යුගදිවිය අති සාර්ථක අන්දමින් ගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන අඹු-සැමියන් දෙදෙනා තුළම සමව තිබිය යුතුවෙයි. එය එක් අයකුගෙන් පමණක් ඉටු නොවේ. කිසිදිනෙක නොහඳුනන ස්ත්‍රියක් හා පුරුෂයෙක් එක් වහලක් යට මුළු ජීවිත කාලය පුරාම සතුටින්, සොම්නසින් ජීවත් වීම ඉමහත් ආශ්චර්යයකි. පෙර කරන ලද පින්වල මහිමය විනා වෙන කිසිවක් නොවේ. අපේ මේ සංසාර ගමනේ හමුනොවූ කිසිවෙක් නොමැත. එය ගිණිය නොහැකි උභතෝකෝටික ක්‍රමයකි. ජීවිතය නමැති රුවන් මාලිගයේ රන්මය දොරටුවේ යතුර ඇත්තේද යුග දිවියට පා තබන බිරිය අතේ යැයි කියමනක් ඇත. සුර විමනක් හෝ අපායක් නිර්මාණය කිරීමට සෑම ගැහැනියකටම හැකි වෙයි. පංච මාතාවක් යැයි පවසන ලද්දේ එබැවිනි. එහෙත් සෑම කාන්තාවකටම යුගදිවිය වාසනාවන්ත කිරීමට හැකියාවක් නැත. එසේම වාසනාවන්ත යුග දිවියක් ගෙවීමට ඇයට ඉඩකඩ පෑදෙන්නේ ඇගේ සැමියාද සාමයෙන්, සතුටෙන්, ප්‍රේමයෙන්, ආදරයෙන් සිටින අයකු වුවොත් පමණි. පිඹුරකු, මුවදෙනක් වෙළාගන්නා පරිදි වුවහොත් එතැන ගිනිගත් තැනකි ගුරුවරියක්, මිතුරියක්, මවක් සේද ඉතාම කුලුපගව “ස්ත්‍රී ශයනේ වෛශ්‍යානාම්” යනුවෙන් හැඳින්වෙන පරිදි හැසිරෙන්නේ නම් ඇයට යුග දිවියක් ගතකිරීමට හැකි වෙයි. වත්මන්හි මැදියම් රැයේ මිස්කෝල් ගන්නට ගියොත් වැඬේ දුරදිග යනු ඇත. සෙලියුරරය මිතුරකු මෙන්ම සතුරකුය.
සෑම මිනිත්තුවකම කාමය කිතිකවන තැනට ගුවන් කාලය එළඹ ඇත. අත් බණනයට (සෙලියුරරයට) ගුවනින් කාන්දු වූ අඩනිරුවත් කාන්තා සේයා රූ පෙළක් නිසා එක්තරා විවාහක තරුණ යුවළකගේ නිදියහන පොරපිටියක් බවට පත්වූ බැව් පැහැදිලි කරුණකි.
එවැනි අවස්ථා අද සුලබයි. දෙස්-විදෙස්, රූපවාහිනී සේවා හරහා ඇසෙන පෙම් වදන් සමහර විවාහ ජීවිත කඩා බිඳ දමන බවක්ද පෙනෙන්නට තිබේ.
ඇස හා කන මායාවක පටලැවී මිරිඟුවක් පසුපස පිම්මේ දුවන තැනට මේ වන විට විවාහක අය පවා පත්වී ඇති බැව් ප්‍රසිද්ධ රහසකි.
ජ්‍යොතිෂ විද්‍යාවේ දක්වා ඇති ග්‍රහ හැසිරීම් රටාවට අනුව දෙදෙනකු ගළපා යුග දිවියට ඇතුළු වූවත් ඇසෙන, පෙනෙන යම් යම් ඉඟි හරහා උන්මත්තකයන් ලෙස ඉවක්, බවක් නැතිව දුවන්නට යෑමෙන් සමහර විට ඉතාම අහිංසක, සංවේදී තරුණ විවාහකයන්ගේ යුග දිවිය ඇදවැටෙන තැනට බොරු වළවල් කපා තිබේ.
සිය පවුලේ සාමාජික සාමාජිකාවියන් 60කටත් වඩා සිටින එක්තරා මහලුවියේ පසුවන 98 වැනි විය පසුකර ඇති මවක් පැවසුවේ මම හරිම වාසනාවන්තියක්. මුනුපුරන්, මුනුපිරියන් සිටින ගණන දැන් මටත් මතක නැහැ යන්නයි.
එහෙත් මේ කාලයේ බොහෝමයක් අද විවාහ වී හෙට උසාවියේය. තවද දුරකතනයට ලැබෙන මඟහැරුණු ඇමතුමක් විවාහය දක්වා දුර යන අවස්ථාද නැතුවා නොවේ. ඒවාට ග්‍රහයෝ අල්ලා ගැනීමද සුදුසු නැත. සමහර ස්ත්‍රී – පුරුෂ දෙපක්‍ෂයම වෙනසක් තිබිය යුතු යැයි සිතා අනියම් සබඳතා ගොඩනඟා ගන්නා තැනටද පත්වී ඇත්තේය. ලග්නය දෙවැන්න, හත්වැන්න, අටවැන්න මෙන්ම නව වැන්නද සෞම්‍ය ග්‍රහයන්, පාපී පෙනීම් නැති වීම, සඳුගේ හැසිරීම, කුජගේ භෞම දෝෂය ඇතුළු විවාහ දෝෂ 20ම භංග වී ඇතත් අද සිටින ඇතැම් තරුණයන් හා තරුණියන් විවිධ අත්හදා බැලීම්වලට තරගකාරීව කායික හා මානසිකව හැසිරීමට දක්වන රුචිකත්වය නිසාම සිය පවුල් ජීවිතය කඩාබිඳ වැටෙන තැනට පත්වී ඇති බැව් නොරහසකි. යුගදිවිය රසවත් ලෙස වින්දනය කිරීම එක්තරා කලාවකි. (Art Of Sex) සෞන්දර්යමය ක්‍ෂේම භූමියකි. විශේෂයෙන්ම විවාහ වීමේදී එහි හෙට දවස අපේ පැරැණි අය (ගැමියන්) ඉවෙන් දැන සිටි බව ඇත්තකි.
තම දියණිය සරණපාවා දෙන විට ඇය සිය විවාහ ජීවිතය ගෙන යන ආකාරය මනාව විග්‍රහකර දීමේ හැකියාවක් ඔවුන්ට තිබිණි. එදා මඟුල් බුලත් දීමේ සිට ඉසදිය ගමන දක්වාම ඉතාම සුබ නැකැත් සාදා ගැනීම ආවාට ගියාට නොකරන ලදී. විශේෂයෙන්ම දියණියගේ ඇවැතුම්, පැවැතුම්ව පමණක් දන්නා නිසා නැකැත් සෑදීමට දින වෙන්කර ගැනීම ගැන අවධානය යොමුකළේ මවයි.
අද නැකැත් ඇදුරා වෙත පැමිණෙන සමහර තරුණියන්ට හිතෙන හිතෙන අන්දමට නැකැත් සෑදීම අපහසු යැයි පැවසූ විට ඔවුන් කියා සිටින්නේ “කොම්පියුටරයෙන් හදාගන්න පුළුවන් බවයි” මෙය කකුලට හරියන සපත්තු තෝරනවා වගේ වැඩක්ද යන්නත් ප්‍රශ්නයකි. විවාහ වී මධුසමය ගතකිරීමට ගිය විටදී හිසට විග් දමා තිබීමත්, දත් ඇඳි දෙකම හයිකර තිබීමත්, ඇස් කාච (ලෙන්ස්) අලවා තිබීමත් සමහර විට පෝලියෝ වැනි ව්‍යාධිවලින් පෙළීමත්, ශල්‍යකර්මයකින් වැදගත්ම අංග ඉවත්කර තිබීමත් වැනි දෑ නිසා යුගදිවිය එක් රැයකින් අහෝසි වන තැනට කාලය උදාවී ඇති බැව් පැහැදිලිය. යථාර්ථය මෙයයි.
කෑමට වඩා බීමට ලක්‍ෂණ ගණන් වැය කර ඉහළපෙළේ හෝටල්වල මහ ඉහළින් මංගල උත්සව පවත්වා පසුව (සේයාරූ දවටනය) ඇල්බමයට පමණක් යුගදිවියට පෙනී සිටීම කොතරම් අවාසනාවන්තද යන්න වැදගත් කාලීන ප්‍රශ්නයකි.
ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල











