අපේ රටේ කොළඹ යැයි කියූ පමණින්ම අපට අද සිහිවන්නේ මුළු කොළඹම ලෝකයා හමුවේ තැබූ ඒ ගාලු මුවදොර පිටියයි. එසේත් නැත්නම් අපි හොඳින්ම දන්නා හඳුනන ගෝල්ෆේස් පිටියයි. වර්තමානයේ එය එක් පසෙකින් පෙම්වතුන්ගේ මහා රජ දහනකි. තවත් පසෙකින් එය සංචාරක පාරාදීසයකි. එසේත් නැත්නම් එය දේශපාලනඥයන් තම තමන්ගේ ගොඩ පෙන්වන විශාල වූ පිට්ටනියකි. තවත් විදිහකට කිවහොත් එය වෙළෙඳුන්ගේ තෝතැන්නකි. එහෙත් ඒ එහි වර්තමාන කතාවයි. නමුත් ගාලුමුවදොර පිටියේ හමනා මුහුදු හුළඟට ගසාගෙන ගිය කඳුළුත් සමඟින් ගනුදෙනු කළ අතීතයක් තිබේ. එම අතීතය වර්තමාන සමාජය නොදන්නා එහෙත් දැනගත යුතුම වූ අතීතයකි. එනිසා අපේ අද කතාව කිසිවක් නොදන්නා තාලයට රැල්ලයි වෙරළයි හාදකම් පානා ගාලුමුවදොර පිටිය වෙතය.
ගෝල්ෆේස් පිටියට ඉතා දිගු අපූරු ඉතිහාසයක් තිබේ. එය අතීතය තුළ තුරඟ තරග පිටියක් ලෙසින් භාවිත කළ බව අදටත් ප්‍රසිද්ධ වූ රහසකි. එමෙන්ම ගාලුමුවදොර වරෙක වධකාගාරයක්ද විය. ඊට හේතුව එම පිටියේ ඉංග්‍රීසි හමුදාවේ යුද සෙබළකු එල්ලා මරා දැමීමට ඉදිකළ එල්ලුම් ගසයි. එමෙන්ම එදා සමාජයේ ඉහළ පැලැන්තියේ සිටි මිනිසුන් ගාලුමුවදොර නැත්නම් ගෝල්ෆේස් පිටිය තමන්ගේ ව්‍යායාම් කටයුතු සඳහාද යොදාගත් බව සඳහන් වෙයි. තවද අද මෙන්ම එදාද මේ ගාලුමුවදොර යනු සංචාරකයන්ගේ අපූරු පාරාදීසයකි. මේ අතර තවත් සුවිශේෂී හේතුවක් නිසාවෙන්ද ගාලුමුවදොර පිටිය අපට වැදගත්ය. එනම් මැයි පළමු වැනිදාට යෙදෙන ලෝකයම සමරන ජාත්‍යන්තර කම්කරු දිනය නිසාය. ඒ අනුව එදා ලංකා ඉතිහාසයේ කළ පළමු මැයි රැලියූ 1933 වර්ෂයේදී කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වූ අතර එය අවසන් කර තිබෙන්නේ ගාලුමුවදොර පිටියෙනි. එය ලංකා ඉතිහාසයේ සිදු වූ ඉතා වැදගත්ම සිදුවීමක් ලෙස සඳහන් කළ හැකිය.
ලෝකයම දන්නා හඳුනන කොළඹ ගාලුමුවදොර පිටිය පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ වූ මත පළකර තිබේ. විශේෂයෙන්ම දෙස් විදෙස් විචාරකයන් මෙන්ම ලේඛකයන් සහ දැන උගත් පුද්ගලයන් ඔවුන් අතරින් ප්‍රමුඛය. නමුත් ගාලුමුවදොර පිටිය ගැන ඔවුන් කුමක් පැවසුවද අතීතයේදී එහි ඉදිකර තිබූ ශිලා ලේඛනවල සඳහන් වන්නේ මෙම ස්ථානය එවකට “ගෝල්ෆේස් සක්මන” ලෙසින් හඳුන්වා ඇති බවයි. එදා 1856 පමණ වර්ෂයේදී “සර් හෙන්රි වෝඞ්” නම් ආණ්ඩුකාරවරයා විසින් කොළොම්පුරයේ ජීවත් වූ කුඩා දරුවන් මෙන්ම කාන්තාවන් වෙනුවෙන් මෙම “ගෝල්ෆේස් සක්මන” නම් වූ ස්ථානය ඉදිකර තිබෙන බව එම ශිලා ලේඛනවල පැහැදිලිව සඳහන් කර තිබූ බව පැවසෙයි. ඒ අනුව අතීතයේදී කුඩා දරුවන් මෙහි දුවමින් පනිමින් සෙල්ලම් කරමින් විනෝද වූ බවත් කාන්තාවන් ඇවිදිමින් දුවමින් විනෝදජනක අන්දමින් ව්‍යායාම් කටයුතු කළ බවත් සඳහන් වෙයි. මේ අතර තවත් පිරිස් මුහුදු රළ පාගමින් මුහුදු ජලයේ විනෝද වූ බවත් පැවසෙයි.
ජේ.පී.ඩී. ලුවිස් නම් ලේඛකයා ගාලුමුවදොර පිටියේ වූ රමණීය බව සම්බන්ධයෙන් වරක් මෙසේ සඳහන් කර තිබේ.
“ගෝල්ෆේස් පිටියේ දකුණු දිශාව වන්නට පෙනෙන්නේ ශ්‍රී පාදය නොහොත් ආදම්ගේ ඒ කඳු මුදුනයි. කොළඹ වැව ලෙසින් හඳුන්වනු ලබන නිහඬ නිශ්චල ජලාශය ඇත්තේ කොම්පඤ්ඤ වීදිය පැත්තට වෙන්නටය. මේ පෙදෙසේ ඇති නිවාස සහ මන්දිර අලංකාරත්වයෙන් යුක්තය. එහි අතරින් පතර දක්නට ලැබෙනා දෙල් ගස් මෙන්ම පුවක් ගස් නිසාද මේ ස්ථානයට ගෙන එන්නේ ඉතා අලංකාරවත් බවකි. එහි පසෙකින් දිස්වන්නේ අවි හරඹ කරනා සෙබළ කණ්ඩායම්ය. මාවතේ ගමන් කරනා බක්කි කරත්ත සමූහයකින්ද මෙම ස්ථානයට ගෙන එන අලංකාරය අති මහත්ය. සෙබළ කණ්ඩායම් නිසා යමකුට නම් එය අවහිරයක් වුවද විදේශයකින් පැමිණෙන ආගන්තුකයකුට නම් කිසිදු දිනක මෙවන් අමතක නොවනා නෙත් පිනවනා දර්ශනයක් වෙනත් කිසිදු තැනකදී හමු නොවනා බව විශ්වාසයි.”
ගාලුමුවදොර පිටියේ නැත්නම් ගෝල්ෆේස් පිටියේ තිබූ බව සඳහන් දරුණු එල්ලුම් ගසේ කතාවද මෙහිදී අප සඳහන් කළ යුතුය. 1856 වර්ෂයේදී “සර් හෙන්රි වෝඞ්” නම් ආණ්ඩුකාරවරයා විසින් එදා ඉදිකළ මෙම “ගෝල්ෆේස් සක්මන” තුළ සැබෑවටම එල්ලුම් ගසක් තිබී ඇත. නමුත් එය ඉදිවන්නේ “ගෝල්ෆේස් සක්මන” ඉදිකරන්නට පළමුව එනම් 1815 වර්ෂයේදීය. ඒ අනුව එදා ගාලුමුවදොර යනු යුද්ධාධිකරණයේදී වරදකරුවන් වූ අයගේ දඬුවම් මධ්‍යස්ථානය විය. එහි සුවිශේෂීම වූ සිදුවීම වූයේ 1815 වර්ෂයේ සිංහල දමිළ අලුත් අවුරුදු දිනයේය. ඒ යුද්ධාධිකරණයේ වරදකරුවකු බවට පත් වූ “ඩැනිෂ් ඬේල්” යන යුද සෙබළාගේ සිදුවීමයි. ඔහුට තිබූ එකම වරද වන්නේ මහා රජුගේ 73 වැනි පාබළ හමුදාවේ සේවයේ යෙදී සිටියදී සිදුකළ කැරලි ගැසීමේ චෝදනාවයි. ඒ අනුව ඔහුට එදා අත්වූයේ එල්ලා මැරීම හෙවත් මරණ දඬුවමයි. ඒ අනුව අදාළ දිනයේදී ඔහුව එල්ලා මැරීමට එවකට කාලතුවක්කු හමුදාවේ මෙන්ම යුද හමුදාවේද ආරක්ෂක රැකවරණය මත ගෝල්ෆේස් පිටියට ගෙන එන්නට විය. ඒ කොටුවේ වූ බැරැක්කයේ සිට අතට පයට දැමූ විලංගුද සමඟිනි.
එහෙත් අවසානයේ “ඩැනිෂ් ඬේල්” නම් වූ එම සෙබළා එල්ලා නොමැරූ අතර ඊට හේතුව ලෙස ඔහු එදා සඳහන් කර ඇත්තේ ආණ්ඩුකාරවරයා විසින් ඔහුට අභය දානය ලබාදුන් බවයි. එහිදී මරණ දඬුවම සඳහා නියම වී සිටි සෙබළා තම දෑත් අහස දෙසට දිගු කර කඳුළු සලමින් දෙවියන්ට ස්තුති කළ බව සඳහන් වෙයි. එය ගාලුමුවදොර පිටියේ වූ විශේෂ සිදුවීමකි.
රුවන් එස්. සෙනෙවිරත්න