එකගෙයි කෑම යනු අතීතයේ බොහෝ විට උඩරට ප්‍රදේශවල පැවති පවුල් ජීවිත ක්‍රමයකි. එහෙත් පසුව එය ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත විය.
බොහෝ විට එකගෙයි කෑමේ අරමුණ වූයේ එකී පවුලේ දේපොළ සහෝදරයන් අතර බෙදී යෑම වැළැක්වීම බවද සිතීමට හැකිය. එමඟින් රණ්ඩු සරුවල් කරගැනීමට පවා ඉඩකඩ තිබූ දේපොළ ප්‍රශ්න පවා මඟඇරුණු බවද පෙනෙන්නට තිබේ. මෙම විවාහ ක්‍රමයට අනුව යම් පවුලක වැඩිමහල් පිරිමි සහෝදරයා දෙපාර්ශ්වයේම ඥාති සමූහයාගේ එකඟත්වයෙන් චාරිත්‍රානුකූලව බිරිඳක් තම නිවසට කැඳවාගෙන එයි. එලෙස පවුලේ වැඩිමල් පිරිමි සහෝදරයා විසින් විවාහ කරගත් එම බිරිඳ තමාගේද බිරිඳ ලෙස සලකාලමින් ලිංගික ඇසුර පැවැත්වීමට ඔහුගේ බාල සහෝදරයාටද එදා අවසර ලබාදීම මෙම අපූරු විවාහ ක්‍රමයේ ලක්ෂණයයි. ඒත් සමඟම බාල සහෝදරයන් හයදෙනකු දක්වා විශාල පිරිසකටද මෙම විවාහ ක්‍රමයේදී අවසරය ලැබුණු බව සඳහන් වෙයි. ඒ අනුව එදා එකම පවුලේ සියලුම පිරිමි සහෝදරයන්ට සිට ඇත්තේ එකම එක පොදු බිරිඳකි. එමෙන්ම පවුලේ පිරිමි සහෝදරයන් හයකටත් වඩා සිටියි නම් ඔහුට වෙනත් බිරිඳක් කැඳවාගෙන ඒමට ඉඩක් තිබූ අතර ඔහුගෙන් පසුව එම පවුලේ තවත් සහෝදරයන් සිටියි නම් පෙර පරිදිම ඒ බිරිඳ තමාගේ බිරිඳ ලෙස සලකා අඹුසැමි ඇසුර පැවැත්වීමට ඔවුන්ට අවසර තිබිණි.
එකගෙයි කෑම යන මෙම අපූරු විවාහ ක්‍රමයට අයත් විශේෂ ආචාර ධර්ම පද්ධතියක්ද එදා පැවතුණු බව සඳහන් වෙයි. විශේෂයෙන්ම ලිංගික ඊර්ෂ්‍යාව යන කාරණාව මෙහිදී සහෝදරයන් අතර නොතිබීම වැදගත් කරුණකි. එමෙන්ම එක්කන් ආ බිරිඳ මගේ පමණක්ය යන ආත්මාර්ථකාමී ඒ සිතුවිල්ලද කිසිදු සහෝදරයකුට නොතිබිය යුතුය. මෙම විවාහ ක්‍රමය තුළ කායික සම්බන්ධතාවයන්ද සිදුකළේද අපූර්ව ක්‍රමයකටය. ඒ නිර්වාචික සන්නිවේදන ක්‍රමයක් හරහාය. එදා මිනිසුන්ගේ ජීවනෝපාය වූයේ හේන් ගොවිතැනයි. එහිදී පැල් රැකීමේ කටයුත්ත අනිවාර්ය අංගයකි. එක් දිනක් පැල් රැකුමට යන්නේ වැඩිමහල් සහෝදරයාය. එදින බාල සහෝදරයා නිවසේය. පසුදා දින පැල් රැකුමට යන්නේ බාල සහෝදරයාය. එදිනට වැඩිමහල් සහෝදරයා නිවසේය. එසේ කරනා විට කායික සම්බන්ධතාවයන් සිදුකිරීම පහසුය. තවද දෙදෙනාම නිවසේ සිටින දහවල් කාලයේදී එක් සහෝදරයෙක් බිරිඳ සමඟින් කායික සම්බන්ධතාවයක යෙදෙන්නේ නම් ඔහු ඔහුගේ අමුඩ ලේන්සුව දොර උඩ තැබිය යුතුය. එවිට අනෙක් සහෝදරයාට කාරණාව මනාව තේරුම් යෑම එහිදී සිදුවෙයි. එය අවාචික සන්නිවේදන ක්‍රමයකි.
එදා එකගෙයි කෑම එක්තරා විදිහකට බහු පුරුෂ විවාහ ක්‍රමයක් ලෙසද සඳහන් කළ හැකිය. එය කවදා කෙසේ පැවතගෙන ආ එකක්දැයි කිව නොහැක. ඊට හේතුව වන්නේ අපේ පැරණි බෞද්ධ සාහිත්‍යයේ පවා එවන් අවස්ථා අපට හමුවීමයි. ඊට හොඳම උදාහරණය වන්නේ පන්සිය පනස් ජාතක පොතේ තිබෙන කුනාල ජාතකයයි. කුනාල ජාතකයේ සඳහන් පරිදි කන්හා කුමරියට ස්වයං වර විවාහයකට සුදුසු වල්ලභයන් පස්දෙනකු තෝරා ගැනීමට අවසර හිමි වෙයි. එය එදා වඩාත් විශේෂ වූ පවුල් ප්‍රවණතාවයකි. මේ අතර උසස් කුලයන් තුළද එකගෙයි කෑමට සමාන වූ බහුභාර්යා විවාහ ක්‍රමයක්ද තිබිණි. ඒ අනුව උසස් කුලයට අයත් පුරුෂයන්ට රූමත් බිරින්දෑවරුන් කීපදෙනෙක් විවාහ කරගැනීමට අවසර ලැබිණි. නමුත් එසේ කිරීමට හැකි වූයේ තමන් සතු වත්කම් පෙන්වා එම බිරින්දෑවරුන් නඩත්තු කිරීමට ඔවුන්ට හොඳ හැකියාවක් ඇතිනම් පමණි. එදා උඩරට සිංහල ගැමි සම්ප්‍රදාය තුළද මෙම බහුභාර්යා විවාහය ඉතාම ජනප්‍රිය වී තිබිණි. මේ අතර වර්තමානයේ ඇතැම් රටවල්වල මුස්ලිම් ජාතිකයන් අතර තවමත් මෙම බහුභාර්යා විවාහ ක්‍රමය තිබේ. ඒ අනුව ඔවුන්ට බිරින්දෑවරුන් කීපදෙනෙක්ම තමන්ගේ බිරිඳ ලෙස තබාගත හැකිය.
මෙම එකගෙයි කෑමේ විවාහ ක්‍රමය පිළිබඳව එදා ඵෙතිහාසික කරුණු සොයාගැනීම තරමක් දුරට අසීරු කටයුත්තකි. එහෙත් ඕනෑකමින් සොයා බැලුවහොත් එවන් ඓතිහාසික තොරතුරු අසීරුවෙන් හෝ අපට සොයාගත හැකිය. අප ලංකා ඉතිහාසය තුළ නම් මීට නිදසුන් වූ ඓතිහාසික කරුණු හමුවන්නේ උඩරට ආශ්‍රිත ප්‍රදේශයන් තුළිනි. එහෙත් කාලයත් සමඟ මෙම අපූරු විවාහ ක්‍රමය අනෙක් ප්‍රදේශ පුරාද වේගයෙන් පැතිරුණු බව අපගේ ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එකගෙයි කෑමේ විවාහ ක්‍රමය ගැන රාජාවලියේ එක් තැනක මෙසේ සඳහන් වෙයි.
“මේ විජයබාහු රජ එකගෙයි කන අවධියට වැදූ කුමාරයන් තිදෙනාම ධර්ම පරාක්‍රමබාහු රජුගේ ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන් හා විජයබාහු රජ්ජුරුවන් දෙන්නා එක දෝළියට පැමිණ උන්නයි දත යුතු….”
ලාංකේය රාජාවලියේ එන ඉහත කාරණාවට අනුව පැහැදිලි වන්නේ එකගෙයි කෑම නැත්නම් බහු පුරුෂ විවාහ ක්‍රමය යනු අතීතයේ රාජාවලිය තුළ පවා තිබූ සුවිශේෂීම වූ විවාහ ක්‍රමයක් බවයි. මෙම බහු පුරුෂ විවාහ ක්‍රමය තුළ අදාළ විවාහක කාන්තාව විසින් එක් සැමියකුට වඩා බොහෝ විට සැමියන් පස්දෙනකුට ආසන්න ප්‍රමාණයක් සමඟ තම පවුල් කෑම සිදුකරනු ලබයි. එහිදී ඇයට ඒ පවුලෙන් ලැබෙන්නේ ඉමහත් ආදරයක් සහ සෙනෙහසකි. ඇය එහිදී තම පවුල් කෑම හඳුන්වන්නේ “මං ඒ තුන් හතර දෙනාටම කෑම උයා පිහා දෙනවා.” යනුවෙනි. එයින් ඇය අදහස් කරන්නේ තමාගේ පවුල් කෑමේ ඇති ස්වභාවයයි. මේ අතර මෙම බහු පුරුෂ විවාහයෙන් ලැබෙන දරුවන්ට ස්ථිර වශයෙන්ම පියකු නොමැත. එහිදී පියා සෙවීමද අපහසුය. ඒ හේතුවෙන් එම දරුවන් තමා වැදූ මවගේ සැමියන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ අප්පච්චී, බාල අප්පච්චී, කුඩප්පච්චී සහ ලොකු අප්පච්චී යනුවෙනි.
එකගෙයි කෑමේ විවාහ ක්‍රමය ගැන 1967 වර්ෂයේදී ඬේව්ද තමන්ගේ “ඬේව් දුටු ලංකාව” යන කෘතියේ සටහන් කර තිබේ. ඒ එහි 149 වැනි පිටුවේය. එහි සිංහල පරිවර්තනය පහත පරිදිය.
“භාර්යාවන්ගේ හා ස්වාමි පුරුෂයන්ගේ සංඛ්‍යාව පිළිබඳව සීමාවක් නොමැතිව බහුභාර්යා හා බහුපුරුෂ සේවනයට අවසර තිබේ යන්නයි.”
රුවන් එස්. සෙනෙවිරත්න











