හස්ත රේඛා සලකුණු විවිධාකාරයෙන් මිනිසාට බලපායි. ඒ අනුව කාන්තාවන්ගේ වම් අතේ මසුන්ගේ ආකාරයට සලකුණු තිබේ. පුරුෂයන්ගේ පිහිටන්නේ දකුණු අත්වලය. කාන්තාවන්ගේ අත්ලේ පිහිටනු ලබන රේඛා නොයෙක් දේ අපට පෙන්නුම් කරයි. මෙනයින් බලන කල මෙලොව ජීවිතයද ඒ වගේම මරණයද පෙන්නුම් කරයි. තවද ලාභ-අලාභ සුවය, දුකද මේ සියල්ලම අපූරුවට අත්ලේ දිගහැරේ.
යම්කිසි ලලනාවක් විශාල ධනවතියක් බවට පත්වන්නේ අත්ලේ මැද කොටසේ ඇතුළතට විහිදුණු මුඛය ඇති සම්පූර්ණ මසුන් දෙදෙනකුගේ රූප සටහන් රේඛා තුළින් දිස්වේ නම් පමණි. එහෙත් එවැනි ලලනාවන් අන් අය හට තමන්ගේ ධනය නොදේ. ලලනාවකගේ අතේ මී පැණි බිඳු මෙන් රේඛා විහිදී යයි නම් ඇය සුඛිත මුදිත බවට පත්වෙයි. එසේම අතේ රේඛාවන් රතු පැහැයෙන් යුක්ත වේ නම් ගැඹුරු බව පෙන්වන අතර, භාග්‍යවන්ත බවද පිළිබිඹු කරයි. ලලනාවන්ගේ අතේ ඇති සියුම් මටසිලුටු රේඛාවන්ගෙන් පෙන්නුම් කරන්නේ ඇයගේ බුද්ධිමත්භාවයයි. ඇයගේ අත්ලේ රේඛාවන්ගේ කෙළවර මුල් මෙන් දිස් වේ නම් ඇය ඇත්ත වශයෙන්ම ධෛර්යවන්තියක් වන්නේය. එසේම ශෝභාමත් රූප සෞන්දර්ය ඇති කරයි. තවද ලලනාවන්ගේ අත්වල පිහිටන රේඛා අසුබ ලක්‍ෂණද ගෙන හැර දක්වයි. සමහර විට රේඛාවල කළු පැහැය, කොළ පැහැය, රළු බව, වික්‍ෂිප්ත වර්ණ බව, පැළුණු හැඩ, පරුෂ බව වගේම විෂම බව කැඩුණු පැතිරුණු ස්වභාවය අසුබ ලක්‍ෂණ වශයෙන් වර්ග කර දැක්විය හැකිය. ඇයට දුක නිතරම උරුමවන්නේ නම් කොඳුවලින් සමන්විත ශාඛා අතු ඉති බඳු රේඛා දක්නට ලැබේ. එවන් රේඛා ඇති ලලනාවිය දුකටම පත්වෙයි. ඇයගේ අත්ලේ තැනින් තැන කැඩුණු රේඛා පෙන්වයි. එය ඇයට මරණය ළඟාවන බව මැනවින් පෙන්වයි. ඇය සතු ධනය, වස්තුව නසන්නේ විෂම වූ රේඛා ඇතිතෙක් පමණයි. පරුෂ රේඛා ලලනාවන්ගේ කුල ගොත, ධනය, ආයුෂ තීරණය කිරීමටද බලපායි. ඇයගේ අල්ලේ මුළුමනින්ම විහිදුණු මහපටැඟිල්ල සහ දබරැඟිල්ල අතරින් විහිදෙන රේඛා තුනකින් එය තීරණය කිරීමට හැකිය. කැඩී ගිය රේඛාවලින් හඳුන්වන්නේ අඩු කාලය, ස්වල්ප වූ ධනය හා ආයුෂ ප්‍රමාණයයි. එසේම විපරිත දික් වූ රේඛාවලින් එයට හාත්පසින්ම වෙනස් වූ ගති ලක්‍ෂණ හඟවයි. බොහෝ නෑ සබඳකම් ඇත්තන්ට මැණික්කටුවේ සිට දඹරැඟිල්ල මුලට රේඛාවක් විහිදේ. එයින් ඒ බව තීරණය කරයි. කැඩුණු රේඛාවකින් පෙන්වන්නේ නෑ සබඳකම් පලුදු කරගත් බවයි. සමහර අයට කෙටි රේඛා පිහිටයි. එයින් කියැවෙන්නේ ස්වල්ප වශයෙන් නෑදෑයන් ඇති බව පෙන්වීමයි. පිරිපුන් රේඛාවන් දිස්වන්නේ නම් හැඟෙන්නේ හොඳට පිරිපුන් නෑදෑයන් ඇති බවයි. යමෙකුගේ සුළැඟිල්ලේ මුල සිට රේඛාවක් වෙදඟිල්ල ඉක්මවා යන්නේ නම් සියවසක් ජීවත් වීමේ වාසනාව ඒ ලලනාවට ලැබීමේ වාසනාව ඇත. එමෙන්ම ජීවන රේඛාව කැඩී තිබුණත් ස්ථිර ස්වභාවයක් වේ නම් මරණය සියවසක් යනතුරු සිදු නොවේ. සුළඟිල්ලේ සිට දබරැඟිල්ල දක්වා රේඛාවක් විහිදුනහොත් වර්ෂ සියයක් සම්පූර්ණ කිරීමට ලලනාවකට හිමිකම් ලැබෙනු ඇත.
ජ්‍යොතිෂවේදී හේමපාල පතිරණ











