කලා ජීවිතයේ පැමිණි දුර ගැන වසන්තට මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. එදා චිත්‍රපටයක් නරඹලා රඟපෑම ගැන ඇතිකර ගත්තු ආසාවත් කෙසේ හෝ මගේ අරමුණට යනවා කියන ස්ථිර අධිෂ්ඨානයත් නිසා තමයි මට අද මේ ඉන්න තැනට එන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ ගමන පහසු එකක් වුණේ නැහැ. විවිධ බාධක, කරදර මැදින් තමයි ආවේ. හැබැයි ආපහු හැරිලා බලද්දී මම සතුටු වෙනවා.
ඔබ තරමක් කාර්යබහුල කෙනෙක්. ඒ නිසාද නිර්මාණවල අඩුවෙන් දකින්න ලැබෙන්නේ?
ඒකත් එක් හේතුවක්. කාලය කළමනාකරණය කරගනිමින් රංගනයට සම්බන්ධ වෙන්න සිදුවීම තුළ ඇතැම් නිර්මාණවලට මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ තත්ත්වය මත පසුගිය කාලෙ නිර්මාණ කිහිපයක්ම භාර ගන්න මට නොහැකි වුණා.
මේ දිනවල වසන්තව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?
“සිරස” නාළිකාවේ විකාශය වන “මායාරාජිනී” ටෙලිනාට්‍යයේ මං පුරාවිද්‍යා නිලධාරියකුගේ චරිතයක් නිරූපණය කරනවා. දෙරණ නාළිකාවේ විකාශය වන “හේලි” නාට්‍යයෙත්, “ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර්” චිත්‍රපටයේත් මගේ රංගනය දැකගන්න පුළුවන්.
ගෙවුණු කාලයයි, අදයි ගත්තාම ඔබට මොනවද හිතෙන්නේ?
ඇත්තටම මුලින් කිව්ව වගේ පසුගිය කාලයත් සමඟ බලද්දී මේ ගෙවෙන්නේ ජීවිතයේ හොඳම කාලය කියලත් මට හිතෙනවා. බාධක, කම්කටොලු පරදමින් ආපු ගමනේදී මට උදව් කරපු අය වගේම මාව වට්ටන්න කටයුතු කරපු පිරිසකුත් ඕනෑ තරම් හිටියා. හැබැයි ඒ සියල්ල අතරින්, මම ජීවිතයේ ජය කණුව කරා යමින් සිටිනවා කියලා මට හිතෙනවා.
ළඟදී වසන්තගේ ජීවිතයේ අලුත් වෙනසක් වෙනවලු නේද?
මගේ ජීවිතයම කාලයෙන් කාලයට වෙනස් වුණා. හැබැයි ඒ හැම දේම සිද්ධ වුණේ මේ ඉන්න තත්ත්වයට එන්න කියල මම විශ්වාස කරනවා. මට දැන් ලොකු වගකීමක් තියෙනවා. මම දැන් තාත්තා කෙනෙක් වෙන්න ඉන්නෙ. එදා මම මේ ගමන ආවේ තනියම. දැන් මගේ ගමන පිටුපස බිරිය ඉන්නවා. දුව ලැබෙන්නේ ලබන අවුරුද්දේ මුල. ඉතින් මගේ මේ හැම කටයුත්තකටම මගේ බිරිය දෙන නිදහස කියන්න මට වචන නැහැ.
පසුගිය දවස්වල ඔබ ගැන කතාබහට ලක්වුණු නිර්මාණත් ඔය අතර ඇති?
“දුවන මුවන්” චිත්‍රපටයෙන් තමයි මාව සිනමාවට හඳුන්වා දුන්නේ. ඉන්පසු හර්ෂ උඩකන්දගේ “ගෝරි” චිත්‍රපටය, සුගත් සමරකෝන් අධ්‍යක්‍ෂණය කළ “විජය කුවේණි,” ඇහැලේපොළ කුමාරිහාමි සහ යක්‍ෂා දේශයත් ඉදිරියේදී, නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කළ “ඊතලය” චිත්‍රපටයෙත්, හතේ කල්ලිය, කොළඹ අහස, ටෙලිනාට්‍යවලත් ඔය අතර විශේෂ තැනක් ගන්නවා.











