මෙරට ලන්දේසි පාලන යුගය වූ කලී තරමක් අමුතු නීති පනවා තිබූ කාලවකවානුවක් සේ හඳුන්වාදිය හැකිය. එහෙයින් ලන්දේසීන් විසින් පැනවූ එවැනි නීති අතර කුරුඳු වගාව තම බලතල යටතේම තබා ගැනීමට පැනවූ නීතිද රාශියක් වෙති. ඒ අතරින් කුරුඳු වගාව කාගේ ඉඩමක තිබුණද එම වගාවේ සම්පූර්ණ අයිතිය රජය සතු බවට ලන්දේසීන් පැනවූ නීතියත්, කුරුඳු ගස් හෝ පැළ කැපීම මරණ දඬුවමට යටත් වන වරදක් බවට පත්කිරීමත් විශේෂ වෙයි. මේ තත්ත්වය මත යම් ඉඩමක අහඹු ලෙස හෝ කුරුඳු පැළයක් හටගැනීම ඉඩම විකිණීමේදී වටිනාකම අඩු වීමට සාධකයක් විය. පසුකාලීනව ඇතිවූ දැවැන්ත විරෝධය මත මෙම නීති ලිහිල් කෙරුණු අතර තම කැමැත්ත මත කුරුඳු ව්‍යාපාරයට එක්වීමටද, ඉවත් වීමටද අවසර හිමිවිය.











