කිසියම් අයකුගේ දේහ ලක්‍ෂණ බලා ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්‍ෂණයන් පැවසීමට අපේ පැරණි ඍෂිවරු සමත් වූහ. ඒ අනුව ඔවුනට ආවේණික වූ නළල් තලය පිහිටා ඇති ආකාරය අනුව ඔවුන්ගේ චරිත ස්වභාවයන් සඳහන් කර ඇත්තේ මේ අයුරිනි.
අඩ සඳක් මෙන් ශෝභමාන අඟල් දෙකක් පමණ වන නළල් තලය සෞභාග්‍යවත් නාරි ලක්‍ෂණයක් ලෙස ඔවුහු එදා හැඳින්වූහ. මෘදු, මොළොක් වදන් පවසන ඇය සියලු සැප සම්පත් ලැබීමේ පින්බල ඇති තැනැත්තියකි. ඇය කාරුණිකය. මනුෂ්‍යත්වය හඳුනන්නීය. බොහෝ සේ ඉදිරියට නෙරන ලද පිරුණු නළල් තලයෙන් අධික කාමාශාව ඇති කාන්තාව හඳුනාගත හැකිය. කායික ආසාවන් මුදුන්පත් කරගැනීමට සුළු ඉඩක් හෝ ලැබුණහොත් එයින් නිසි ප්‍රයෝජන ගැනීමට ඔවුහු පසුබට නොවෙති. අඩ සඳක්වන් නළල් තලය මැද ස්වස්ථික රේඛාවන් පිහිටා තිබුණහොත් ඇය මහා භාග්‍යවන්තියක් ලෙස ඔවුහු සැලකූහ. මිහිපිට බිම් අඟලක් හෝ නොමැතිව ඇය උපන්නත් නිරවුල් දේපොළ රාශියක උරුමක්කාරියක වන බවයි එමඟින් පෙන්නුම් කරන්නේ.
උල් තුනක් ආකාර ලකුණක් හෙවත් ත්‍රිශූලයක හැඩයට සමාන ලකුණක් නළල් තලයේ විද්‍යමාන වේ නම් ඇය කුමන ක්‍ෂේත්‍රයක හෝ කැපී පෙනෙන ප්‍රසිද්ධ කාන්තාවක් විය යුතුය. මැති-ඇමැති වැනි උසස් පුද්ගලයන්ගේ බිරියන් කෙරෙහිද බොහෝ විට මෙම ලක්‍ෂණය පිහිටා තිබෙනු දැකිය හැකියි. ඉලිප්පී ගිය නහරවැල්වලින් ගැවසීගත් නළල් තලය දුෂ්චරිතයෙහි ගැලුණු ස්ත්‍රීන් කෙරෙහි පිහිටන අංග ලක්‍ෂණයකි.
නාසයේ මුල සිට ඉහළට විහිදුණු රේඛාවකින් වෙන්වී ගිය ආකාරයෙන් පෙන්නුම් කරන නළල් තලයක් ඇති ස්ත්‍රීන්ද කලාතුරකින් අපට දැකිය හැකිය. එවන් ස්ත්‍රීන් හැටහතර මායම් දන්නීය.
නළල් තලයේ දකුණු පාර්ශ්වයේ උපන් ලපයක් පිහිටා ඇති කාන්තාවගේ විවාහ ජීවිතය අසාර්ථක වන අතර, එවන් ලකුණක් නළල් තලයේ වම්පසින් පිහිටියේ නම් ඇය ස්වාමියාට ද්‍රෝහි වනු ඇත. ලලනාවකගේ ලළාටයෙහි දකුණු පැත්තට බරව කැලලක් හෝ ඉන්නෙක් පිහිටීම සුබ ලකුණක් බව පූර්වාචාරීන් සඳහන් කර ඇත. පින්වත් පුරුෂයකුට බිරිය වන ඇය සුපින්වත් දූපුතුන් ලැබ සතුටින් දිවි ගෙවන්නීය.
කාන්තාවකගේ නළල පැතලි ස්වභාවයකින් පිහිටා ඇත්තේ නම් ඇය බොහෝ විට කේලාම්කාරියකි. ගෙයක් ගෙයක් පාසා ඇවිද අනුන්ගේ ඕපාදූප සෙවීම ඔවුන්ගේ විනෝදාංශය වෙයි. නළල දෙපැත්තේ ගැට පිහිටා ඇත්තේ නම් ඇගේ චරිතයද යහපත් නොවේ. මායාකාර, කුහක කාන්තාවන්ට එවන් ලක්‍ෂණ පිහිටයි. බෙහෙවින් දිගැටි හැඩයක් ගන්නා නළල් තලයද කාන්තාවන්ට අසුබ ලකුණකි. එය ඇගේ ස්වාමිපුරුෂයාටද අපල ගෙනදෙයි.
අත්ලෙහි හෝ යටිපතුල්වල රේඛා පිහිටන්නාක් මෙන් බොහෝ අයගේ නළල් තලයෙහිද විවිධාකාර වූ රේඛා සලකුණු පිහිටා ඇත. නළල උඩ රැලිගැන්වූ විට ඒවා වඩාත්ම පැහැදිලිව දැකිය හැකිය. නළල් තලයේ දික් අතට වැටී තිබෙන එවැනි රේඛා උපයෝගී කරගැනීමෙන් කෙනකුගේ ආයුෂ ප්‍රමාණයද ගණන් බැලිය හැකි වේ. මේ අනුව කෙනකුගේ ආයුෂ තීරණය කිරීමට ඔබ කැමැති නම් පළමුවෙන්ම එසේ වැටී ඇති රේඛා සංඛ්‍යාව ගණන් කරන්න.
යමකුගේ නළලෙහි රේඛා තුනක් පිහිටියේ නම් හෙතෙමේ වාසනාවන්තය. පුත්‍රයන් හා මහත් ධනයෙන් යුතුව 60 වර්ෂයක් ජීවත් වෙයි. මෙබඳු රැලි දෙකක් ඇත්තේ නම් 40 වර්ෂයක් පමණද, කර්ණ සීමාව දක්වා යමකුට පිහිටි රැලි එකක් ඇත්තේද හේ 30 වර්ෂයක් ජීවත් වෙයි. මෙබඳු වූ රැලි හතරක් ඇත්තේ නම් 70 වර්ෂයක ආයුෂ ලබයි. ලුහුඬු රේඛා නළලෙහි පිහිටියේ යමකුටද හේ වර්ෂ 40ක් ජීවත් වෙයි. කැඩී ගිය රේඛා නළලෙහි ඇත්තේ නම් අසුබය. එය හදිසි මරණයකට හේතුවක් වෙයි.
හිඹුටානේ පියතිලකද අල්විස්











