අද කලා ක්‍ෂේත්‍රයේ ගොඩදෙනෙක් චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය නළු නිළි සම්මාන වෙනුවෙන්. තවත් සමහරු සමාජයේ ජීවත් වන විවිධ චරිත නිරූපණය කිරීමට කැමැත්තක් දක්වනවා. ඉතින් එවැනි සුවිශේෂ ශිල්පීන් අතර සිටින එක් ශිල්පියෙක් තමයි හර්ෂ තෙන්නකෝන්. ඔහු මේ දවස්වල දකින දකින හැම තැනම චරිත මවනවා. ඒ කාර්යබහුලත්වය තුළ ඔහු අප සමඟ දොඩමලු වුණේ මේ විදියට.
හර්ෂ මේ දවස්වල පුංචි තිරයේ රජ කරනවා නේද?
පසුගිය කාලේ කරපු නිර්මාණ සියල්ලම එකවරම විකාශය වෙන්න ගත්තා. හුස්මක් තරමට, මායාරාජිණී, සිරස නාළිකාවේ ‘තෝඩු’ ස්වාධීන රූපවාහිනියේ, ‘හේලි’ දෙරණ නාළිකාවේ විකාශය වෙනවා. එයට අමතරව ‘රෂ්’ සිනමාපටය සාර්ථකව හොඳ ප්‍රතිචාර මැද දිවයින පුරා තිරගත වෙනවා.
කතාවක් තියෙනව හර්ෂ හැමදාම දකින කුකුළාගේ කරමල සුදුයි කියල. මෙහෙම නිතරම දකින එක ගැන ඔබට මොකද හිතෙන්නේ?
මට නම් එය සතුටක්. මොකද අපේ දක්‍ෂතාව විවිධ පැතිකඩවලින් විවිධ කෝණවලින් විවිධ විදියට දකිනවා. ඉතින් මම මේ එක ටෙලි නාට්‍යයකවත් එකම චරිතය රඟපාන්නේ නැහැ. එහෙම වුණා නම් ප්‍රේක්‍ෂකයන්ට මාව එපා වෙයි. මම නිරූපණය කරන්නේ එකිනෙකට වෙනස් චරිත.
හර්ෂ ඔබේ රඟපෑමවත් ඔබට බලන්නට වෙලාවක් නැතිතරමට ඔබ කාර්යබහුල වෙලා?
ඇත්තටම ඔව්. මම රඟපාපු ටෙලිනාට්‍යයක්වත් බලන්න වෙලාවක් නැහැ. මම රඟපාපු ටෙලිනාට්‍යවල චරිතවල සාර්ථකත්වය මට දැනෙන්නෙ ප්‍රදේශයෙන් ප්‍රදේශයට යද්දී ලැබෙන ප්‍රතිචාරවලින්. එයින් මම තේරුම් ගන්නවා ඒ චරිතවලට මම සාධාරණයක් කර ඇති බව.
ඔබ ඔය කළ චරිත අතර ‘හේලි’ නාට්‍යයේ වලිසුන්දර කියන චරිතය වෙනස් නේද?
ඒ චරිතය මම දැඩි කැපවීමකින් කරපු චරිතයක්. අනෙක් නිර්මාණවලට කැපවුණේ නැහැ කියනවා නෙමේ. මට ලැබෙන හැම චරිතයකටම මගේ උපරිම දායකත්වය මම දෙනවා. මෙයට කලින් විවිධ චරිතවලින් වලිසුන්දර වගේ වෙනස් චරිත දකින්න ඇති. නමුත් එයට වඩා ලොකු වෙනසක් කිරීමට මේ වලිසුන්දර උත්සාහ කරනවා.
ඔබ මේ ක්‍ෂේත්‍රයට දායක වෙන්නේ වේදිකාව හරහා. ඒත් ඔබට දැන් වේදිකාවෙන් ආරාධනා අඩුද?
මම වේදිකාවේ අවුරුදු හතරක් විතර වැඩ කළා. මම වේදිකාව අමතක කරලා නැහැ. නමුත් වේදිකාවේ ආවට ගියාට රඟපාන්න බැහැ. පෙර පුහුණුවීමක් ඇතිව සජීවී රංගනයක් නිර්මාණය කරන නිසා එයට ලොකු කාලයක් කැපකිරීමක් වෙන් කරන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ මට ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න අපහසුයි.
ඔබ චරිත තෝරා ගැනීමේදී විශේෂත්වයක් දක්වනවාද?
ඇත්තටම මම ගොඩාක් කැමැති මිනිසුන් ජීවත් වන විවිධ චරිත අත්හදා බලන්න. නළුවෙක් නොවුණා නම් ඒ චරිත අපිට අත්හදා බලන්න වෙන ක්‍රමවේදයක් නැහැ. චරිතයක් අත්හදා බලනවාට වඩා ඒ චරිතය තුළට ආරූඪ වන එක බැරෑරුම් වැඩක්. නමුත් මගේ මේ චරිත පිපාසය නිසා ඒ අභියෝගය වෙනුවෙන් රෑ-දිවා නොබලා මම මුහුණ දෙන්න සූදානම්.
ඔබ ඒ දක්වන උනන්දුව ඔබට නිර්මාණ ගලා ඒමට තවත් හේතුවක්ද?
මගේ ප්‍රතිරූපයට ආරාධනා ලැබෙන්න මම එහෙම ලස්සන නළුවෙක් නෙමේ. මගේ ලස්සන එහෙම තිබුණ නම් මට අද මීටත් වඩා දුර ගමනක් ගිහින් ජාත්‍යන්තරයත් එක්කත් තරග කරනවා. ගොඩ දෙනෙක් මගේ දකිනවා ඇත්තේ මගේ දක්‍ෂතාව. ඔවුන් හිතනවා ඇති මට චරිතයක් භාර දුන්නොත් මම එයට සාධාරණයක් ඉටු කරනවා කියලා. අන්න ඒ විශ්වාසය තියාගෙන මම කටයුතු කරනවා. තවත් සමහරු මම එක්ක වැඩ කිරීමේ පහසුවක් දකිනවා ඇති.
හර්ෂට හරියට කේන්ති එනවා නේද?
ඒක මගේ පොඩි කාලේ ඉඳල තිබෙන දෙයක්. හරි දේ වෙනුවෙන් ඉවසනවා. අසාධාරණය මට පේන්න බැහැ.
අමතක නොවන ලෙස ඉවසීම පැනපු අවස්ථාත් ඇති?
එහෙම නැතුවා නොවේ. ඉස්සර වගේ මම දැන් කිසිම දෙයක් අතින්-පයින් විසඳන්න යන්නේ නැහැ. මම වැඩිහිටියෙක් නිසා. මම කැමැති නැහැ මගේ නම වෙන විදියකට පාවිච්චි වෙනවාට. මම ගොඩාක් තැන්වලට නොගිහින් ඉන්නෙත් ඔය හේතුන් නිසා. මම මගේ පාඩුවේ මගේ පවුලේ අයත් එක්ක කාලය ගතකරන්න තමයි කැමැති.
වසන්ත විතාරණගේ











