11 වැනි බුද දින උදාවෙන්නේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයයි. මෙය මේ වසරේ අවසන් පුර පසළොස්වක පොහොයයි. ලක්වැසි බොදුනුවන් වූ අපට මෙම පොහොය ඉතා වැදගත් දිනයක් වෙයි.
එවකට මේ හෙළදිව පාලනය කළා වූ දේවානම්පියතිස්ස රජු තම රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අරිට්ඨ ඇමැති දඹදිවට පිටත් කොට යැවීය. එම අවධියේදී දඹදිව රාජ්‍ය පාලනය කළ ධර්මාශෝක රජු අරිට්ඨ ඇමැතිවරයා සමඟ කළ සාර්ථක සාකච්ඡාවකින් පසු එතුමාගේ ආදරණීය දියණිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් සමඟ මේ පින් බිමට එවීමට කටයුතු කෙරිණි. ඒ සඳහා අවශ්‍ය සියලු පසුබිම ධර්මාශෝක රජතුමා විසින්ම සම්පාදනය කළ බව ඉතිහාසයේ සඳහන්ය.
ස්වකීය පුරෝහිත බමුණන් විසින් දෙන ලද සුබ මුහුර්තයකින්, රාජකීය උත්සවශ්‍රීයෙන් පසුව සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ පුරා දින හතක මුහුදු ගමනාගමනයකින් ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවද රැගෙන මෙසිරිලක දඹකොළ පටුනට වැඩියේ උඳුවප් පුන් පොහෝ දිනයකය. ඒ සමඟම පරිවාර භික්ෂුණීන් වහන්සේ එකොළොස් නමක්ද එදින වැඩිය බවද සඳහන් වෙයි. මෙපුවත පිළිබඳව ආරංචිය ලැබුණු වහාම දේවානම්පියතිස්ස රජු සිය අමාත්‍ය මණ්ඩලය හා සෙසු පරිවාර ජනයා සමඟ අලංකෘත වූ පෙරහැරකින් සංඝමිත්තා තෙරණිය වැඩිය නැව ආසන්නයටම ගොස් අතිමහත් වූ භක්තියකින් යුතුව කරවටක් මහ මුහුදට බැස ශ්‍රී මහා බෝධිය සහිත රන් පාත්‍රය දෑතින්ම පිළිගෙන නැවත මහ පෙරහැරකින්ම සංඝමිත්තා මහ රහත් තෙරණිය සමඟ අනුරාධපුරයට වැඩමවා ගෙනැවිත් මහමෙව්නාවේ රෝපණය කිරීමට කටයුතු කෙරිණි. මේ සිද්ධිය ශ්‍රී ලක් ධරණි තලයේ කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ආරම්භ කළ පුවතක් විය. මෙදිනෙන් පසුව මෙහෙණි සස්න පිහිටුවීමද ඇරැඹිණි.
ශ්‍රී ලාංකිකයන් වන අපට උඳුවප් පොහෝ දිනය තවත් අතකින් විශේෂිතය. එනම් බුදුරජාණන් වහන්සේගේ පා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ ශ්‍රී පාදස්ථානය වන්දනා මාන කිරීමේ අරමුණින් සියලු බැතිමතුන් සිරිපා සමය ඇරැඹීමයි. සෑම වසරකම දේවාභරණ පැල්මඬුල්ලේ රජ මහා විහාරයේ සිට සමනල කන්ද තෙක් මහත් භක්තියෙන් වැඩමවා තැන්පත් කොට පුද පූජා ඇරැඹෙන්නේද උඳුවප් පුන් පොහෝ දිනකය. ඉන්පසු වෙසක් මස පුර පසළොස්වක දින තෙක් පුරා මාස පහක පමණ කාලයක් සිරිපා සමය ඇරැඹේ.
ගුණරත්න බණ්ඩාර











