“සැමදා ඔබ ළඟ ඉන්නම්
මගේ කියා රැකගන්නම්
නිල්මිණි දෑසින්
මදෙස බලන විට
මගේ ආදරය පවසන්නම්
ඔබටම සෙනෙහේ
පුදන්නම්”
ජීවිත අත්දැකීම් ගීතයට නඟමින් සිය කටහඬින් ඔබ අමන්දානන්දයට පත්කළ ඒ සොඳුරු හඬ කුමාරසිරි පතිරණ අද යම් තරමකට නිහඬවෙලාද කියලා අපට හිතුණා. ගායනා ශිල්පීන් අතර ඉහළින්ම කියැවුණු ඔහුගේ නිහැඬියාවට වඩා හේතුව කුමක්දැයි කියා හේතු දැනගන්නට අප ඔහුට ‘හාට්’ වෙත සම්බන්ධ කරගත්තෙ මේ විදිහට.
කුමාරසිරි පතිරණගේ සොඳුරු හඬ දැන් නිහඬ වෙලා නේද?
මම නිහඬව වැඩ කරගෙන යනවා. පසුගිය කාලේ ප්‍රසංග තිබුණේ නැහැ. මේ මාසෙ නම් ප්‍රසංගවලින් ආරාධනා ගලාගෙන එනවා. සද්ද බද්ද නැතුව වැඩ කටයුතු කරගෙන හොඳින් ඉන්නව. ගොඩක් ස්තූතියි ‘මව්රට’ පත්තරේට මාව මතක් වීම ගැන.
ඇයි ඔබ එහෙම අදහස් කළේ?
මෙහෙමයි. අපේ හඬවල් දැන් ගොඩදෙනෙක්ට මතක නැහැ. කිසිම මාධ්‍යයකින් අපේ හඬට ඉඩක් නැහැ. අලුත් පරපුරට විතරයි හැම තැනින්ම ඉඩක් තියෙන්නේ. ඒක වරදක් නැහැ. මතු පරපුර අපිට අවශ්‍යයි. අපේ කලාව ඔවුන් රැකගෙන යායුතුයි.
හදවතට කතා කරන සොඳුරු හඬට වටිනාකමක් දෙන්නේ දුප්පත් මිනිසුන් නේද?
ඒ කතාව මමත් පිළිගන්නවා. මොකද කොළඹ ප්‍රදේශයේ ජනතාවට වඩා ඈත පිටිසර ගම්වල ජනතාව නිසා තමයි අද කුමාරසිරි පතිරණ කියලා කෙනෙක් බිහිවෙලා ඉන්නේ. කොළඹ යාන්ත්‍රික පිරිසක් ඉන්නේ. 90%ක්ම රූපවාහිනියක්වත් නරඹන්නේ නැති තරම්.
ඔබ සුවිශේෂි ගායන ශිල්පියෙක්. කවදාවත් කරන්නම් වාලේ වැඩ කරපු කෙනෙක් නෙමේ. නමුත් ඔබ ඒ වෙනස වෙනස් කළා?
මම කවදාවත් රැල්ලට වැඩ කරපු කෙනෙක් නෙමේ. මේ ගෙවුණු අවුරුදු 30 මගේ කිසිම ගීතයක් මම රූප රචනා කළේ නැහැ. මම අනුන්ගේ සින්දු ගායනා කළේ නැහැ. මම මගේම කියලා ස්ථාවරයකට ආවේ. එය ගැන මම සතුටු වෙනවා.
ඒත් ඔබ ඔබේ ජනප්‍රිය සින්දු ජනතාවගේ හදවතේ මවමින් ඉදිරියට යනවා?
මගේ සින්දුවල රූප රචනාව ජනතාවගේ හදවත්වල මම මවලා ඉවරයි. එය සදාතනිකයි. ඒ තරමට ජනතාව මගේ සින්දුවලට ආදරය කළා. රත්නපුර ප්‍රදේශයේ මගේ ආදරණීය රසිකයන් කිහිප සැරයක්ම අපේ ගෙදරට ආවා. ඔවුන් ඒ තරමට මගේ සින්දු එක්ක බැඳිලා. ඔවුන්ගේ ඉල්ලීමට ඔහුගේ වියදමින් මගේ ජනප්‍රිය සින්දු 4ක් විතර රූප රචනා මේ වෙනකොට සිදුකරලා ඉවරයි.
ඒ මොන සින්දුද?
94 වසරේ මගේ මුල්ම කැසට්පටය ‘හිරු සඳු හඬාවි’. එහි ‘හිතට ආපු ආදරේ’, ‘එදා පෙම් බැන්දා’, ‘කියන්නේ කෙලෙසක’ ගීතවලට දැනටමත් මියුසික් වීඩියෝ සිදුකරලා ඉවරයි. ලබන වසරේ මුලදී දැක බලාගන්න පුළුවන්.
ඔබ ගීත කලාව පෝෂණය කළ සොඳුරු හඬක්. එය ගැන මතකය අවදි කළොත්?
1990 ‘පිවිතුරු හද ළඟ’ කැසට් එක මම නිර්මාණය කළා. මට දැනෙන දේ මම කළා. හැබැයි ඒ හැම දේම මම කළේ මගේ ප්‍රවීණ ශිල්පීන්ගේ ආභාසය ඇතිව. නමුත් දැන් ඉන්න අය ප්‍රවීණ අය සමඟ කිසිම ආභාසයක් ගන්නේ නැහැ. එය ගැන කනගාටුවෙනවා ඇරෙන්න වෙන කරන්නට දෙයක් නැහැ. අලුත් පරපුර ගැන මම කනගාටු වෙනවා. හැදෑරීමක් ඇතිව මේ ගමන ගියොත් ඔවුන්ට දුර ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
ඔබ ගායනා කළ ජනප්‍රිය සින්දුවක් තමයි ‘සැමදා ඔබ ළඟ ඉන්නම්’ ගීතය. මේ ගීතය ඔබේ ජීවිතය එක්ක බැඳුණු කතාවක් බවයි අපට ආරංචි?
මගේ දෙවැනි කැසට් පටයේ ගීතයක් තමයි සැමදා ඔබ ළඟ ඉන්නම් ගීතය. 1992 තමයි මම එය නිර්මාණය කළේ. අදටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ප්‍රසංග වේදිකාවේ පවා. පළමු සහ දෙවැනි කැසට් පටවල ගීතවලට මගේ ජීවිතය එක්ක සම්බන්ධ දේවල් තමයි මම යොදාගත්තේ.
අලුත් තාක්ෂණයත් එක්ක කැසට්පට කලාව නැත්තට නැතිවුණා නේද?
රටේ දියුණුවක් එක්ක අලුත් තාක්ෂණය රටට අවශ්‍යයි. අපි ලක්ෂ ගානක් වියදම් කරලා නිර්මාණ හදනවා. තවත් සමහරු ඒවා සී.ඩී. තැටිවලට නිර්මාණය කරලා රුපියල් 50ට විකුණනවා. එතැනයි වරද. කලාකරුවො දේශපාලනයේ සිටියා. කිසිම ආණ්ඩුවකින් මෙයට කිසිම ක්‍රමවේදයක් ගෙනාවේ නැහැ. දැන්වත් හොඳ ක්‍රමවේදයකට කලාකරුවන්ට වටිනාකමක් ලැබුණොත් අපිට ඉදිරියට මෙයට වඩා නිර්මාණ කරන්න පුළුවන්.
ඔබ ජනප්‍රිය සංගීත කණ්ඩායමක මුල් පුරුකක්. දැන් එහි වැඩකටයුතු කොහොමද?
පොළොන්නරුවේ පළමු සංගීත කණ්ඩායම ‘සුපර් ෆ්‍රෙන්ඞ්ස්’ හැදුවේ අපි. ඒත් මගේ සින්දු ප්‍රේක්ෂකයන් වැලඳගත්තාට පස්සේ මට දිගටම ‘සුපර් ෆ්‍රෙන්ඞ්ස්’ එක්ක වැඩ කරන්න බැරිවුණා. එකදිගට මට ප්‍රසංගවලින් ආරාධනා ආවා. ඉතින් මම ඉල්ලීමක් කරලා එයින් ඉවත් වුණා. දැනටත් මම ඔවුන්ගේ ප්‍රසංගවල ගීත ගායනා කරනවා.
ඔබේ නිවහන මේ වන විට කලාගාරයක් බවට පත්වෙලා නේද?
ඇත්තටම අපේ නිවෙස කලාගාරයක්. හරිම සුන්දර විදියට කාලය ගෙවෙන්නේ. මගේ පුතා සිනෙත් මාලක. එයාගේම කියලා ශබ්දාගාරයක් කරගෙන යනවා. මගේ දුවත් සින්දු කියනවා. මගේ අනිත් පුතා ශිනෙත් චමත්ක පතිරණ. ‘යාළු මාළු – 2’ චිත්‍රපටයේ පසුබිම් ගායනයෙන් සම්බන්ධ වුණා. ඒ ගැන මට හරිම සතුටුයි.
වසන්ත විතාරණගේ











