විටෙක ඔහු කඩවසම් නළුවෙක්. තවත් අවස්ථාවක ඔහු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. තවත් විටෙක ඔහු නිෂ්පාදකවරයෙක්. ඒ සියල්ලත් සමඟ ඔහු ව්‍යාපාරිකයෙක්. මේ සියලු කඩඉම් පසුකරමින් කලාකාමී හදවත් තුළ නොමැකෙන ලෙසින් සිය නාමය ලියා තබමින් මෙරට චිත්‍රපට කලාවට අසීමිත සේවයක් කළ ඔහු මේ වෙද්දී ඉඩම්හිමි වැවිලිකරුවෙක් කියලත් පුංචි පුංචි ආරංචි ලැබුණා. ඔහු එක්තරා යුගයක, සිනමාවේ මතකයන් අවදි කළ අපූරු තරුවක් බවටත් පත්වුණා. අර්ජුන් කමලනාත් කිව්වාම කවුරුත් දන්න සිනමාවේ සියලු අංශ ස්පර්ශ කළ දක්‍ෂ කලාකරුවාගේ අලුත්ම තොරතුරු සොයා ‘හාට්’ ගිය ගමනේදී ඔහු හරි අපූරු කතා ටිකක් කිව්වා.
අර්ජුන් සිනමාවෙන් සමු අරගෙනද සද්දයක් නැත්තෙ?
ඔව්. එහෙම කිව්වත් එහි වරදක් කියන්න බැහැ. මොකද මම කිඞ්නැප් චිත්‍රපටයෙන් පස්සෙ රඟපෑමෙන් ඉවත් වුණා. ඒත් එක්කම මම රඟපාපු චිත්‍රපට කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. ඒ අතරින් එක් චිත්‍රපටයක් ලබන වසරේදී තිරගත වේවි. මම අධ්‍යක්‍ෂණය කරපු කුණාටුවේ මාරයා චිත්‍රපටයත් ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න තියෙනවා. ඇත්තම කිව්වොත් අවුරුදු දෙකකින් විතර මං අඩුම තරමේ ටී.වී. ප්‍රෝග්‍රෑම් එකකටවත් ආවේ නැහැ.
මොකද්ද ඒකට හේතුව?
හේතුව ඉතින් වෙන මොනවත් නෙවේ. මේ පසුගිය කාලයේ පැවැති යහපාලන ආණ්ඩුව තමයි. ඒ කාලකණ්ණි, මූසල, මුස්පේන්තු රටටම හෙණ ගහලා ගියපු කාලකණ්ණි යුගය නිසා මේ රටේ කලාව කරන එක නෙවේ ජීවත් වෙන එකත් අප්‍රසන්න වුණා. ඒ කාලේ මහ මූසල කාලයක් වුණා. කරන කරන හැමදේම කඩන් වැටෙන ආර්ථිකය බින්දුවට වැටිච්ච, මස්තබාල්දු ඒ වගේ කාලයක ජීවත් වීමට සිදුවෙච්ච එකෙන් මම හිතාගත්තා රඟපාන්නේ නැහැ කියලා. ඒ අයින් වෙච්ච අයින් වීම එහෙමම තමයි තාමත් ඉතින්. ගොඩාක් නිර්මාණවලින් ආරාධනා ආවා. ඒ හැම එකටම බැහැ කිය කියා හිටියා. මොකද හිත හදාගන්න බැහැ රඟපාන්න. ඉදිරියේදිත් රඟපෑමට ඒමේ ප්‍රවණතාව පනහට පනහ තමයි තියෙන්නේ.
මේ දවස්වල මොකද කරන්නේ?
පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා. ඊට අමතරව වගා කටයුතුවලට සම්බන්ධ වෙලා පොඩි අලුත් වැඩකුත් කරනවා. ඒ අතරතුර අනුෂා සිනමා ශාලාවත් සුපිරි තත්ත්වයකට ගන්න කටයුතු කළා. කර්මාන්තය වැටෙමින් තිබෙන යුගයක ඒ දේවල් කළේ මේ ක්‍ෂේත්‍රයට තියෙන ආසාව නිසාමයි. ඒ වගේම වලස්මුල්ලෙ හෝල් එකත් වාද්දුවේ හෝල් එකත් හොඳටම හැදුවා. ඉතින් ඒවට ගත්තු ණය තවම ගෙවමින් යනවා. ඒ නිසා මේ දවස්වල වෙන දෙයක් ගැන හිතන්නෙ නැහැ.
සිනමා ශාලාවලින් ලාභද?
ආදායම් අන්තිමයි. ඇත්තටම ඉතින් පටන්ගත්තු නිසා කරගෙන යනවා මිසක් ලාභයකට කරනව නෙවෙයි. මිනිස්සු ෆිල්ම් බලන්න හෝල්වලට එන්නෙ නැහැ. පසුගිය කාලේ විජයබා කොල්ලය බලන්න තරමක් සෙනඟ ආවා. අනිත් ඒවට ඉතින් එහෙම නැහැ.
මොකද්ද හේතුව?
සල්ලි නැහැ. මිනිස්සු අතේ සල්ලි නැහැ. කාලා බීලා බිල් ගෙවලා වියදම් කරපුවාම මිනිසුන්ට විනෝදයට වෙන්කරන්න සල්ලි නැහැ. ඒ නිසා සිනමා ශාලා වේළෙනවා. සහරාන්ගෙ ප්‍රහාරයෙන් පස්සෙ ඒක තවත් වැඩි වුණා. මේ වෙද්දි බිස්නස් සේරම වැටිලනෙ තියෙන්නෙ. ඉතින් ඔය විදියට මාස දෙක තුනක් අල්ලාගෙන යනවා. බැරි වුණොත් අතහැරලා දානවා.
ඔබ විශිෂ්ට ගණයේ සිනමා නිෂ්පාදකයෙක්?
ඔව්. මම ‘ඝරසරප’ නිෂ්පාදනය වෙනුවෙන් හොඳම නිෂ්පාදක වුණා. එය ලොකු සතුටක් වුණා. අනෙක් එක සනත් ගුණතිලක චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා හොඳම නිෂ්පාදක වුණාට පසු දෙවැනි වතාවට එම සම්මානය ගන්න නළුවා මං තමයි. ඉතින් ඒ ආස්වාදය තමයි ඉතිරි වුණේ.
‘ඝරසරප’ ආදායම් හොඳයිද?
හොඳයි කියන්නේ යාන්තම් ගාන ෂේප් වුණා. අනූනවයෙන් තමයි ඒකත් බේරා ගත්තෙ. නැත්නම් කටඋත්තරත් නැති වෙනවා. මම දන්න විදියටනම් මේ වෙද්දි කිසිම සිනමා නිෂ්පාදකයෙක් ලාබ ලබන්නේ නැහැ. හැමෝටම සිද්ධවෙලා තියන්නේ පාඩු ලබන්නයි.
ඉදිරියේදී නිෂ්පාදනයට අධ්‍යක්‍ෂණයට එනවද?
අපෝ නැහැ. හිතන්නෙවත් නැහැ. රටේ තියෙන තත්ත්වෙ උඩ චිත්‍රපට නිෂ්පාදනය කරනවා නම් සල්ලිවලට තියෙන ආසාව අතහැරලා කරන්න ඕනෑ. අනෙක සල්ලිවලට කරන්න දෙයක් නැතිව ඉන්න අයට නම් ඒ වැඬේ හොඳයි. ඉස්සර නම් ඩී.වී.ඩී. හරි විකුණා ගත්තා. දැන් ඒකත් බැහැනේ. අනෙක් එක මේ දවස්වල එන චිත්‍රපට තොගය බැලුවමත් පේනවනේ එනවා යනවා, එනවා යනවා. ඒකෙන්ම පේනවනේ පාඩුව කොයිතරම්ද කියලා.
මොකද්ද මේ චිත්‍රපට පාඩු ලබන්න හේතුව?
ගොඩාක් චිත්‍රපට ලාබෙට කරනවා නැත්නම් බාගෙට කරනවා. සමහර ඒවාට හරි ප්‍රචාරයක් නැහැ. ඔය වගේ විවිධ හේතු හින්දා අන්තිමටම වෙන්නේ සිනමාව වැටෙන එක. ඇත්තටම බැලුවොත් පෞද්ගලික අංශ චිත්‍රපට බෙදාහරින නිසා තමයි ඔය ටිකවත් රැඳෙන්නේ. සංස්ථාව ගත්තා නම් ඉතිරි ටිකත් නැතිවෙනවා.
කවුද සිනමාවේ කඩාවැටීමට වගකියන්න ඕනෑ?
කාටවත් ඇඟිල්ල දික්කරන්න බැහැ. මොකද රටේ ආර්ථිකය වැටෙනකොට සිනමාව නිකම්ම වැටෙනවා. මිනිසුන්ට සල්ලි තිබුණා නම් මිනිස්සු හෝල් එකට ඇවිත් චිත්‍රපට බලනවා. එහෙම සල්ලි නැති එකයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. හෝල්වල ටිකට් මිලත් මේවට බලපානවා. සමහර හෝල්වල ටිකට් එකක් රුපියල් දාහයි. මං තමයි 3ෘ ෆිල්ම් එකක් බලන්න අනුෂා හෝල් එකෙන් රුපියල් තුන්සීයට ටිකට් එකක් දෙන්නෙ. මම එහෙම කළාට හැමෝම එහෙම හිතන්නේ නැහැ. ඉතින් මිනිසුන්ට හෝල්වලට එන්න බැහැනේ. අද ඉතින් බොක්ස් ටිකට් නැත්නම් සිනමාවත් නැහැ.
කුමාර රත්නායක











