ඔබටම දැනගන්න ක්‍රමයක්
අහස් සිතියමේ සනිටුහන් වන ග්‍රහ හැසිරීම් අනුව ජන්මලාභය ලැබූ මොහොතේ සකස් කරන කේන්දරය බලවත් ග්‍රහයෝග රැසක්ම ජ්‍යොතිෂයේ දක්වා ඇත්තේය. පහතින් දක්වන ග්‍රහ යෝග කේන්දර හිමියාට සුබපල උදාකරන යෝගයක් ලෙස සලකනු ලැබේ. එහෙත් යෝගකාරකීය ග්‍රහයන්ගේ තත්ත්වය අනුව පලාපල වෙනස් වන්නේය. ග්‍රහයෝග ගැන පලාපල සෙවීමේදී රවිගේ බලයත් ග්‍රහයාගේ සොබාවික ගති ලක්‍ෂණත් යෝගය යෙදී ඇති රාශියේ ස්වභාවයත් සැලකීම මැනවි. මෙවැනි රාජ යෝගයන් සිය ගණනක් ජ්‍යොතිෂයේ දැක්වෙයි. මේ අතර කාලසර්ප වැනි යෝගයන්ද කේන්දරවල පිහිටා තිබේ. මෙකී යෝගයන් පිළිබඳ නිරීක්‍ෂණය කරන විටදී කේන්දරයේ ග්‍රහ හැසිරීම් රටාව ගැන ඉතා සියුම්ව බැලිය යුතු වන්නේය. ඒ ඒ යෝග පලදෙන කාලසීමාවන්ද සෙවිය යුතුය. සමහරවිට යෝග පලදෙන්නට නොහැකි තත්ත්වයක්ද උදාවනු ඇත. යෝග කේන්දරයේ තිබුණු පමණින්ම එකවරම කරුණු ගැන තීරණය කිරීම බුද්ධිමත් නොවේ. ඔබට ඔබේ දරුවාගේ කේන්දරය ඉතා පරෙස්සෙමෙන් පරීක්‍ෂා කළහොත් මේ තත්ත්වයන් හඳුනාගෙන අනාගතය ගැන ඉඟියක් ලබාගත හැකිවනු ඇත.
වාශි යෝගය
සඳු, රාහු, කේතු යන තිදෙනා හැර අන් කවර ග්‍රහයකු හෝ රවිට 12 වැනි රැසේ සිටීම වාශී යෝගයකි. සමාජයේ බුහුමන් ලබන කීර්තිමත් ජීවිතයක් ගෙවයි.
වෝශී යෝගය
සඳු, රාහු, කේතු හැර අන් කවර ග්‍රහයෙක් හෝ රවිට දෙවැන්නේ සිටීමෙන් වෝශී යෝගය උදාවෙයි. රාජ්‍ය තනතුරු ලබන ප්‍රකට දැවැන්ත ධනවතෙක් වෙයි.
උභයචාරී යෝගය
රවිට 2 වැන්නේ සහ 12 වැන්නේ ඉහත සඳහන් අන්දමට ග්‍රහයන් පිහිටීම උභයචාරී යෝගය වෙයි. මහජන ප්‍රසාදය ලබමින් දේශපාලනයේද නියුතු සැපවත්, ධනවත් ජීවිතයක් නිර්මාණය කරනු ඇත.
සුනථා යෝගය
රවි, රාහු, කේතු හැර අන්‍ය ග්‍රහයෙක් සඳුට 2 වැන්නේ සිටීමෙන් සුනථා යෝගය උදාවෙයි. ධාර්මික වූද, උගත්, බුද්ධිමත්, නීරෝගී ගුණවතෙක් වෙයි.
අනථා යෝගය
ඉහත සඳහන් අන්දමට රවි, රාහු, කේතු හැර අන්‍ය ග්‍රහයෙක් සඳුගේ 12 වැන්නේ යෙදීම අනථා යෝගයයි. කථිකත්වයෙන් යුත් දක්‍ෂ සන්සුන්, ධනවත්, නිරෝගී ප්‍රභූවරයෙක් වෙයි.
ධුර ධුරා යෝගය
ඉහත අන්දමට අනථා, සුනථා යෝග දෙක එකවර යෙදුණු විට එය ධුර ධුරා යෝගය වෙයි. යාන – වාහන හිමි සෞභාග්‍යවත්, ත්‍යාගශීලී කෙනකු වෙයි
හංස යෝගය
ගුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව කේන්දරයේ 1, 4, 7, 10 යන කේන්දර ස්ථානගතව සිටීමෙන් හංස යෝගය උදාවෙයි. රූප සම්පත්තිය, ගුණය, විනීතකම, බුද්ධිය, කීර්තිය, සම්පත් බහුල වෙයි.
මාලවී යෝගය
ශුක්‍ර ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව 1, 4, 7, 10 ස්ථානයක වූ විට මාලවී යෝගය වෙයි. කලාවට ළැදි ඉගෙනීමේ හා සෞන්දර්ය අංශයේ දක්‍ෂ නිර්මාණකරුවෙක්ද, රූමත් කෙනෙක්ද වෙයි.
භද්‍රා යෝගය
බුධ උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව 1, 4, 7, 10 යන තැනක යෙදීමෙන් බුද්ධිමත් ව්‍යාපාරවලින් ජයගන්නා කෙනකු වෙයි. ධනවත් වෙයි.
රුචක යෝගය
කුජ 1, 4, 7, 10 උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව සිටීමෙන් නිර්භීතකම, සතුරන් නැසීම, ආත්ම ශක්තිය, රණ ශූරත්වය, ප්‍රධානත්වය, භූමි හා ධන සම්පත් හිමිවෙයි.
අධි යෝගය
සඳුගෙන් 6, 7, 8 රාශිවල රාහු – කේතු හැර අනෙක් ග්‍රහයන් හයදෙනා සිටි විට අධි යෝගය උදාවෙයි. ආර්ථිකව සුවශේෂී දියුණුවට පත්වෙයි. ප්‍රසිද්ධ චරිතයකි.
චතුශ්සාර යෝගය
සියලු ග්‍රහයන් 1, 4, 7, 10 යන සතර කේන්දර ගතවීමෙන් මේ යෝගය යෙදේ. ලෞකික සැප සම්පත් ලබන වාසනාවන්ත දූදරුවන් ලබන ජනතා තීරණය වහා දිනන ප්‍රසිද්ධ පුද්ගල චරිතයක් වෙයි.
වාසුමතී යෝගය
බුධ, ගුරු, සඳු, සිකුරු මේ ග්‍රහයන් ලග්නයෙන් 3, 6, 10, 11 කුණ්ඩලියක සිටීමෙන් වාසුමතී යෝගය යෙදේ. වාසනාව උපතින්ම ලබයි. සාර්ථක යුගදිවියක් ගෙවයි. බුද්ධිය, ධනය සැප-සම්පත් බහුල වෙයි.
පර්වත යෝගය
1, 4, 7, 10 යන තැන් සතරේ සුබයන් සිටියදී 3, 8, 12 කිසිම ග්‍රහයෙක් නොසිටීමෙන් පර්වත යෝගය සෑදේ. මෙලොව සැපසම්පත් බහුලව ලබන කීර්තිමත් දේශපාලනයේ මුදුන් පෙත්තටම යන අති දක්‍ෂ අයකු වෙයි. ජනප්‍රියත්වය හිමිවෙයි.
මහා භාග්‍ය යෝගය
පුරුෂ කේන්දරයක නම් ලග්නය විෂම රාශියක් වී රවි – චන්ද්‍ර සම රාශිවල සිටීමෙන්ද ස්ත්‍රී කේන්දරයක නම් ලග්නය සම රැසක් වී රවි – චන්ද්‍ර සම රාශිවල සිටීමෙන්ද මෙම යෝගය යෙදේ. පවිත්‍ර චරිතයකි. දිගාසිරි අත්වෙයි. දරු මුණුපුරන් ලබයි. සැපවත් ජීවිතයක් ගෙවනු ඇත.
ලක්‍ෂ්මී යෝගය
ලග්නාධිපති බලවත්ව සිය 9 වැන්නාධිපති, ස්වක්‍ෂේත්‍රව හෝ උච්ච ක්‍ෂේත්‍රවය කේන්දරයේ හෝ ත්‍රිකෝණගත වීමෙන් ලක්‍ෂ්මී යෝගය යෙදේ. මහජන ප්‍රසාදයට පත්වෙයි. සෞභාග්‍යය උදාවෙයි. ධනය ලැබේ. සිටින තැන බබළනු ඇත.
ශ්‍රීනාථ යෝගය
ස්වක්‍ෂේත්‍ර වූ 7 වැන්නාධිපති, 9 වැන්නාධිපති සමඟ 10 වැන්නේ සිටීමෙන් ශ්‍රීනාථ යෝගය උදාවෙයි. ධනුවට සීමා විය හැකිය. මෙම යෝගය රාජ්‍යත්වයත්, රාජ්‍ය තනතුරක් ලබයි. දේශපාලනයට ඉතා සුදුසුයි.
මෙම යෝගවලට අමතරව තවත් යෝග විශාල ප්‍රමාණයක් ජ්‍යොතිෂය තුළ පැහැදිලිව පෙන්වා දී තිබේ. ඒ ඒ යෝග අනුව ජන්මියාට ලැබෙන ලැබීම් තත්ත්වයන් වෙනස් වන අතර, පලදෙන කාල සීමාවන්ද වෙනස් වනු ඇත.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











