◼️ ඒවා අමුලික බොරු…
◼️ හිතට හරියන කෙනා තාම හම්බවෙලා නැහැ…
‘හිරු’ රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වන ‘දිවි තුරා’ ටෙලිය බොහෝ දෙනෙකු අතර අසීමිත ජනප්‍රියත්වයට බඳුන්ව තිබෙනවා. සොඳුරු රුවැත්තියක වූ ඔනාලි සංජනාගමාරච්චිද එහි ප්‍රධාන චරිත නිරූපණයක් හරහා ප්‍රේක්‍ෂක සිත්සතන් වෙත සමීපව සිටිනවා කිවුවොත් එය නිබොරුවකි. සංජනා අඳින, පළඳින විදියට වාගෙම කතාබහ කරන හුරතල් ආකාරයටත් තරුණ කොල්ලන් වාගෙම කෙල්ලන්ද හරිම කැමැතිය. විවාහ යෝජනාවන් සඳහාද සංජනාට ආරාධනා ලැබෙනවාය කියලත් කණින් කොණින් ආරංචිය. ඔය කියන ආරංචි හැම එකම ඇත්තද ඉතින්, කියන්නට දන්නේ නැත. කොයික, කෙසේ වුවද ‘ඔනාලි සංජනා ගමාරච්චි’ට මෙවර මව්රට ‘හාට්’ විශේෂාංගය තුළ ඉඩක් වෙන් කරන්නට අපට හිතුණා. ඒ සිතුවිල්ල මුදුන්පත් කරවමින් සංජනා අප සමග බොහොම සුහදව, නිහතමානීව එක්වුණා.
🔴 අලුත් තොරතුරු එහෙම කොහොමද සංජනා..?
වරදක් නැහැ… සතුටින් ඉන්නවා. කොරෝනා උවදුර මැද රූගත කිරීම්වලටද සහභාගි වෙනවා.
🔴 රූගත කිරීම් කිව්වේ ‘දිවිතුරා’ ටෙලි ඩ්‍රාමා එකේද?
ඔව්… ‘දිවිතුරා’ ටෙලි එකේ රූගත කිරීම් කඩින්කඩ සිද්ධ වෙනවා. සෞඛ්‍ය නීති මැද එයට පරෙස්සමෙන් සහභාගි වෙනවා.
🔴 අලුත් නිර්මාණ සඳහා ඇරැයුම් ලැබුණු බව ආරංචියි..?
ඔව්… තවමත් නමක් තබා නැති ටෙලි නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලයි තියෙන්නෙ. කොරෝනාවෙහි තද අවදානම සමතයකට පත්වූ වහාම ඒ සඳහා දින වකවානු ලැබෙන්නට ගනීවි.
🔴 තිරපිටපත අතට ලැබුණම ඔබ එහි යම් කරුණු ගැන සැලකිලිමත් වෙනවලු?
ඔව්… ලැබෙන්නෙම යොවුන් වියේ දඟකාර චරිත නිරූපණයන්. ඉතින් ඒ ඒ චරිතවල ඇඳුම්, පැළඳුම් සහ සමහර දර්ශන ගැන ටිකක් හිතන්න වෙනවා.
🔴 ගෙදර කට්ටියටත් තිර පිටපත පෙන්නලා අදහස් ගන්නෙ ඒ නිසාද?
හැමවිටම මම පවුලේ අයගේ අදහස් ගැන විමසිලිමත් වෙනවා. එයාලා අදාළ චරිතය ගැන කියන්නේ මොනවාදැයි කියන කාරණය මට ඇත්තෙන්ම හරි වැදගත්.
🔴 ඔබේ පෙම්වතාගේ අදහස් එතැනට වැදගත් නැතිද සංජනා..?
ගොසිප් එකක් හොයා ගන්න නේද ඔයාලා ඔය ඉව අල්ලන්නේ, පැහැදිලි උත්තරය නම්… මට තවම පෙම්වතෙක් නැහැයි කියන එකයි.
🔴 පෙම් සබඳතා සඳහා ඔබට ලැබෙන ඇරැයුම් අසීමාන්තිකයිලු?
ඒක නම් අමූලික බොරු… අසීමාන්තිකව නම් එහෙම යෝජනා එන්නේ නැහැ. සාමාන්‍ය විදියට යෝජනා කිහිපයක් ආවා. හැබැයි මම ඒ ගැන උනන්දු වුණේ නැහැ තවම.
🔴 විවාහ යෝජනා අරගෙන ගෙදරට ආව අයත් ඉන්නවලු නේද සංජනා?
ඔව්… එහෙම දේවල් ඉතින් ඕනෑම තරුණ නිළියකට සිද්ධ වෙනවා. ඒක මහා ලොකු දෙයක් නෙවෙයි මං හිතන්නෙ.
🔴 ඒ එක විවාහ යෝජනාවකටවත් ඔබේ හිත ගියේ නැතිද තවම?
නැහැ… තවම මම එහෙම දේවල් ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. විවාහය සඳහා කෙනෙකු තෝරා ගැනීම ටෙලිනාට්‍යයක ගිවිසුමක් අස්සන් කරන තාලයට කරන්න බැහැනෙ. අවැසි කාලයට මට හිමි කෙනා පැමිණේවි. ඒ නිසා ඒ කාරණය ගැන ඕනෑවට වඩා ඔළුවට ගන්නෙ නැහැ.
🔴 ‘පළමු පෙම’ අහිමිව ගිය නිසා ඔබ පෙම් සබඳතාවලට බයයි දැයි ඇහුවොත්?
පළමු පෙම මා හැරගිය කාරණය ශෝකාන්තයක් තමයි. හැබැයි මම නැවැත එවැන්නකට මැදි නොවන්නට එය හේතුවක් නෙවෙයි. මම හිතන්නෙ මගේ හිතට හරි යන අය මට තවම මුණගැහුණෙ නැහැ.
🔴 පළමු පෙම ඔබව හැර ගියේ ඔබ රංගනයට අවතීර්ණ වූ හේතුවටද?
මම හිතන්නේ අපි ඔය කාරණයට දැන් තිත තිබ්බොත් හොඳයි කියලයි. මම ඒ හැමදේම අතීතයට බාර දී අවසානයි.
🔴 හැමදාමත් ඔබට ලැබෙන්නෙ දඟකාර යොවුන් චරිත, වෙනසකට කැමැති නැතුවද?
වෙනසක් සිදුවන තුරු පුලපුලා බලා ඉන්නවා. තරමක් හෝ සංකීර්ණ චරිතයක් සඳහා යම් නිර්මාණකරුවකු මට ආරාධනය කරන තුරු මම බලා සිටින්නේ නොඉවසිලිමත් ආශාවකින්.
🔴 ඒ සංකීර්ණ චරිත ස්වභාවය කෙසේ විය යුතු දැයි යන රූපයක් ඔබේ යටි හිතේ ඇඳී තියෙනවද?
සංකීර්ණ චරිත කිහිපයකම රූප රාමු මා සතුව තිබෙනවා. එයින් එකක් වන්නේ රැඩිකල් විදියට හිතන, පතන සරල කෙල්ලකගේ ගුප්ත ස්වභාවයක චරිතයක්.
🔴 එවැන්නකට කැමැති හේතුවක් තියෙනවද?
මෙහෙමයි… සාමාන්‍ය චරිතයනට වැඩිය යම් අසාමාන්‍ය චරිතයනට ප්‍රේක්‍ෂකයන් හරි ඉක්මනට සමීප වෙනවා. ටෙලිනාට්‍යය විකාශනය වී කාලයක් ගියත් ඒ චරිත ඔවුනට මතක හිටිනවා. මට හිතෙන හැටියට නළුවෙකුට හෝ නිළියකට යම් ප්‍රතිරූපයක් දිගුකාලීනව හදා ගන්නට යම් සංකීර්ණ චරිත ස්වභාවයක්ද අවශ්‍යයයි. මොකද… අපි කවුරු වුණත් වෙනසකට ඇල්මක් දක්වන නිසයි.
– දමයන්ති රේණුකා ප්‍රනාන්දු











