ජන්ම පත්‍රයක පිහිටන අශුභ යෝග අතර ඉතාම ප්‍රබල අශුභ යෝගයකි කේමදෘම යෝගය. මෙම යෝගය නිර්මාණය වනුයේ කේන්දරයේ චන්ද්‍රයාගෙන් දෙපස රාශිවල හෙවත් උප්පත්ති චන්ද්‍රයාගෙන් 2 වැන්නේ හා 12 වැන්නේ කිසිදු ග්‍රහයකු නොමැති වීමයි.
යම් ජන්මියකුගේ ජන්ම පත්‍රයේ කේමදෘම යෝගය පිහිටි කල ඔහු හෝ ඇය ඉතාම අවාසනාවන්ත දිළිඳු කෙනෙකි. කරන කියන වැඩ අසාර්ථක වෙයි. බොහෝ විට තනිකඩ ජීවිත ගත කරයි. විවාහ වුවද දරුවන් නොමැත. විවාහ දිවිය අන්තිම අසාර්ථක වී කැඩී යයි. මෙවැනි කේන්දර හිමියෝ බොහෝ විට ජීවන වෘත්තිය ලෙස බැළමෙහෙවරකම්වල නිරත වෙති. තවද අනුන්ට නිතර දෝෂාරෝපණය කරන අතර සොරකමට මෙන්ම වංචාවට බරය. මෙම යෝගය කෙතරම් අවාසනාවන්තද යත් මොවුන්ගේ මරණය පවා අන්ත දුක්ඛිතය. මෙම යෝගයේ අශුභත්වයන් ඉහත ආකාර වුවද යමකුගේ ජන්ම පත්‍රයේ පිහිටා ඇති කේමදෘම යෝගය ජන්ම පත්‍රයේත් නවාංශකයේත් යෙදී ඇති ග්‍රහ පිහිටීම් තුළින් භංග වෙයි නම් උක්ත යෝගයේ අනිටු ඵල කිසිදා උරුම නොවෙයි. ඒ නිසා ඒ සම්බන්ධව අනියත බියක් ඇති කර ගතයුතු නොවෙයි. කේමදෘම යෝගය භංග වන ක්‍රම ගණනාවකි.
- ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින රාශියට ග්‍රහයකුගේ දෘෂ්ටියක් වැටීම.
- උප්පත්ති චන්ද්‍රයාගෙන් 2 වැන්නාට හෝ 12 වැන්නාට ග්‍රහයකුගේ දෘෂ්ටියක් වැටීම.
- ජන්ම පත්‍රයේ 8 වැන්න අධිපති නොවන ගුරු ග්‍රහයාගෙන් යෙදෙන ගජකේශරී යෝගය පිහිටා තිබීම.
- කේන්දරයේ චන්ද්‍රාධිපති යෝගය පිහිටා තිබීම.
- ලග්නයෙන් 4 වැන්නේ ග්‍රහයකුගේ හෝ ග්‍රහයන් කිහිප දෙනකු තැන්පත් වීම.
- චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගතව ග්‍රහයන් පිහිටීම.
- නවාංශක කේන්දරයේ සඳුගෙන් එක් පසෙක හෝ දෙපසම ග්‍රහයකු හෝ ග්‍රහයන් පිහිටීම.
- ලග්නයෙන් කේන්ද්‍රස්ථාන වැඩි ගණනක ග්‍රහයන් පැවතීම.
- නවාංශක කේන්දරයේ සඳු සිටින රාශියට අනුරූපව ලග්න කේන්දරයේ උක්ත රාශිය දෙපස ග්‍රහයන් පිහිටීම.
තවද උක්ත කේමදෘම යෝගය භංගවන ක්‍රම සඳහා දායක වන ග්‍රහයන් ප්‍රබල රාශිගත බලයකින් සිටිය යුතු වන අතර අශුභත්වය භංග කරනු වස් දායක වන ගජකේශරී ආදීකොට ඇති ප්‍රබල යෝගද ඉතා බලගතුව නිර්මලව පිහිටා තිබිය යුතුය. එපමණක් නොව සඳු මතට හෝ සඳුගෙන් දෙපසට වැටෙන දෘෂ්ටියද ශුභ විය යුතුය.
ජන්ම පත්‍රයක මෙම අශුභ යෝගය පිහිටා භංග නොවන අවස්ථාවන්හිදී යෝගයෙන් ගෙන දෙන අනිටු ඵලවලින් දුකට පත්වීම එසේත් නැත්නම් දිළිඳු වී අසාර්ථක වීම වළකනු වස් ප්‍රතිකර්මයක් ලෙස උපන් ප්‍රදේශයෙන් ඉතා ඈතකට හෝ විදේශ රටකට හෝ පදිංචියට යෑම සිදුකරයි. එම ක්‍රම වේදය තුළින් භංග නොවන කේමදෘම යෝගයේ අනිටු ඵල වළකාගත් අය බොහෝය. මෙහිදී අවශ්‍ය වනුයේ තම ජන්ම පත්‍රයේ කේමදෘම යෝගය පිහිටා තිබේද? එසේ පිහිටා ඇත්නම් එය භංගවේද නොවේද යන්න නිවැරදිව දැන ගැනීමය. ඒ සඳහා උගත් ජ්‍යොතිෂවේදියකුගේ සහාය ලබා ගන්න. එවිට සියයට සියයක්ම නිවැරදිව යෝගයේ ස්වභාවය සම්බන්ධව දැනුවත් විය හැකිය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද











