මාමාටත් ගොඩක් ස්තුතිය පුද කරනවා. මම චිත්‍රපටයේ දෙමළ පවුලක අම්මා කෙනෙකුටත්, සිංහල පවුලක අම්මා කෙනෙක්ටත් ආදරය කරනවා. මේ අම්මලා දෙන්නාගෙම ආදරය, රැකවරණය, සෙනෙහස මට ලැබෙනවා. ප්‍රභා චරිතය දමිළ පවුලේ දරුව. ශශි සිංහල පවුලේ දරුවා විදියටත් පැතිකඩ දෙකකින් නිරූපණය කරන්න සිදුවුණේ.
‘සුනාමි’ චිත්‍රපටය නරඹන විට මෙනාරාට මොකද හිතුණේ?
ඇත්තටම ඒ මමද කියලා හිතාගන්න බැරි වුණා. මට ඒ අවස්ථාවේ ඇඬුණා. ඒ විතරක් නෙමෙයි ලංකාවට සුනාමි එන විට මම ඉපදිලාවත් නැහැ. ‘සුනාමි’ කියන වචනය මම අහලා තිබුණා. සුනාමි කියන්නේ මොකක්ද කියලා හරියටම මට දැන හඳුනගන්න ලැබුණේ සුනාමි චිත්‍රපටය නැඹුවාට පස්සේ තමයි.
මෙනාරා ‘සුනාමි’ චිත්‍රපටයට කලින් රඟපාලා තිබුණාද?
ඔව්. මම සෝමේ මාමාගේ ‘සරිගම’ චිත්‍රපටයේ කුමුදු චරිතය රඟපෑවා. පත්තරේක දැන්වීමක් දැකලා තමයි මම එයට සම්බන්ධ වුණේ. ළමුන් සෑහෙන පිරිසකින් මාව තෝරගත්තා ‘සරිගම’ චිත්‍රපටයට. පසුව එය බලපාන්න ඇති මාව ‘සුනාමි’ චිත්‍රපටයට තෝරාගන්න. හැබැයි මම ප්‍රධාන චරිතයක් රඟපාන්නේ ‘සුනාමි’ චිත්‍රපටය හරහා තමයි.
ඔබ වැඩිපුරම කැමැති ප්‍රභාටද, එහෙමත් නැතිනම් ශශීටද?
මම ගොඩක්ම කැමැති ප්‍රභා චරිතයට. පාසල් විෂයට මම දෙමළ භාෂාව හදාරපු නිසා මට පොඞ්ඩක් දෙමළ භාෂාව කතා කරන්න පුළුවන් වුණා. ප්‍රභා චරිතය හරහා මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ශශී චරිතයත් වෙනස්. මම රඟපාපු ඒ චරිත දෙකේ වෙනස චිත්‍රපටය බලන විට දැකගන්න පුළුවන්. මට දැන් අම්මලා තුන්දෙනෙක් ඉන්නවා. මම ඒ හැමෝටම ආදරෙයි.
මෙනාරා වැඩිපුර කැමැති සිනමා තාරකාවියක් විදියට කටයුතු කරන්නද? එහෙමත් නැතිනම් ටෙලිනාට්‍ය ළමා තාරකාවියක් විදියට ඉදිරියට යන්නද?
පොඩි කාලේ ඉඳල රඟපාන්න ලොකු ආශාවක් මට තිබුණා. ඉතින් මගේ දක්ෂතාව දැක්කේ චිත්‍රපට හරහා. මම ගොඩක් කැමැති චිත්‍රපටවල රඟපාන්න. ටෙලිනාට්‍යවල රඟපාන්න නම් අදහසක් නැහැ.
වසන්ත විතාරණගේ











