කළුදිය පොකුණ ලෙසින් හඳුන්වන අබිරහස් පොකුණ පිහිටා තිබෙනුයේ මිහින්තලා පුදබිමේ සිට මීටර් 500ක පමණ දුරකිනි. මෙම පොකුණ පිළිබඳ විවිධ ජනප්රවාදයන් ගැමියන් තුළ පවතී. ඒ අතර පොකුණ අඩි 170ක් පමණ හෝ ඊට ආසන්න ප්රමාණයක් ගැඹුරින් යුක්ත වන බවද පැවසෙයි. මෙහි හැඩය කේතුවක් කණපිට ගැසූ ආකාරයට වන බවද කියැවේ. නමුත් පොකුණෙහි කිමිදී ගැඹුර මැන බැලූ කිසිවකු පිළිබඳ සටහනක් දැකගැනීමට නොහැකිවේ.
ඒ වගේම ශ්රී ලංකාවේ විවිධ ස්ථානවල බලකේන්ද්රස්ථාන පවතින බව ඔබ දන්නා කරුණකි. එම බලකේන්ද්රස්ථාන අතරින් එකක් ලෙසට කළුදිය පොකුණ හඳුන්වන බවද පැවැසේ. ඊට අමතරවද බොහෝ අදහස්, මතවාද මෙම කළුදිය පොකුණ පිළිබඳ සඳහන් වේ. ඒ අතරින් රාවණා රජ්ජුරුවන් සක්වළ සමඟ සම්බන්ධ වීම සඳහා මෙම ස්ථානය යොදාගන්නට ඇතැයිද විශ්වාස කරයි. තවද බොහෝ අවස්ථාවල රාවණා රජු සක්වළ හා සිදුකළ යුද්ධවලදී පරාජිත සේනාවන්හි ජීවග්රහයෙන් අල්වාගත් සතුරන් මෙම කළුදිය පොකුණෙහි ස්ථාපිත කර තිබූ සිරකුටිවල රඳවන්නට ඇතිබව ඇතැම් ජනප්රවාදවල සඳහන් වෙයි. අද වන විටත් බොහෝ දෙනෙක් එය විශ්වාස කරන අතර ඒ හා සමාන අදහස් පළකර තිබෙයි. කළුදිය පොකුණ අසලට ගිය විට අපට කළුගලින් සාදන ලද ආසන බොහෝමයක් දැකගත හැකිය. මෙම ආසන භාවනානුයෝගීව වැඩවසන ස්වාමීන්වහන්සේලා සඳහා නිර්මාණය කරන ලද අසුන් බවටද මතයක් පවතී. ඒ අතරින් එක් අසුනක් කාලබුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේ භාවනානුයෝගීව වැඩවිසීමට යොදාගත් ආසනයයි. ඒ වගේම එම ස්ථානයේ සිට කාලබුද්ධ රක්ඛිත තෙරුන් සක්වළ හා සම්බන්ධ වී ඇති බවට ජනප්රවාදයෙහි සඳහන් වේ. උන්වහන්සේ රාජගිරි ලෙනෙහි වැඩ වසමින් භාවනානුයෝගී කටයුතු කිරීම සඳහා කළුදිය පොකුණ අසලට වැඩි බව ප්රකාශ වෙයි. කෙසේ වෙතත් අදටත් මෙම ආසනයෙහි හිඳ භාවනා කිරීමට කිසිම පුද්ගලයකුට යම්කිසි බලවේගයන් ඉඩ ලබා නොදෙන බව පවසයි. ඒ වගේම මෙම පොකුණෙහි සක්මන් කරන කොටසෙහි ප්රශ්නාර්ථයක් ඉතිරි කරමින් විවිධ අද්භූත සිදුවීම් සිදුවී ඇති බවට වාර්තා වෙයි. අදටත් මෙම ස්ථානයෙහි චුම්බක ක්ෂේත්රයේ සිදුවන වෙනස්කම් ප්රශ්නාර්ථයක් බවද බොහෝදෙනා මත පළකරයි. දේශීය මෙන්ම විදේශීය පර්යේෂකයන් මෙහි පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි. රන්මසු උයන, සීගිරිය ආදී වූ සක්වළ දොරටු අතරට කළුදිය පොකුණද අයත් වෙන බවට මතයක් ඇති අතර අදටත් නිසොල්මන්ව හිඳින ජල කඳ විශාල අබිරහසක් සඟවා සිටින බව නම් පැහැදිලියි. කළුදිය පොකුණ රාවණා රජුගේ නිර්මාණයක්ද මත එහි පතුලේ ගැඹුර පිළිබඳ නිශ්චිත අදහසක් නැත්තෙ ඇයි? ආදි වූ ප්රශ්න රාශියක් පිළිතුරු නොමැතිව ඉතිරිව ඇත. කෙසේ වෙතත් කළුදිය පොකුණ රහස් ගොඩක් සඟවාගන සිටින අද්භූත පොකුණක් වන බව නම් නොරහසක්.
කාංචනා මධුවන්ති රත්නායක











