තම දරුවා මරා බික්‍ෂූන් වහන්සේ කෙනකුනට දානය පිරිනැමීමට තැත් කළ මාපියන් පිළිබඳ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහනි.ඒ සංකීර්ණ කතාවත්ථුව දිළඳුකම යටපත්කර ආගමික භක්තිය ඉස්මතුකිරීම සඳමා තේමාව කොට ගනු ලැබුවක් වුව ද අන්ධ විශ්වාසය සිහින් රේඛාවක් සේ ඒ තුළින් විහිදෙන බව ද නොකියා ම බැරිය.
එහෙත් ඒ කතාවට පාදක වූ සංවේදී ජනක පුවත වනාහි මාපියන් විසින් හත් හැවිරිදි තම එකම දරුවා ඝාතනයට තැත්කරනු ලැබීමය.
අතීත ධාර්මික ශිෂ්ට සමාජයක(වර්තමානයේ නොව) සිදුවිය නොහැකි ලෙස සැලකිය යුතු වැ තිබුණු මේ අභව්‍යය සිදුවීම වත්මන්හි දරිද්‍රතා ඉදිරියේ නොසිදුවන්නට ද බැරි නැති බව ඒකාධිපති පාලනයක් ඇති ඇතැම් දුර්භික්‍ෂිත රටවලින් ඇසෙන සිද්දීන් වලින් සපත කෙරේ.
පිළිගත මැනවි යුද්ධයෙන් වැල්ගැහුණු තලෛබාන් පාලනයට යටත් ඇෆ්ඝනිස්ථානයේ දැන් පවත්නේ එවන් තත්ත්වයකි.
අවතැන් වූ මාපියෝ තම දරුවන් වකුගඩු අවශ්‍ය වූවනට විකුණති.
පෙර පැවති රජයේ හමුදා සහ ඉස්ලමීය එමිරේට් සන්නද්ධයන් අතර රිපබ්ලික් ආණ්ඩුව ඇද වැටීමට පෙරාතුව උතුරු බල්කා ප්‍රාන්තයේ සර් ඊ පුල්,ෆාර්යාබ් සහ ජවුස්ජාන් ආදී ප්‍රදේශවල සිට මහ සටන් මධ්‍යයේ පලා ආ සරණාගතයින් සිය කුසගින්න නිවාගැනීමට මේ අන්දමින් සිය දරුවන් ශරීරාංග ගැනීමට විකුණන බව “ටෝලෝ”ප්‍රවෘත්ති සේවය කියයි.
සාගින්න නිසා මේ බිහිසුණු ම්ලේච්ඡ වියරු මානසික තත්ත්යට වැටුණු මා පියන් ඉන් බේරා ගැනීමට උත්සාහ ගන්නා එක් පුණ්‍යායතනයක් විසින් ඒ පවුල්වලට අවශ්‍ය ආහාරපාන සහ වෙනත් අවශ්‍ය දේ සපයනු ලැබේ.
චන්ද්‍රසේන මාරසිංහ





