කරන්නම් වාලෙ කරන වැඩක් නෙමෙයි මේක…
රේඩියෝවේ මේ වන විට වෙබ් නාලිකා හරහා නාලිකා රැසක් බිහිවෙලා තිබෙනවා. ඒ සියල්ල අබිබවා ‘රන් ලංකා’ වෙබ් රේඩියෝ නාලිකාව දුර ගමනක් ඇවිත්. රැල්ලෙන් මිදුණු ‘රන් ලංකා’ රේඩියෝ නාලිකාවේ අධක්‍ෂිකා ලෙස කටයුතු කරන මාධ්‍යවේදනී දිනිති ජාලියගොඩ රන් ලංකා රේඩියෝ එකට අවුරුදු 4ක් ගෙවීමත් සමඟ අපිත් එක්ක ඒ ගැන කතා කළේ මේ විදියට.
‘රන් ලංකා’ වෙබ් රේඩියෝ වසර හතරක් ආපසු හැරී බලන කොට මොකද හිතෙන්නේ?
විiුත් නාලිකා රැසක නිවේදන කටයුතු කරමින් ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ලෙසට කටයුතු කළ රාජිනී ජාලියගොඩ මගේ ආදරණීය නැන්ද තමයි ‘රන් ලංකා’ වෙබ් රේඩියෝව 2016 වර්ෂයේ ආරම්භ කළේ. ඒත් නැන්දා පසුගිය වසරේ ගිහි ජීවිතය අතහැර, දෙහිව භාරතී මෙහෙණින් වහන්සේ ලෙසට ශාසනයට ඇතුළු වීමත් සමඟ තමයි මට ‘රන් ලංකා’ රේඩියෝ නාලිකාව ඉදිරියට ගෙන යෑමට සිදුවන්නේ. එතුමියගේ අනුශාසනා පරිදි සාර්ථක ගමනක් ඇවිත් කියලා හිතනවා.
ළාබාලතම මාධ්‍යවේදිනියක් වගේ ‘රන් ලංකා’ වෙබ් රේඩියෝ නාලිකාවේ අධ්‍යක්‍ෂිකාවක් ලෙසට කටයුතු කිරීම අසීරු කර්තව්‍යයක් නෙවේද?
අපහසුතාවක් නැතුවා නෙවෙයි. නමුත් ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ උපදෙස් අරගෙන ඉදිරියටත් මෙය හොඳින් කරගෙන යෑම තමයි අදහස. මොකද මමත් මෙම ආයතනයේ ප්‍රධානියා ලෙසට කටයුතු කරන නිසා කණ්ඩායමක් හැසිරීම අපහසුයි. එහෙත් සියලුම දෙනාගේ සහායත් වගේම උත්සාහයත් තිබෙන නිසා වැඩ කරගෙන යෑමට පහසුවක් දැනෙනවා.
විදේශීය ශ්‍රමිකයන් උදෙසා නේද මෙම වෙබ් නාලිකාව ආරම්භ කළේ?
ඇත්තටම ඔව්. එහෙම අරමුණු කරගෙන තමයි අපි මෙය ආරම්භ කළේ. කැනඩාව, ඇමෙරිකාව, ඕස්ටේ්‍රලියාව විදේශීය ප්‍රේක්‍ෂකයන් පිරිසක් අප සමඟ බැඳිලා ඉන්නවා. නමුත් සමීක්‍ෂණයක් වශයෙන් ගත්තාම එයට වඩා ශ්‍රවණ පිරිසක් ලංකාවේ අප සමඟ ඉන්න එක සතුටුයි.
මාධ්‍ය ගැන හැදෑරීමක් ඇතිවද මෙවැනි තනතුරක් බාර ගත්තේ?
නාලිකාව මට බාර දෙන විට ඒ සම්බන්ධව කිසිම දැනීමක් තිබුණේ නැහැ. නමුත් පසුකාලීනව මම ජනමාධ්‍ය ගැන හැදෑරීමක් කළා. ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී යටතේ මම හැදෑරීමක් කළා. ඒ හරහා පසුකාලීනව හොඳම නිවේදිකාවට වගේම දක්‍ෂතම නිවේදිකාවටද සම්මාන ගත්තා.
ඉදිරි සැලසුම කොයි වගේද?
කරන්නම් වාලේ කරන වැඩක් නෙවෙයි මේක. රැල්ලෙන් මිදුනු ශ්‍රාවකයන්ට උසස් දැනුමක් ලබා දෙමින් තමයි අපි වැඩසටහන් කරගෙන යන්නේ. ලබන වසරේ සිට අලුත් වැඩසටහන් කිහිපයකුත් එකතු කරමින් අලුත් මුහුණුවරකින් කරගෙන යෑමට සැලසුම කරනවා. ඒ වගේම රේඩියෝ රන් ලංකා සාර්ථක කරගන්න මහන්සි වෙන අපේ කාර්්‍ය මණ්ඩයත් ඇතුළු අපට සහයෝග දෙන සියලු දෙනාවම මතක් කරනවා.
වසන්ත විතාරණගේ











