ගායිකාවක් විදියට දෙස්-විදෙස් ප්‍රසංගවලට සුමිහිරි හඬක් මුසු කළ ඇය පසුකාලීනව පුංචි තිරයේ ඔබේ ආදරය දිනූ ජනප්‍රියම තාරකාවක් වුණා. ඒ තරමට ඔබ ඇයට ළෙන්ගතු වුණේ ඇයගේ සැඟවුණු දක්‍ෂතා ඔබ දුටු නිසා. ඉතින් කලක් විදේශගතව සිටි සංජීවනී වීරසිංහ පසුගියදා දියණිය සමඟ ලංකාවට පැමිණි බව අපට ආරංචි වුණා. ඒ අනුව අප ඇයව දුරකතනයෙන් සම්බන්ධ කරගත්තේ මේ විදියට.
පසුගියදා රටේ පැවැති ජනාධිපතිවරණය වෙනුවෙන්ද සංජීවනී පවුලේ අයත් එක්ක ලංකාවට ආවේ?
ඒකත් එක් කාරණාවක්. මොකද හඬ අවදි කළ යුතු තැන හඬ අවදි කළ යුතුයි. රටට අවශ්‍ය හොඳ නායකයෙක්. අපේ මිනිසුන්ට නිදහසේ හුස්ම පොදක් ගන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ නිදහස රැකෙන්න ඕනෑ. ශ්‍රී ලංකාව තමයි කටට, රහට කෑම ටිකක් හදාගෙන රසවිඳින්න පුළුවන් එකම රට. අපේ රටේ අපි සියලුම දෙනාගේ යහපත වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් මම එතැන නිහඬව ඉන්න කෙනෙක් නොවේ. අවශ්‍ය තැනදී මගේ උපරිම දායකත්වය මම දුන්නා. මම නිහඬ වුණා. ඒ විතරක් නොවේ මගේ දුවගේ පාසල් නිවාඩුව නිසා දුවත් මේ පාර ලංකාවට ආවා. ඉතින් නැවැත අපි ඇමෙරිකාවට යනවා. මගේ දරුවෙක් එහේ ඉද්දී මම මෙහේ ඉන්න එක හරි නැහැනේ.
ඔබ රංගනය, නිවේදනය, ගායනය යන අංශ තුනෙන්ම යම් ස්ථාවරයකට පැමිණ හමාරයි. ඒත් ඔබ වඩාත්ම සුදුසු රංගනයට කියලා අපි තීරණය කළොත්?
මම මේ ක්‍ෂේත්‍රයට එකතු වෙන්නේ ගායිකාවක් විදියට. අදටත් එහෙමයි. මගේ අම්මා කැමැති මම ගායිකාවක් විදියට මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යනවාට. එහෙත් මගේ ලොකු ආසාවක් තියෙන්නේ රඟපෑමට.
නිල් මානෙල් මගේ පළමු ටෙලිනාට්‍ය. ඉන්පසු ආදරය ගින්දරක්, සුජාතා, කාව්‍යා, ඡායා ටෙලිනාට්‍යවල විවිධ චරිත රඟපෑවා. මම ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ විවාහ වුණාට පස්සේ තමයි. මගේ සැමියාගෙන් ලැබුණු නිදහසෙන් මට මේ ක්‍ෂේත්‍රයේ හැම පැත්තකින්ම ඉදිරියට යන්න ලැබීම ගැන මට සතුටුයි.
සංජීවනී සැබෑ ජීවිතයේදී හිනාවුණාට රඟපෑමේදී නම් අඬන්න හරි දක්‍ෂ බවයි අපිට ආරංචි?
මම රඟපාපු කිසිම ටෙලිනාට්‍යයක අඬන චරිතවලදී මම ග්ලිසරින් පාවිච්චි කරලා නැහැ. රොෂාන් රණවන ඉස්සෙල්ලම රඟපෑවේ මාත් එක්ක. මගේ පුතාගේ චරිතයට. ඔහු රට ඉඳලා එනවා අම්මා ළඟට. ඒ අවස්ථාවේ මම දැක්කේ රොෂාන්ව නෙමේ. මගේ පුතා මම ළඟට එන විදිය තමයි.
ඉදිරියේදී ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට පැත්තෙන් ඔබේ දායකත්වය කොයි විදියටද ගලාගෙන යන්නේ?
නිර්මාණ කිහිපයකින් මට ආරාධනා ලැබුණා. එහෙත් ඒ ලැබුණු චරිතවලට මම කැමැති නැහැ. මම ගොඩාක් කැමැති ගැමි චරිතයක් රඟපාන්න. මිනිසුන්ගේ හදවතට දැනෙන විදියේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. එහෙම සුවිශේෂී චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.
අම්මයි, දුවයි ප්‍රසංග වේදිකාවේ හඬ අවදි කරන්න නුදුරු දිනයකදී සැලසුම් කරගෙන යනවා නේද?
මගේ දුවට මටත් වඩා හොඳට සින්දු කියන්න පුළුවන්. අපි සින්දුවක් කළා. එය ඉදිරියේදී අහන්න පුළුවන් වෙයි. මමයි, පුතයි, දුවයි එකතුවෙලා මව් සෙනෙහස සහ දරු සෙනෙහස ගැන සින්දුවක් කළා. ඒකෙත් වැඩකටයුතු කරගෙන යනවා. මේ නිර්මාණ කිහිපයම මම ආදර රසික රසිකාවියන්ට රසවිඳින්නට ඉඩකඩ සලස්වන්න අවශ්‍ය කටයුතු තමයි මේ දවස්වල සිදුකෙරෙන්නේ.
සංජීවනී නරකද ඔබ කරපු මෙහෙවරත් එක්ක ඉදිරියේදී දේශපාලනයට පිවිසුණොත්?
මට දැනටමත් පාර්ලිමේන්තු මැතිවරණයට ආරාධනා කරනවා. දේශපාලනය පැත්තෙන් මට යන්න වුවමනාවක් තිබුණට මම ඉන්නේ මෙතැන නෙමේ යම්කිසි අමාත්‍යාංශයක. සමහර කලාකරුවන් දේශපාලනයට සුදුසු නැහැ කියනවා. කලාකරුවා කියන්නේ සංවේදී කෙනෙක්. ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න මට දේශපාලනයට එන්න අවශ්‍ය නැහැ. අද මම මේ තැන ඉන්නේ ඔවුන් මට දක්වපු ආදරය නිසා. ඒ දක්වපු ගෞරවය මමත් මගේ ආදර රසික රසිකාවියන්ට උපරිම දායකත්වය ලබාදෙනවා. ඒ ඔවුන්ගේ සතුට වෙනුවෙන්.











