තුරුලතා සුරකීමේ සහ වැවීමේ සංස්කෘතියක් සමාජය තුළ නිර්මාණය කිරීමේ අරමුණින් පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකා පරිසර අමාත්‍යාංශය, ජාතික රූපවාහිනය සහ ඩයලොග් ආයතනයේ සහයෝගීත්වයෙන් යුතුව අලුත් අවරුදු උලෙළට සමාගාමීව ‘නැතකට පැළ සිටුවීමේ’ ජාතික වැඩසටහන ‘හුස්ම දෙන තුරු’ ව්‍යාපෘතිය යටතේ දියත් කිරීමට කටයුතු යොදා ඇත. මේ යටතේ පැළ සිටුවීමේ නැකත අප්‍රේල් මස 16 වන දින පෙ.ව. 6.41ට එළඹෙන සුබ මොහොතින් උදාවේ.
දිනෙන් දින ලංකාව තුළ පරිසර විනාශය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇත්තේ උණුසුම් තත්ත්වයකි. මෙම තත්ත්වය හමුවේ පරිසර අමාත්‍යාංශය මගින් මෙරට වන ඝනත්වය 30%ක් දක්වා වර්ධනය කිරීමේ සුපසන් අදහස ඇතිව “හුස්ම දෙන තුරු” නම් ව්‍යාපෘතිය දියත් කිරීමට යොමුවීම කාලීන අවශ්‍යතාවයකි. එමගින් දිනෙන් දින වර්ධනය වන පාරිසරික කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩු කර නිරෝගී, වාසයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම මූලික අරමුණ වේ. පැළ සිටුවීම සහ තුරුවැල් ආරක්ෂා කිරීම පාරම්පරික ජනතාවගේ සංස්කෘතියක් වුවද වර්තමානයේදී එය අප සැමගේ දිවියේ සංස්කෘතියෙන් ඉවතට ගොස් ඇත. මෙය නැවත අපගේ ජනතාවගේ දිවියට එක් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය මගින් ‘හුස්ම දෙන තුරු’ ව්‍යාපෘතිය යටතේ, සමස්ත ලාංකීය ජනතාවගේම සංස්කෘතිය උළෙලක් වන සිංහල හින්දු අලුත් අවුරුද්ද කේන්ද්‍ර කර ගනිමින් නැතකට පැළයක් සිටුවීමේ චාරිත්‍රයක් හඳුන්වා දීමට යොමුව ඇත.











