අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සන්ධානය ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණු අදාළ හදිසි නීති රෙගුලාසි, පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 81 කින් සම්මත වුණා.
එම ලිපියට විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා මෙන්ම දෙමළ ජනතා ජාතික සන්ධානයේ සියලුම පක්ෂවල නායකයින් අත්සන් තබා ඇති බව සඳහන්.
අදාළ ලිපියේ දැක්වෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා රජය විසින් සම්මත කරගත් හදිසි නීති රෙගුලාසි මෙරට හමුදා පාලනයක් කරා යොමු කෙරෙන බවයි.
එවැනි තත්ත්වයන් මීට පෙරද මෙරට අත්දැකීමට හැකිවුණා. මේ නිසා මේ මස අවසානයේ එහි වලංගු කාලසීමාව අවසන්වීමට ඉඩ හැරියොත් මිස මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීමට එමඟින් බලපෑම් ඇති කළ හැකියි.
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එය දීර්ඝ කළහොත් අදහස් ප්‍රකාශ කිරීමේ සහ එක්රැස්වීමේ නිදහස ඇතුළු මිනිස් අයිතිවාසිකම් පහසුවෙන් උල්ලංඝනය කිරීමට අදාළ රෙගුලාසි යොදාගත හැකි බවයි මන්ත්‍රීවරයා විසින් යොමුකළ ලිපියේ දැක්වෙන්නේ.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 48 වන සැසිවාරය ලබන 13 වැනිදා ආරම්භ වන අතර, එය ඉලක්ක කරගෙනයි අදාළ ලිපිය යොමුකර ඇත්තේ.
මෙම සැසිවාරයේදී ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කළ වාචික කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිතයි.
මේ අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ හිටපු කොමසාරිස්, මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අත්‍යවශ්‍ය රෙගුලාසි හරහා රටේ ඇතැම් පිරිස් වැරදි වැටහීමක සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ පාර්ශවයන් ජාත්‍යන්තරයට කරුණු පැහැදිලි කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.