80 දශකයේ සිංහල සිනමාවට වසන්තය කැන්දාගෙන පැමිණි ලස්සන නිළි කෙල්ලන් අතර වසන්ති චතුරාණිද එක් සොඳුරු තාරකාවක විය. සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ තුළින් රඟපෑමට එක්වූ වසන්ති එයට පසුව ‘ගඟ අද්දර’ ඇතුළු ජනප්‍රිය චිත්‍රපට ගණනාවක සිය රංගන දායකත්වය දුන්නේ ප්‍රේක්‍ෂකයන් තුළ සුවිශේෂී මතක සටහන් තබමිනි. කඩුල්ල, පස් සහ යකඩ දෝලි තුළින් ආලින්දයේ සිනමාව ඔස්සේද ප්‍රේක්‍ෂක සිත්සතන් සොඳුරුව ස්පර්ශ කළ වසන්ති චතුරාණි හා හා පුරා කියා 2020 වසරෙහි ‘හාට්’ සමඟ පිළිසඳරට එක්වූයේ මෙලෙසිනි.
වසන්ති ඔබ බොහෝ නිහඬයි. කලා කටයුතුලින් ඈත් වෙලාද?
කලාකාරියකට කලාවෙන් කවදාවත් ඈත් වෙන්න බැහැ. අනෙක අප නිහඬවෙලත් නැහැ. හැබැයි අපව යම් පිරිසක් විසින් නිහඬ කෙරෙව්වා කිව්වොත් තමයි ඔබේ ප්‍රශ්නයට හරි පිළිතුරක් ලැබෙන්නෙ.
මං හිතන්නේ, ඔබේ උත්තරය පැහැදිලි මදියි?
මම පැහැදිලි කරන්නම්. ශ්‍රී ලාංකේය කලා ක්‍ෂේත්‍රයම පසුගිය ආණ්ඩුව සමයේදී තද ඉඩෝරයකට ගහගෙන ගියා. චිත්‍රපට හැදුණෙ නැහැ. චිත්‍රපටයක් හදන්න බැංකු ණයක්වත් ගන්න පුළුවන් පහසුකමක් චිත්‍රපට නිෂ්පාදකවරයකුට ලැබුණෙ නැහැ. අතමිට තියෙන කෙනකු පවා චිත්‍රපටයක් හදන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ තරමට රටේ ආර්ථිකය කඩාවැටුණා. සිනමා ශාලා වැහිලා ගියා. අන්න ඒ හින්දා තමයි නළු නිළියන්ට නිහඬව අත-පය බැඳගෙන ඉන්න වුණේ. චිත්‍රපට හැදෙනවා නම් විතරයි අපට වැඩක් ලැබෙන්නේ. අනෙක රංගවේදීන් හැටියට අපි කොයිතරම් ආසද අපට එක දිගට වැඩ එනව නම්. සිනමා කර්මාන්තයේ අවාසනාවන්ත ඇදවැටීමත් සමඟ අපේ කලා කටයුතුද ඇද වැටුණා. මේ දරුණු ඇද වැටීමට වගකිව යුත්තේ පසුගිය ආණ්ඩුවයි. ඒ නිසයි මම ඉහත ඔබ ඇසූ ප්‍රශ්නයට අර කී පිළිතුරු දුන්නේ.
ටෙලි කලාව ආලින්දයට පැමිණීම සහ අන්තර්ජාලය සිනමාවේ ඇදවැටීමට හේතු වූයේ නැද්ද?
එහෙම කියන්නෙ කොහොමද? එහෙම නම් ඉන්දියාව සහ ඇමෙරිකාව කොහොමද බොක්ස් ඔෆීස් වාර්තා තබන චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ? යුරෝපීය රටවල් ඕන නැහැ. අපේ අසල්වැසි ඉන්දියාව ආදර්ශයට ගන්න. ආලින්දයේ සිනමාව ඔවුන්ගේ ගෙයි දොරකඩටත් ආවා. අන්තර්ජාලයට ඔවුනුත් ඇබ්බැහි වුණා. හැබැයි චිත්‍රපට කර්මාන්තයට එයින් හානියක් නොවන්නට රජය තම මැදිහත් වීම තුළ නිසියාකාරව කටයුතු කළා.
ඔබ කියන්නේ පසුගිය රජය එම මැදිහත් වීමෙන් මඟහැර සිටියා කියලද?
සිදුවුණේ එයයි. ඔවුන් ඉතාම අකාරුණික ලෙස කලාකරුවන්ව අතහැර දැමුවා. කලාකරුවන්ට සැලකුවේ නැහැ. සිනමා කර්මාන්තය කඩාවැටෙන්නට දී ඔහේ බලා සිටියා. ඇත්තෙන්ම ඔවුන්ගේ ක්‍රියාකලාපයන් තුළ බොහෝ කලාකරුවන් දැඩි කලකිරීමකට බඳුන් වූවා.
පත්ව සිටින නව රජය මේ සඳහා පිළියම් යොදන බව ඔබට විශ්වාසයිද?
පැහැදිලිවම එය එසේ සිදුවේ යැයි සිතනවා. නව ජනාධිපතිවරයා කලාකරුවනට හරිම ළැදියි. ඔහු සිනමා කර්මාන්තය වෙනුවෙන් යමක් කරන බව විශ්වාසයි.
අලුත් නිර්මාණ කාර්යයකට අත ගසන්නට ඔබ සූදානම් වන බව ආරංචියි?
ඔව්. ඒ මගේ අටවැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනයයි.
තොරතුරු ටිකක් කියමුද ඒ ගැන?
එහි තිර රචනය අරුණ ප්‍රේමරත්නගේ, අධ්‍යක්‍ෂණය ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ, මේනකා පීරිස්, ග්‍රේස් ආරිය විමල්, ඉසුරු ලොකු හෙට්ටිගේ වැනි දක්‍ෂ නළු නිළියන් පිරිසකගේ දායකත්වය සමඟින් මමද එහි ප්‍රධාන චරිත නිරූපණයක යෙදෙනවා.
එහි කතා තේමාව ගැන සඳහන් කරනවා නම්?
එය පවුලක් වටා ගෙතුණු කතාවක්. තවම නමක් තීරණය කර නැහැ.මං හිතන්නේ ඔය තොරතුරු ටික දැනට ඇති. පමණට වඩා නිර්මාණය ගැන කතා කිරීම ප්‍රේක්‍ෂකයන් තුළ ඒ පිළිබඳව ඇති විය හැකි සොඳුරු කුතුහලයට බාධාවක් විය හැකියි.
ටෙලිනාට්‍ය කලාවට වඩා සමීපව සිටින්නේ චිත්‍රපටවලට වඩා ඔබ එය කැමැති නිසාද?
මම වඩා කැමැති චිත්‍රපට ක්‍ෂේත්‍රයටයි. එහි අදහස ටෙලිනාට්‍යවලට අකැමැතිය කියන එක නෙවෙයි. චිත්‍රපටයක රඟපාන්න, තිරපිටපතක් ලැබෙන තුරු මම බොහොම ආසාවෙන් බලා ඉන්න බව අවංකව පවසනවා.
මෙගා ටෙලි කලාව ගැන ඔබට දැනෙන හැඟීම කුමක්ද?
එය යන්නේ හොඳ මාර්ගයක නෙවෙයි. නවක රංගවේදීන්ද මේ නිසා නොමඟ යනවා. දක්‍ෂ දරුවන්ට, හොඳ නවකයන්ට හොඳ මෙහෙයවීමක් අවශ්‍යයි. කලා නිර්මාණයක අගය හෝ එහි ගැඹුර නොදන්නා අය නිෂ්පාදනයට සහ අධ්‍යක්‍ෂණයට අත ගැසීමෙන් බොහෝ ටෙලි නිර්මාණයන් අයාලේ යන බවයි පෙනෙන්නේ. චිත්‍රපටයකට වුණත් එය එහෙමයි. අධ්‍යක්‍ෂණය කියන්නේ ගැඹුරු පරාසයක් තිබෙන විෂයයක්. යමක් නොදන්න අයට එය හරිහැටි මෙහෙයවන්නට බැහැ. අඩුම ගානේ සහාය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස හොඳ ප්‍රවීණයකු යටතේ නිර්මාණ කිහිපයක වැඩකටයුතු තුළ ප්‍රායෝගික දැනුමවත් නිර්මාණයක් තනිව අධ්‍යක්‍ෂණය කිරීමට පළමුව ඔවුන් සතුට තිබිය යුතුයි. නැත්නම් සාර්ථක නිර්මාණයක නිමාව දකින්න බැරිවේවි. ඒ වගේම අනුකරණය කියන වචනය කිසිම දවසක නිර්මාණයක් අධ්‍යක්‍ෂණය කරන විට භාවිතයට නොගත යුතුයි. හොඳ නිර්මාණකරුවකු සතු පැවැත්ම එයයි.
2020 ඔබේ බලාපොරොත්තු ගැන කියනවා නම්?
ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට නැවැත වසන්තය උදා වේවා කියන බලාපොරොත්තුව තුළ තමයි 2020ට පය තැබුවේ. සිනමාව විතරක්ම නෙවෙයි, කලාවට, කලාකරුවන් සැමට සෞභාග්‍යය උදාවේවි කියලා ප්‍රාර්ථනා කරන්නේ හද පතුලින්මයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











