වතුර බිල වැඩිවුණා. ඒක එක එක තාලෙන් වැඩිවුණු බව අපි දැක්කා. වතුර බිලේ පැහැදිලි වැඩිවීම සිද්ධ වෙන්නේ රුපියල් 50ක් විදියට තිබුණු ස්ථාවර ගාස්තුව දැන් රුපියල් 300ක් බවට පත්කරමින්. වතුර බිල වැඩිවෙන්න කලින් අදාළ අමාත්‍යවරයා මේ ගැන කියලා තිබුණේ ඒ විදියට. හැබැයි අවශ්‍ය වතුර ප්‍රමාණය මේ මිල ගණන් යටතේ ලැබෙනවා කියලත් ඔවුන් කියනවා. ඒ කියන්නේ වතුර ලීටර් 15,000ක ප්‍රමාණයක් රුපියල් 300 මිලට ලබාදෙන බව තමයි කියන්නේ. කොහොම නමුත් දැන් අපි මේ කතා කරන්න යන්නේ ජල බිල වැඩිවීම ගැන නෙවෙයි. ජල බිල වැඩිවිය යුතුයි බොහෝ කරුණු කාරණා නිසා කියලා ඇමැතිවරු කියනවා. හැබැයි රුපියල් එක්කෝටි විසිලක්ෂයකට ආසන්න හිඟ මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 76 දෙනෙක් ජල බිල්පත් සඳහා ගෙවන්න තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් රුපියල් ලක්ෂ 32ක හිඟ ජල බිල්පත් තියෙද්දීම මියගොස් ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ කියන්නේ මන්ත්‍රීවරුන් 76 දෙනෙක් මේ වෙනකොට ජල බිලට පොල්ල තියලා ඉවරයි. ඒකෙනුත් 15 දෙනෙක්ගෙන් ඒ බිල අයකර ගන්න විදියක් නැත්තේ ඒ අය මියගිහින් නිසා. ඒ නිසා රුපියල් ලක්ෂ 32ක ජල බිල්පත් ගාස්තුව අපට අහිමි වෙලා. කොහොම නමුත් මේ විදියට අපට අයවෙන්න තියෙන මුදල රුපියල් එක්කෝටි විසිලක්ෂයකට ආසන්නයි කියලයි කියන්නේ.
දැන් මෙහෙම වතුර බිල ගෙවන්නෙ නැතුව ඉන්නවා නම් සාමාන්‍යයෙන් මොකක්ද ගන්න පියවර? වතුර බිල් ගෙවන බොහෝ දෙනෙක් ඒක දන්නවා. නිශ්චිතව බිල ගෙවන්නෙ නැත්නම් ඒ සඳහා ගන්න තියෙන්නෙ ඉතා සරල පියවරක්නේ. ඒ තමයි පළමු වතාවේ වතුර ලබාදීම විසන්ධි කරන එක. ඒ විසන්ධි කරන්නේ පහසුවෙන් යළි සන්ධි කළ හැකි ආකාරයට. හැබැයි ඊළඟ අවස්ථාවේදී මේක විසන්ධි කරනවා කියලයි කියන්නේ. එහෙම වුණාම ඉතින් ආයෙ වතුර ගන්න සෑහෙන්න නටන්න ඕනෙ. ආපහු විශාල මුදලක් ගෙවන්න ඕනෙ. හැබැයි මේ වෙලාවේ අපට දැනගන්න තියෙන්නේ නම් ඊට වඩා වෙනස් කතාවක්. රජයේ ලොකු තනතුරු දරන මන්ත්‍රීවරු 34 දෙනෙක් රුපියල් ලක්ෂ 24ක් ජල බිල්පත් විදියට ගෙවන්න තියෙනවා. දැනට මන්ත්‍රී වගකීම් නොදරන තවත් 27 දෙනෙක් රුපියල් ලක්ෂ 41ක මුදලක් ජල සම්පත් මණ්ඩලය වෙත ගෙවන්න තියෙනවා. දැන් ඒගොල්ලන්ගෙ වතුර කපලද? ඒගොල්ලන්ට ජල මණ්ඩලය විසින් නිවැරැදි පියවර අරගෙන තියෙනවද? ඒත් අපට නම් ආරංචි එහෙම එකක් නෙවෙයි. මේගොල්ලන්ට ආයෙත් වතුර බිල ගෙවන්න අවස්ථා දෙනවා. ඒගොල්ලන්ට ජලයෙන් විදුලියෙන් සියලු සැප පහසුකම් විඳිමින් ඉන්න ගමන් හිතුණු වෙලාවක ඒක ගෙවලා දාන්න ඉඩ තියෙනවා. ඒගොල්ලන්ගේ වතුර කපන්නේ නෑ. ඒගොල්ලන්ට ඕනෙ ඕනෙ විදියට බිල නොගෙවා ඉන්න පුළුවන්. ඒක තමයි ජල සම්පත් මණ්ඩලයේ එක එකාට එක විදියට එක එක හැඳිවලින් ගෙවීමේ සිරිත. හරි නම් කවුරු පොල්ල තිබ්බත්, කවුරු බිල් නොගෙව්වත් නිවැරැදිව කොන්ද කෙළින් තියාගෙන පියවර ගන්න පුළුවන්කම තියෙද්දී මේ රටේ මුදලින් යැපෙන රටේ මුදලින් ජීවත් වෙන රටේ සම්පත් ටික හූරාගෙන කන මැති ඇමැතිවරු ඉස්සරහා ඇයි මේ මණ්ඩල මේ තරම් ඇඹරෙන්නේ? අපටත් මේක තේරෙන්නේ නෑ, කොහොම නමුත් මේ නාස්ති කරන්නේ රටේ සම්පත්. මේ විදියටම විදුලි බිලටත් මැති ඇමැතිවරු පොල්ල තිබ්බා. ජල බිලටත් මැති ඇමැතිවරු පොල්ල තියෙනවා. ඒවා ටික දවසකින් නොගෙවන ලද මුදල් විදියට ඔහේ අමතක වෙලා යනවා.
සාමාන්‍යයෙන් අපේ ගමක මනුස්සයෙක්, නගරෙ ඉන්න අහිසංක මිනිහෙක් කන්න බොන්න නැතිකමට ජීවත් වෙන්න බැරිකමට රුපියල් හාර පන්සීයක බිලක් නොගෙවා හිටියොත් මේ නිලධාරීන් ගිහිල්ලා දහඅට පාලියම නටනවා. හැබැයි ඉතින් අවාසනාවකට මැති ඇමැතිවරු පොල්ල තිබ්බට පස්සේ මේගොල්ලෝ කටයි අදාළ අනිත් තැනුයි වහගෙන පැත්තකට වෙලා පූසෝ වගේ බලාගෙන ඉන්නවා. ඒක නිසා නීතිය නම් නීතිය කරන්න. කාටත්. ජල බිල නොගෙව් අයගෙ ගෙවල්වලට ගිහිල්ලා වතුර කපන්න. තවදුරටත් ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඔවුන්ට වතුර දෙන එක නතර කරන්න. ඒ මිනිස්සු සුදහා ගින්දරේ මැරෙන්නේ නෑනේ. වතුර නැතුව ජීවිතක්ෂයට පත් වෙන්නේ නෑනේ. ඇමැතිතුමාම කියනවා එක වැඩසටහනකට ඇවිල්ලා විශාල ගෙවල්වල ලොකු පවුල්වල මිනිස්සු වාහන තුන හතර හෝදන්න පාවිච්චි කරන්නේ ක්ලෝරීන් දාපු වෝටර් බෝඩ් එකෙන් දෙන වතුර ටික කිලයා. වතුර ලීටරයක් රුපියල් 300ක් වෙනකොට ශත 20යි ජල මණ්ඩලයෙන් වතුර එකකට අයකරන්නේ කියලත් කියනවා. ඒවා ඔක්කොම ඇත්ත. ඒත් රටේ වතුර බින්දුවක්වත් එක එකාට ඕනෙ විදියට නාස්ති කරන්න, එක එකාට ඕනෙ විදියට අවභාවිත කරන්න ඉඩ නොදිය යුතුයි කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා කොන්ද පණ තියෙනවා නම් ඇමැතිතුමනි වතුර බිල නොගෙවපු එවුන්ගේ ගෙවල්වල වතුර කපලා පෙන්නන්න එක දවසක්වත්.
ජීවන පහන් තිළිණ