පහුගිය දවස්වල පුංචි තිරයට ආවා චණ්ඩියෙක්. ලංකාවටම අඩෝ කියාගෙන. අඩෝ කියන එකේ කිසි මිත්‍රශීලී ගතියක් නැති වුණාට හැමෝම වගේ අඩෝ එක්ක ආදරෙන් බැඳුණා. මේ අඩෝ අධ්‍යක්ෂ මාධ්‍යවේදී ලේඛක සුපුන් රත්නායක එක්ක ගහපු කයිය.
කතාව පටන් ගන්නෙම කොහොම ද “අඩෝ” කියලා?
අඩෝ කියන වචනේ අපේ සමාජ ව්‍යවහාරික භාෂාවෙන් නිතර හමු වෙන දෙයක්. ඒ වචනය උච්චාරණය කරන විදියත් එක්ක ඒ තුළ තියෙන හැඟීම වෙනස් වෙනවා. ඒ දේවල් කොහොම වුණත් අපි අඩෝ කියන වචනය භාවිත කරන්න හේතුවුණේ මේ කතාවේ ප්‍රධාන චරිතයට පණ පොවන අරවින්ද සහ ඩෝරාගේ නම්වල මුල් අකුරු එකතු කරල.
“අඩෝ” වෙනස් වැඩක්නෙ. කොහෙන්ද හම්බවුණේ අනුභූතිය?
ටෙලි නාට්‍යයක් සඳහා හෝ වේවා වේදිකා නාට්‍යයක් සඳහා හෝ වේවා කතාවක් ඔළුව ඇතුළේ පිළිසිඳ ගත්තහම නිර්මාණකාරයෙක් ගත කරන්නෙ හරිම අමාරු කාල පරිච්ඡේදයක්. තත්පරෙන් තත්පරේ එකී කතාව මෝරා වැඩෙනවා. එහෙම නිකන්ම මෝරා වැඩෙනව නෙවෙයි, නිර්මාණකරුවා එය පෝෂණය කරනවා. කප්පාදු කරනවා. ආයෙමත් පෝෂණය කරනවා. ඒක ලේසි පාසු සෙල්ලමක් නෙවෙයි. ‘අඩෝ’ පිටපත අවුරුදු හතරක් තුළ හතර වතාවක් ලියලා අවසන් කරපු එකක්.
දූපතට යන්න එන්න, මුහුදෙ කරක් ගහන්න නළු නිළියො සහ වෙනත් ශිල්පීන් කැමැති කරගන්න ලේසි වුණාද?
මේක වෙනස් විදියේ අත්දැකීමක් නිසා නළු නිළියන් කාර්මික ශිල්පීන් සහ අනෙකුත් නිෂ්පාදක කණ්ඩායමේ සියල්ලන්ගේම ලොකු කැමැත්තක් තිබුණා. විශේෂයෙන්ම මුහුදේ ගත කළ දවස් පහ සහ දූපතේ ගත කළ දවස් 21 අඩෝ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණ කිසිවකුට අමතක නොවන අත්දැකීමක් එකතු කළ බව නම් විශ්වාසයි. සමහර දවස්වල අපේ රාත්‍රී ආහාරය වුණේ බෙල්ලො, රංගන ශිල්පීන් දවස් විසිඑකක් කට්ට අව්වේ ඉඳලා එනකොට අපිට ගොඩබිමේ රූගත කිරීම් මාස දෙක තුනකට නවත්තන්න වුණා. මොකද ඒ තරම් ඔවුන් කළු වෙලා හිටියේ. ඒත් කිසිම කෙනෙක් ඒ අත්දැකීමට වෛර කළේ නෑ. ඒ තරමට දුෂ්කර වූ ප්‍රියජනක අත්දැකීමක්.
විදුලිය නෑ, කඩවල් නෑ, කෑම බීම නෑ, එහෙම යන්න එන්නත් බෑ, වටේම සද්දෙ කොහොමද මේ ප්‍රශ්න විසඳගත්තෙ?
මේ කතාවේ වැඩි හරියක් දුවන්නෙත් දූපත කේන්ද්‍රස්ථානය කරගනිමින්. මුළු දූපතටම ඉන්නේ අපේ නිර්මාණ කණ්ඩායම විතරයි. ඒක අක්කර හතක දූපතක්. මඟදී කිසිදු අවශ්‍යතාවක් ඇති නොවෙන්න අපි මුලින්ම හැමදේම සැලසුම් කරගත්ත. වතුර බෝතලයේ ඉඳලා හැමදේම වැඩිපුරත් එක්ක අපි දූපතට සපයලා තිබුණේ. ඒ නිසා කිසිම ශිල්පියකුට අපහසුතාවක් ඇති වෙන්න ඉඩක් ලැබුණේ නෑ. අපි දූපතේ රූගත කිරීම සඳහා සමහර අවස්ථාවල කැමරා හයක් යොදා ගත්තා. ඇතැම් දර්ශන සංස්කරණ මැදිරියේදී හඬකැවීම්වලට ලක් කරන්න වුණා. වටේටම ගල් පර නිසා රැල්ල ගහන සද්දේ ඇහෙනවා වැඩියි.
මොනවද සුපුන්ගෙ වෙන වැඩ?
ටෙලි නාට්‍ය පැත්තෙන් බැලුවොත් පළමුවැනි වැඬේ විදියට එළියට ආවෙ ‘මගේ ආදර අවනඩුව’. ඊට පස්සේ ‘ඒක දිග කතාවක්’ කළා. ‘පොප්කෝන්’ කියලා වෙබ් අඩවිය කැට ඇට්ටරයා කියලා කොටස් 18ක ටෙලි නාට්‍යයකුත් කළා. ඊට පස්සේ තමයි අඩෝ බිහි වුණේ. අඩෝ ටෙලි නාට්‍යයත් එක්ක කාර්යබහුල වුණ නිසා මම ලියාගෙන ආපු ාැ්ර ඩ්කමැා ජමිඑදපැර වෙන නවකතාව අතරමඟ තාවකාලිකව නවත්තන්න වුණා. ඒ වගේම අනිකුත් ලියන වැඩත් තාවකාලිකව නතර කරන්න වුණා.
කොහොමද ‘අඩෝ’ට ප්‍රතිචාර?
‘අඩෝ’ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර සියයට අසූවක් විතර හොඳයි. ඒත් මම වඩා සැලකිලිමත් වෙනවා සියයට විස්සකින් ලැබෙන නරක ප්‍රතිචාර දිහා නැවත අවධානය යොමු කරන්න. පෞද්ගලික නාළිකාවල සමාජ ජාල හසුරවන නිලධාරීන්ගේ ෆේක් ප්‍රොෆයිල්වලින් ලැබෙන නරක ප්‍රතිචාර ගැන නම් උනන්දුවක් දක්වන්නෙම නෑ. මොකද ඒ නාළිකා ඒ අයට පඩි ගෙවන්නේ ඔවුන්ගේ ටෙලිනාට්‍ය විකාශනය වන වේලාවන්ට සමගාමීව අනෙකුත් නාලිකාවල විකාශනය වන ටෙලි නාට්‍ය කෙසේ හෝ ප්‍රේක්ෂක අවධානයෙන් ඈත් කරනවට. ඔවුන් ඇරුණහම සාමාන්‍ය ප්‍රේක්ෂකයන්, අපේ මේ විෂය හදාරපු ප්‍රවීණයන් පෙන්නල දීපු ඇතැම් අඩුපාඩු ශීර්ෂ ප්‍රණාම සහිතව පිළිගන්න කැමැතියි.
නිර්මාණවලට ගන්න කලින්ම වෙන්කරගත්ත නළු නිළි සෙට් එකක් ඉන්නවද?
බොහෝ නිර්මාණකරුවන්ට එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ගේ බොහෝ නිර්මාණවල එම නළු නිළියන් වී පිට චරිතවලින් එළියට එනවා. ඒක මටත් සාපේක්ෂයි. නමුත් මා තෝරා ගන්නා රංගන ශිල්පියා හෝ රංගන ශිල්පිනිය එම චරිතය නිවැරදි ආකාරයෙන් නිරූපණය නොකරන්නේ නම් පමණක් කෙනකුට චෝදනාවක් ලෙස එල්ල කරන්න පුළුවන් හැමදාම ගන්න එකම කට්ටිය කියලා.
අලුත්ම අය ගොඩක් එක්ක වැඩක් කරනවා කියන්නෙ වෙනමම කට්ටක්, ඇයි එහෙම එකක් තෝරගන්නෙ?
අලුත් අයත් එක්ක වැඩ කරන කොට තියෙන ප්‍රශ්නේ තමයි වැඬේට අවධානය දෙන්නේ නැති එක. ආපු වෙලාවෙ ඉඳලා ජංගම දුරකතනය අරගෙන කොට කොට ඉන්න එක තමයි ඒ අය පුරුදු පුහුණු වෙලා තියෙන්නෙ. සමහර වෙලාවට දර්ශන තලයට එනවා පිටපතවත් කියවලා නැතුව. බොහෝ පිරිසක් එහෙම වුණාට තනියම අභ්‍යාස කරලා, චිත්‍රපට බලලා එක් එක් රංග වින්‍යාසයන් පිළිබඳව හැදෑරීමක් කරලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න උත්සාහ කරන අයත් ඒ අතර ඉන්නවා. හැබැයි ඒ අතළොස්සක් වගේ බොහොම සුළු පිරිසක්. අපේ රටේ ගොඩක් වෙලාවට නළුවෝ නිළියෝ තෝරන්නෙ ලස්සන විතරක් බලලා. අඩෝ එකේදි අපි අවස්ථාව ලබා දුන්නේ රඟපාන්න පුළුවන්ද, චරිත ඇතුළෙ රඟනොපා ජීවත් වෙන්න පුළුවන්ද, අඩුම ගානේ කියන එක තේරුම් ගන්න පුළුවන්ද කියන දේවල් හොඳට හොයල.
ජීවන පහන් තිළිණ











