යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්ඳු සිටින තැනා
ළඟම ඇතේ – දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ
සුමියුරු ගී හඬ ඇසුණු සැණින් ඔබට සිහිපත් වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී රොඞ්නි වර්ණකුල. ඉතින් ඔබ අප පිනවූ මේ සොඳුරු නිර්මාණකරුවා ගැන කතා කිරීමට බොහෝ දේ ඇතත්, සද්දබද්ද නැතුව ගෙවුණු ඔහුගේ ජීවිතය සොයා අපි ගියේ ඒ පාරේ.
ඔබ පුංචි තිරයේ, සිනමාවේ, වේදිකාවේ විතරක් නොව ප්‍රසංග වේදිකාවටද නැතුව බැරි නිර්මාණකරුවෙක්. එහෙත් මෑත කාලයක ඉඳල ඔබව නිර්මාණවලින් දකින්න නැහැ. මෙයට හේතුව?
හේතු ගැන කතා කරන්න ගියොත් නම් ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. එහෙත් මගේ දක්‍ෂතාවන් දැකපු අය, මාව නිර්මාණවලට අවශ්‍ය අය මට කතා කළොත් එය මට සුදුසු චරිතයක් නම්, රසිකයා වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්නම් මම දෙපාරක් නොහිතා නිර්මාණවලට සම්බන්ධ වෙනවා. පසුගිය දවස්වල චිත්‍රපට කිහිපයකම වැඩ කළා.
ඔබ මේ ක්‍ෂේත්‍රය ගැන කලකිරීමකින්ද කතා කරන්නේ?
ක්‍ෂේත්‍රය ගැන මගේ කිසිම කලකිරීමක් නැහැ. නමුත් ගුණාත්මක නිර්මාණ කලාවක් නැති නම් සම්බන්ධ වෙලා වැඩක් නැහැ. අපි සතුටුවෙලා ඉන්න ඕනෑ ප්‍රේක්‍ෂකයා සතුටු කරන්න කලින්. එතකොටයි චරිතයකට වුණත් උපරිම සාධාරණයක් කරන්න පුළුවන්. නිකම් කරන්නම්වාලේ නිර්මාණ කරන්න මම කැමැති නැහැ.
මම හිතන්නේ 2016 ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණාට පස්සේ මම ටෙලිනාට්‍යයකට වැඩ කළේ නැහැ කියලා. ඉතින් ඊට වඩා හොඳයි මම ආපු වේදිකාවේ යමක් කරගෙන පාඩුවේ ඉන්න එක.
ඔබට වේදිකාවේ අත්දැකීම් බහුලයි. වේදිකා රංගන ශිල්පියෙක් විදියට වේදිකාව ගැන යමක් පැවැසුවොත්?
වේදිකා නාට්‍ය කොච්චර බිහිවුණත් වැඩක් නැහැ. ඒවා නරඹන්න ප්‍රේක්‍ෂකයන් නැතිනම්. අපි වේදිකාවේ රඟපාන්නේ හිස් පුටුවලට. ඉතාමත් සුළු පිරිසක් තමයි වේදිකා නාට්‍ය නරඹන්නේ. අධ්‍යාපන මට්ටමෙන් වේදිකාව සම්බන්ධයෙන් හැදෑරුවත් පාසල් සිසුන්වත් නැහැ වේදිකා නාට්‍ය නරඹන්නේ. ඔවුන් ජීවත් වෙන්නේ පාට පිරුණු ලෝකයක. ඔවුන් වේදිකාවේ හොයන්නේ සටන්, සින්දු තියෙන කලාවක්. පසුගිය කාලේ සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයත් එක්ක වේදිකා නාට්‍ය කඩාවැටීමක් සිද්ධ වුණා. දැන්නම් කාලයත් එක්ක ඒ හැම දේම විසඳිලා යනවා.
ඔබව ගොඩ දෙනෙක් දැන හඳුනා ගත්තේ හාස්‍යය රංගන ශිල්පියෙක් විදියට නේද?
ඇත්තටම ඔව්. මම ඒ ගැන සතුටු වෙනවා. හාස්‍යය කියන දේ හැමෝටම කරන්න බැහැ. අතදරුවෙක්ගේ හිනාවක් ගන්නත් අඩු තරමේ මාස තුනක්වත් ගතවෙනවා. හාස්‍යය උත්පාදනය කිරීම පහසු කටයුත්තක් නොවේ. එය කරලම බලන්න ඕනෑ. “තාරාවෝ ඉගිළෙති” වේදිකා නාට්‍යයෙත් මගේ දැකපු හාස්‍යය ගතිය අද දක්වා මට ගෙන ඒමට ලැබීම භාග්‍යයක්. හාස්‍ය නළුවෝ කියලා ලංකාවේ රංගන ශිල්පීන් ගොඩ දෙනෙක් ඉන්නවා කියලා හිතුවට මම හිතන්නේ රියැලිටි හාස්‍යය ශිල්පීන් 25ක්වත් නැති තරම්. සමහරු හිතනවා ඇති අපි ජෝකර්ලා කියලා. අපිට බැහැ නිකම් ජෝකර්ලා වෙලා ඉන්න. මම හොඳ නිර්මාණවල තමයි හාස්‍ය නළුවෙක් විදියට චරිත ප්‍රතිනිර්මාණය කළේ.
ඔබ මේ ක්‍ෂේත්‍රයට පිවිසිලා වසර 38ක් පමණ කාලයක් වෙනවා. හිතුවාද මේ තරම් දුර ගමනක් යන්න ලැබෙයි කියලා?
කලාකරුවෙක් වෙන්න ලැබෙනවා කියන්නේ ලොකු පිනක් කියලයි මම හිතන්නේ. ඒ වෘත්තිය මිල කරන්න බැහැ. මටත් ලොකු උණක් තිබුණා පාසල් කාලයේ සිටම නළුවෙක් වෙන්න. පාසල් වේදිකාවේ මම හොඳට රඟපානවා. ඒ ලබපු අත්දැකීම් නිසා මට ප්‍රසිද්ධ වේදිකාව ජයගන්න හැකි වුණා. ඒ විතරක් නොවේ ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, රෝහණ බැද්දගේ, සෝමරත්න දිසානායක වැනි හොඳ නිර්මාණකරුවන් යටතේ ගුණාත්මකකමක් ඇති හොඳ නිර්මාණවල වැඩ කරන්න ලැබීමත් ලොකු භාග්‍යයක් විදියටයි මම සලකන්නේ. ඒ ලබපු දැනුම් සම්භාරයත් එක්ක අද මම යම් තැනක ඉන්නවා.
බොහෝ දෙනෙක් පවසන දෙයක් තමයි රොඞ්නි ප්‍රසංග වේදිකාවේ නැති බව. මෙයට හේතුව ගැන කතා කළොත්?
එළිමහන් සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න මගේ දැන් කිසිම කැමැත්තක් නැහැ. දැකපු දේවල් හැටියට. එළිමහන් සංගීත ප්‍රසංග කලාවේ තියෙන්නේ කලාවක් නොවේ. පළිගැනීමක්, එහෙමත් නැතිනම් ගුටිබැට දීමක්. සංගීත කණ්ඩායම්, එයට සම්බන්ධ වෙන ශිල්පීන් හොඳ වැඩ කරන කොට අපේ රසිකයන් එතැන මරා ගන්නවා. කලාවට මොකටද පොලිස්, හමුදා රැකවරණ. සියලුම දෙනාගේ රසවින්දනය වෙනුවෙන් අපි දෙයක් කරන කොට තවත් පැත්තකින් සිදුවන්නේ වෙනස්ම හැසිරීම් රටාවක්. ඒ නිසා මම කැමැති නැහැ ඒ වගේ තැන්වලට සම්බන්ධ වෙන්න.
අපිට අවසාන වශයෙන් අහන්න තියෙන්නේ රොඞ්නි ඔය කොණ්ඩය සුදුවුණේ කොහොමද?
මගේ කොණ්ඩය තරුණ කාලේ ඉඳලම සුදුයි. මගේ මවුපියන්ගෙත් සුදුම සුදුයි. මේ දවස්වල නම් කොණ්ඩෙ කළුයි. චිත්‍රපටයක වැඩ කරන නිසා.
වසන්ත විතාරණගේ











