දඬුවම යන වදන බොහෝ දෙනෙකු ඇසීමට අකැමැතිය. ‘දඬුවම’ යන්නෙන් ගම්‍ය වන්නේ සෞම්‍ය, හිතවත් අදහසක් නොවේ. අප ශාස්තෘවරයාණන් වහන්සේද දඬුවම පිළිබඳ බොහෝ අදහස් දක්වා ඇත්තාහ. දඬුවමක් ලැබීමට නම් යම් කිසි වරදක් හෝ නොහොබිනා දෙයක් යමෙකු සිදුකළ යුතුය. අතීතයේ සිට මිනිසාගෙන් නොයෙකුත් කායික වැරැදි සිදුවී ඇති බව නොරහසකි. වැරැද්ද බොහෝ විට සංස්කෘතිය තීරණය කරනු ලැබේ. මන්ද එක් සමාජයකින් වැරැදි යැයි හඟින සංකල්පයක් තවත් සංස්කෘතියක් මගින් උසස් කොට සැලකිය හැකිය. කෙසේ නමුත් රාජ්‍ය පාලනයේදී එසේත් නැත්නම් රටක සාමාන්‍ය නීතියේදී වැරැද්දට දඬුවම් ලබාදී ඇත. එය මූල්‍යමය වශයෙන් හෝ ශාරීරික (ශ්‍රමය) වශයෙන් හෝ ගෙවාදැමිය යුතුය.
මේ පිළිබඳ මැනවින් තොරතුරු අන්තර්ගත පැරැණි සාක්ෂ්‍යයක් ලෙසින් ‘වේවැල්කැටිය ලිපිය’ නම් කළ හැකිය. මේ මගින් අතීත ලංකාවේ සමාජ ස්වභාවය හා දඬුවම් ක්‍රමය පිළිබඳ අදහසක් ඇත. එහි ඇත්තේ ග්‍රාමීය පාලනය පිළිබඳයි. පැරණි රාජ්‍ය පාලනය ගත්කල්හි පාලන තන්ත්‍රයේ මුලසුන රජු හෙබවූවත් ග්‍රාමීය පාලනයක්ද තිබූ බව පැහැදිලි වෙයි. රටට හිතපක්ෂ තීන්දු රජු ගත් අතර ආක්‍රමණවලින් රට ආරක්ෂා කිරීම, රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කිරීම, වාරිකර්මාන්තය නගාසිටුවීම, බෞද්ධාගම ආරක්ෂා කිරීම ආදී දෑ රජුගෙන් මහජනයා අපේක්ෂා කර ඇත. ග්‍රාමීය වශයෙන් ගත් කල්හි සිරිත් විරිත් ආරක්ෂා කිරීම, සාරධර්ම සුරැකීම ආදියත් රජයට අයවිය යුතු බදු මුදල් එකතු කිරීම සඳහාත් වගකිවයුත්තන් පත්කර ඇත. ‘ගමික’ නමින් වූ ගම් ප්‍රධානියකු ගැන බොහෝ සෙල්ලිපිවලින් තොරතුරු හමුවන්නේ මෙකී තැනැත්තා පිළිබඳයි.
වේවැල්කැටිය ලිපිය මගින් ගම් දහයක එකතුවක එකී නායකයන් එක්ව ‘කිබිගම්’ නායකයන් හා ‘විහාරගම්’ නායකයන්ද එක්ව අපරාධ කරන්නන්ට කෙසේ දඬුවම් පැමිණවිය යුතුදැයි කතිකා කොට ගත් ක්‍රියාමාර්ග රාශියක් හඳුනාගත හැකිය. එහි ව්‍යවස්ථාවේ එන පරිදි කිසිවෙක් තවත් අයකු කඩුවෙන් කොටා මැරුවහොත් හෝ මැරෙන්නට කෙටුවහොත්, කඩ පලා සොරකම් කළහොත් එසේත් නැත්නම් මංකොල්ලකෑම් සිදුකළහොත් එවැනි දේ කළ තැනැත්තාව අල්ලා බැඳ දසගම් මුලාදෑනීන් ඒකරාශී වී කරුණු විමසා බලා එවැනි මිනීමැරුම් කළ තැනැත්තාට මරණීය දඬුවම ලබාදී ගැටලුව සංසිඳුවිය යුතුය.
මංකොල්ලකෑම් ආදිය සිදුවුවහොත් එසේ මංකොල්ලකරුවන් පැහැරගන්නා ලද ධනයේ වටිනාකම නිශ්චය කොට ධනයේ අයිතිකරුවාට එකී ධනයේ වටිනාකම ලබාදී සොරුන් අල්ලාගැනීමට නොහැකි වුවහොත් දසගම් මුලාදෑනීන් දවස් 45ක් ඇතුළත සොරුන් අල්ලා අදාළ වැරැද්ද නිශ්චය කොට දඬුවම් ලබාදී සමථයකට පත්කළ යුතුය. එසේ අල්ලාගැනීමට නොහැකි වන්නේ නම් අදාළ දසගම් පාලකයන් කහවණු 125ක දඩයක් රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙවිය යුතුය. සොරුන් නොමැරෙන සේ දඬුවම් කළේ වී නම් ජීවිත මිල වශයෙන් කහවණු පනහක් ගෙවිය යුතුය. එය යම් හෙයකින් ගෙවීමට අපහසු වන්නේ නම් ඔහු ජීවත් වන නිවෙස ගත යුතුවේ. සොරා අල්ලා සිරගත කිරීම නොකළහොත් දසගමින් කහවණු 50ක් රාජ්‍ය භාණ්ඩාගාරයට දිය යුතුවේ.
යම් පුද්ගලයෙක් අපරාධකරුට, මංකොල්ලකරුට උපකාර පිණිස ගියේ වී නම් එකී තැනැත්තාට රන් කහවණු පනහක දඩයක් ගසනු ලැබේ. දඩය ගෙවාගැනීමට ඔහුට නොහැකි වන්නේ නම් ඔහු ජීවත් වන නිවෙස රජයට පවරාගත යුතුවේ. ඔහුට අයත් නිවෙසක් නොමැති වී නම් ඔහුගේ අත් පා කපා විනිශ්චය කළ යුතුය. ලැබෙන සුළු දඩ ගෙවීම් වී නම් එකී දඩ මුදල් පූර්වචාරිත්‍ර පරිදි දසගම්ලද්දන් විසින් හා පමුණුවන් විසින් සමසේ බෙදාගත යුතුවේ.
කිසියම් හේතුවක් මත මීගවයන්, ගවයන්, එළුවන් යන මොවුන් නොමැරිය යුතුය. එසේ මරණයට පත් කළේ නම් එකී තැනැත්තා අල්ලා ඔහුද මරණයට පත් කළ යුතුය. මීගවයන්, ගවයන්, එළුවන් ආදී සතුන් නොමරා සොරකම් කොට ගෙන ගියේ වීනම් ඔවුන් සොරුන් ලෙසින් හැඳිනගෙන ඔවුන්ගේ කිහිලිවල ඔවුන් සොරුන් බව ‘සංඥා සලකුණු’ තැබිය යුතුය. සොරුන් එකී දඬුවම සඳහා ඉදිරිපත් නොවන්නේ නම් ආයුධවලින් කොටා දමා වැරැද්ද සංසිඳවිය යුතුය. රාජාඥාව ඉක්මවා යන්නන් වී නම් ගිනියම් කළ යකඩ සපත්තුව මත සිටුවා තැබිය යුතුය. අවමංගල්‍ය කටයුතු සිදුකිරීමේදී තම තමන්ගේ කුලයට අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍ර අනුව ඒවා ඉටු කළ යුතුවේ.
මීට අමතරව වැරැදි කරන්නන්ට දඩගැසීමේ ක්‍රමවේදයක්ද අතීතයේ මෙහි පැවත ඇත. විශේෂයෙන්ම බදුලු ටැම්ලිපියෙන් එකී කරුණ සඳහා සාක්ෂ්‍ය ලැබේ. දඩ ගැනීමේදී ඊට උචිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව එහි දැක්වේ. බොහෝ විට මෙකී දඩගැසීම් සිදුකොට ඇත්තේ වෙළෙඳාම සම්බන්ධයෙනි. නොමනා ක්‍රියාකාරකම් එකලද අඩුවක් නැතිව සිදුවී ඇති අතර එසේ නොහොබිනා වෙළෙඳාම් කළ පිරිස් හට දඩ මුදල්වලට යටත් වීමට සිදුව ඇත.
කළ වැරැද්දේ ස්වභාවය අනුව දඬුවම් ලබා දීම සිදු වී ඇති බව පෙනේ. එහෙත් ඒ ලබාදෙන දඬුවම සමහර අවස්ථාවල භයංකර තත්ත්වයක් පෙන්නුම් කරන්නේ වැරැද්ද කරන තැනැත්තා මරණයට වුව පත් කළ හැකි නිසාය. මෙවැනි කෲර දඬුවම් ක්‍රම නිසා බොහෝ දෙනකු දඬුවමට බිය වී වැරැදි කිරීමෙන් වළකින්නට ඇත. වැරැද්දට දඬුවම් ලබාදීමේදී එකී දඬුවමේ ස්වභාවය කලින් කලට වෙනස් වන බව හඳුනාගත හැකි ප්‍රකට ලක්ෂණයකි.
පැරැණි දඬුවම් ක්‍රම ගත් කල්හි මරණයට පත්කිරීම අතිබිහිසුණු තීන්දුව වූ අතර එසේ මරණයට පත් කරන ක්‍රම ද කිහිපයක් ඇත. ශරීර අඟපසඟ කපා මරණයට පත්කිරීම, උල හිඳුවීම, හිස ගසාදැමීම ආදීදෑ සිදුවී තිබේ. එසේම මරණයට පත් නොකොට ශරීර අවයව කපා දැමීම ද සිදුව තිබේ. කස පහර දෙවීම, සිරකර තැබීම, දඬුකඳේ ගැසීම ආදී දඬුවම් ක්‍රමද නොඅඩුව එකල තිබී ඇත. මේ සෑම දඬුවමක්ම මිනිසාට අහිතකරය. දඬුවමට පවතින බිය නිසා වැරැදි කරන පුද්ගලයන් අවම වන්නටද ඇත.
පදියතලාවේ ඥාණවිමල හිමි











