පාප ග්‍රහයෙක් අසුබ ග්‍රහයෙක් විදිහට හිතන්නයි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ. ඇත්තම කිව්වොත් ගොඩාක් ජනතාව මේ කාරණය ගැන හරි අවබෝධයක් නැතිව නිකරුණේ බයවෙලාද කියලත් හිතෙනවා. ජ්‍යොතිෂය ගැන යන්තමින් එහෙන් මෙහෙන් දැනගන්තාම තමන්ගෙ පාප ග්‍රහයෝ ගැනත් ඒ විදිහට යන්තමින් දැනගෙන නිකරුණේ බයවෙන අවස්ථා තමයි වැඩිපුරම දකින්න තියෙන්නෙ. එනිසා ඔබ පාප ග්‍රහයෝ ගැන ටිකක් හොඳින් දැන සිටීම වැදගත් කියලා හිතෙනවා.
ජ්‍යොතිෂයේදී නෛසර්ගික පාප ග්‍රහයන් විදිහට හඳුන්වන රවි, කුජ, ශනි, රාහු, කේතු වැනි ග්‍රහයන් තමන්ගේ දශා කාලය තුළදී අපට යහපත උදාකරලා දෙන අවස්ථාද හමුවෙනවා. එසේ වන්නේ ඒ ඒ ජන්ම පත්‍රවලදී ඒ ඒ ග්‍රහයන්ට හිමිවන රාශි අධිපතිත්වය නිසයි.
මේෂ ලග්න ජන්ම පත්‍රයක රවි ග්‍රහයාට හිමිවන්නේ පස්වැනි රාශියයි. පස්වැන්න ත්‍රිකෝණ ස්ථානයක් හැටියටයි සලකන්නේ. ත්‍රිකෝණ ස්ථානයක් කියන්නේ ජන්මියාට සුබපල ගෙනත් දෙන තැනක්. මේෂ ලග්න හිමියාට පස්වැන්න අධිපති තමයි රවි. එනිසා උපතින්ම පාපියෙක් හැටියට සලකන රවි මේෂ ලග්න හිමියාට පාපියෙක් නෙවෙයි. රවිගේ දශා අතුරු දශාවලදී මේෂ ලග්න හිමියාට ලැබෙන්නේ සුබපලයි.
ජන්ම පත්‍රයක 1, 4, 7, 10 කේන්ද්‍ර ස්ථාන ලෙස හඳුන්වනවා. කේන්ද්‍ර ස්ථානයක් පාප ග්‍රහයකුට අයිති වෙනවා නම් එම ග්‍රහයා එම ජන්ම පත්‍රයට සුබ ග්‍රහයෙක් හැටියට ක්‍රියා කරනවා. මේ අනුව වෘෂභ ලග්න හිමියාගේ හතර වැන්න වන සිංහ රාශිය, රවිට අයත් නිසා රවි, වෘෂභ ලග්නයට සුබ ග්‍රහයෙක් වෙනවා.
ජන්ම පත්‍රයක 1, 5, 9 ස්ථාන ත්‍රිකෝණ ස්ථාන ලෙස හඳුන්වනවා. කේන්ද්‍රස්ථානයකත් ත්‍රිකෝණස්ථානයකත් අයිතිය එකම ග්‍රහයකුට අයිති වෙනවා නම් එම ග්‍රහයා යෝගකාරකයා වශයෙන් හඳුන්වනවා. යෝගකාරක ග්‍රහයා කේන්දර හිමියාට සුබපල ගෙනැත් දෙන බවත් පැවසෙනවා. පාප ග්‍රහයන් අතරින් සෙනසුරු ග්‍රහයා ඒරාෂ්ටක පවා ගෙනදෙන ප්‍රබල පාප ග්‍රහයකු හැටියටයි සලකන්නේ. ඒත් වෘෂභ ලග්න කේන්දරයක ත්‍රිකෝණස්ථානය වන නව වැන්න වන මකර රාශියත් කේන්ද්‍රස්ථානයක් වන 10 වැන් වන කුම්භ රාශියත් යන ස්ථාන දෙකම අයිති වන්නේ සෙනසුරුටයි. ඉතින් වෘෂභ ලග්න කේන්දරයක සෙනසුරු යෝගකාරකයා වෙමින් හැකි සෑම විටකම ජන්මියාට සුබපල ලබාදීමට කටයුතු කරනවා.
මිථුන ලග්න හිමියාට සෙනසුරු සුබපල ගෙන දෙන්නේ නැහැ. ඒ දෘෂ්ටි ස්ථානයක් වූ අටවැන්නේ අධිපතිකම දැරීම නිසයි. කටක ලග්න හිමියාගේ ත්‍රිකෝණස්ථානයක් වූ පස්වැන්නත්, කේන්ද්‍රස්ථානයක් වූ 10 වැන්නත් අයිති වන්නේ කුජ ග්‍රහයාටයි. මේ අනුව උපතින්ම පාපියකු වූ කුජ කටක ලග්න හිමියාට සුබපල ගෙනත් දීමට ක්‍රියා කරනවා.
සිංහ ලග්නයේදී කුජ ග්‍රහයාට කේන්ද්‍රස්ථානයක් වූ හතර වැන්නත්, ත්‍රිකෝණස්ථානයක් වූ නව වැන්නත් අයිති වෙනවා. මේ අනුව උපතින්ම පාප ග්‍රහයකු හැටියට සලකන කුජ සිංහ ලග්න හිමියන්ට සුබපල ලබා දෙනවා. කන්‍යා ලග්නයේදී මේ කුජ ග්‍රහයාට අටවැන්න අධිපතිකම ලැබීම නිසා ක්‍රියා කරන්නෙ පාපියකු හැටියටයි.
තුලා ලග්න හිමියන්ටත් සෙනසුරු සුබපල ගෙනැත් දෙන්න බලනවා. තුලා ලග්න කේන්දරයේ හතරවැන්න වූ මකර රාශියත් ත්‍රිකෝණස්ථානයක් වූ පස්වැන්න වන කුම්භ රාශියත් යන දෙකම අයිති වන්නේ සෙනසුරුටයි. එනිසා ඔවුන්ටත් සුබපල උදාකරනවා. වෘශ්චික ලග්න කේන්දරවලද හතර වැන්න අධිපතිකම දැරීම නිසා සෙනසුරු සුබපල ගෙනදෙන්නකු ලෙස ක්‍රියා කරනවා.
ධනු ලග්න හිමියාට රවි නව වැන්න අධිපතිකම දැරීම නිසා සුබපල ගෙනදෙනවා. මකර ලග්න කේන්දරයේ රවිට හිමිවන්නේ අට අධිපතිකම නිසා සුබපල ගෙනදෙන්න පුළුවන්කමක් නැහැ. කුජ ග්‍රහයා මකර ලග්න හිමියාට සුබපල උදාකරන්න බලන්නේ හතර වැන්න අධිපතිකම නිසයි. කුම්භ ලග්නයේදී කුජ ග්‍රහයා සුබපල උදාකරන්නේ 10 වැන්නේ අයිතිය නිසයි. ඒ වගේම මීන ලග්නයේදී නව වැන්නේ අධිපතිකම නිසාත්, සුබපල ගෙනදීමට ක්‍රියා කරනවා.
මෙයින් තේරුම්ගත යුතු වන්නේ අසුබ ග්‍රහයකුගේ දශාවක්, අතුරු දශාවක් ආදිය ගෙවෙනකොට හොඳ නෑ අසුබයි කියලා නොසිට ඒ ඒ ග්‍රහයන්ගේ සුබ කාල දැනගෙන තමන්ගේ වාසනාව උදාකර ගැනීමට උත්සාහ කිරීමයි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර











