පළාත් පාලන ආයතන 341කට ලක්ෂ 100 බැගින් වෙන් කරන මුදල් අධ්‍යාපන ඇමතිවරයා හරහා එම මිලියන 3410න් පාසල් 3410කට සුහුරු පන්ති කාමර 3410ක් ස්ථාපිත කළ හැකි බවත් එවැනි වැදගත් වැඩපිළිවෙළකට යොමු වීම රට බංකොලොත්භාවයෙන් මිදීමට හේතුවක් බවත් එම මුදල් ජාතික වැදගත්කමින් යුත් වැඩපිළිවෙළක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)
එසේම පාසල් දරුවන්ට ලබා දෙන ආහාර වේල සෑම දරුවකුටම ලබා දිය යුතු බවත් බෙදීමකින් තොරව එම ආහාර වේල ලබා දිය යුතු බවත් එය දරුවන්ගේ මානසික තත්ත්වයට බලපෑමක් සිදු කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.
දැරියන්ට සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන්නේ කවදාද?
දැරියන්ගේ සනීපාරක්ෂක ක්ෂේත්‍රය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කිරිමට නියමිත වැඩපිළිවෙළ සමස්ත කාන්තා පරපුර වෙනුවෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් දැරියන්ට එම සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන දිනය සම්බන්ධයෙන් දැනුවත් වීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මෙරට අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු යි
අධ්‍යාපනය දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් බවත් රට තුළ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පැවැතියත් මෙරට සමස්ත දූදරුවන්ට එක හා සමාන උසස් ප්‍රමිතියකින් යුතුව අධ්‍යාපනය හදාරන්න අවස්ථාවක් නොමැති නිසා මෙරට අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.
යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ සඳහන් යෝජනා වසර 10ක් තුළ සිදු කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වුවත් මෙම කාලය දීර්ඝ බැවින් මෙම යෝජනා නිවැරදි නම් අඩුපාඩු මඟහරවා ගෙන ඉදිරි වසර 2-3 තුළ ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලෝකයේ ඉදිරි වසරවල බිහි වන නව රැකියාවන්ට යොමු කිරිම සඳහා ජාතික අධ්‍යාපනය වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර ඇත්නම් ඒ සම්බන්ධ පියවර කවරේද විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ පාසල්වල ඇති මානව හා භෞතික ගැටලු විසඳීමට රජය ගැනීමට නියමිත පියවර කවරේද? කියාය.
අප රටේ පෙරපාසල් අධ්‍යාපනය විධිමත් නියාමනයකට ලක්විය යුතුයි
බොහෝ ළමා වෛද්‍ය විශේෂඥයන්ට අනුව ඉපදුනු දිනයේ සිට වයස අවුරුදු 5ක කාලය තුළ 70%ක් මොළය වර්ධනය වුවත් මේ කාලයේ අප රටේ ඇති පෙරපාසල් අධ්‍යාපනය විධිමත් නියාමනයකට සහ තත්ත්ව පාලනයකට නතුවිය යුතු බවත් ඒ වෙනුවෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේම 2023 ලොව ජය ගත් නව තාක්ෂණ ක්‍රමවේද රැසක් ඇති බවත් මේ ක්‍රමවේද අප රටේ නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙනුම ලබන පාසල් සිසුන්ට මේ නව තාක්ෂණ දැනුම නොමැති බවත් අප රටේ ඇත්තේ ඛේදනීය තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.