අහස් මාලිගා ටෙලිනාට්‍යයේ මගේ චරිතය ගැන ගොඩක් දෙනෙක් කතාකළා…
මේක මට අලුත් දෙයක්…
කලා ක්‍ෂේත්‍රයට විවිධ මාදිලියේ නිර්මාණකරුවන් සම්බන්ධ වෙනවා. ඒ සියල්ලට වඩා බැරෑරුම් දෙයක් තමයි නිෂ්පාදන ක්‍රියාවලිය. ඉතින් මේ දවස්වල ඔබ ආදරයෙන් නරඹන පවුලේ කතාවක් තමයි ‘නෑනලා’ ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යයේ සම නිෂ්පාදනයෙන් සම්බන්ධ වුණු ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි හිරුණි රණසිංහ. රංගනය වගේම නිෂ්පාදනය පැත්තෙන් ඇය ලබපු අත්දැකීම් ගැන අප කතාබහ කළා.
හිරුණි රඟපෑම අතහැරලා නිෂ්පාදන පැත්තට යොමුවෙලාද?
අනේ නැහැ. අහම්බෙන් තමයි මම නිෂ්පාදනය පැත්තට යොමුවන්නේ. රඟපෑමෙන් කවදාවත් ඉවත් වීමට අදහසක් නැහැ. ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ සම නිෂ්පාදකවරියක් විදියට කටයුතු කළා.
කොරෝනා කියලා ඔබට දැන් විවේකීව ඉන්න තරම්වත් කාලයක් නැති තරමට වැඩ වැඩියි නේද?
ඒකනම් ඇත්ත. ඒ තරමට කාර්යබහුලයි. ටෙලිනාට්‍ය පහක රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. එයට අමතරව නිෂ්පාදන වැඩකටයුතු පැත්ත බලන්න සිදුවෙනවා.
මේ දවස්වල ඔබ සම්බන්ධ වෙන නිර්මාණ ගැන කතා කළොත්?
අහස් මාලිගා, අගස්ති පියාපත්, පුළිඟු, නෑනලා ටෙලිනාට්‍යවල විවිධ චරිත නිරූපණය කරනවා.
ඒ නිර්මාණ අතර ඔබව කතාබහට ලක්වුණේ?
‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යයේ මගේ චරිතය ගැන ගොඩදෙනෙක් කතාබහ කළා. ලැබුණු ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් එක්ක මේ දවස්වල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ ‘සුභාණි’ චරිතයටත් ප්‍රේක්‍ෂකයන් විශේෂ ආදරයක් දක්වන බව දැනෙනවා.
නිෂ්පාදකවරු නිර්මාණවලට ඇඟිලිගහන බව පවසනවා, ඔබත් එහෙමද?
‘නෑනලා’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නේ අපේ ටෙලිනාට්‍ය කලාව පෝෂණය කිරීමට දහදිය, කඳුළු හෙළපු යතිවරයෙක්. එහෙම බලන කොට මම මහපොළොවේ වැලි කැටයක් වගේ. මම වගේම ‘නෑනලා’ ටෙලිනාට්‍යයට බුද්ධික ලොකුකැටියත් නිෂ්පාදනයෙන් දායක වෙනවා. ඉතින් ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ නාලන් මෙන්දිස්ට සම්පූර්ණ නිදහස අපි දීලා තියෙන්නේ නිර්මාණ කරගෙන යෑමට. පිටිපස්සක ඉඳගෙන අපේ ‘නෑනලා’ කණ්ඩායම ඔහුට ශක්තියක් වෙනවා.
දැන් ඉතින් ඔබ නිෂ්පාදිකාවක් නිසා ඔබට කැමැති චරිතයක් ඉල්ලගෙන වැඩදාන්න පුළුවන් නේද?
අපෝ කවදාවත් මම එහෙම හිතලා නැහැ. නිෂ්පාදනය මට අලුත් දෙයක්. ‘නෑනලා,’ හි ‘සුභාණි’ චරිතයට මාව තෝරා ගත්තාට පස්සේ තමයි මම සම නිෂ්පාදනයට සම්බන්ධ වුණේ. ඉතින් මට ගැළපෙන චරිතයක් තිබුණොත් අධ්‍යක්‍ෂවරුන් මාව තෝරාගනීවි. එහෙම නොවුණා කියලාවත් මගේ කිසිම තරහක් නැහැ.
නිෂ්පාදකවරුන් ටෙලිනාට්‍ය විකාශය කරගන්න බැරිව අසරණ වන කාලවකවානුවක ඔබ මෙවැනි දෙයකට සම්බන්ධ වුණේ?
එය ගැන මමත් දන්නවා. ලොකු රිස්ක් එකක් තමයි. මමත් දන්නවා ටෙලිනාට්‍ය පෝලිමක් තිබෙන බව. නිෂ්පාදකවරුන් අමාරුවේ වැටිලා. මම මේ වෙලාවේ ස්තුතිය පුදකරනවා ජාතික රූපවාහිනියට. ‘නෑනලා’ට ඉඩකඩ වෙන්කළාට.
හැම ප්‍රශ්නයකදීම අවසානයේ චෝදනා නඟන්නේ නිෂ්පාදකවරුන්ට. ඔබටත් ප්‍රශ්න පිට ප්‍රශ්න ගලාගෙන එනවා ඇති?
‘නෑනලා’ නාට්‍යය කණ්ඩායමේ සියලුම ශිල්පීන් අපිට ලොකු සහායක් ලබා දෙනවා. ඒ සියලුම දෙනාටම ස්තුතියි. චෝදනා කළත් අදාළ කෙනා සමඟ කතා කරන්නැහැ. පිට අය සමඟ කතාබහ කරන බව මමත් දැකලා තියෙනවා. හැබැයි ඒ කිසිම ප්‍රශ්නයක් අපේ කණ්ඩායමේ නැහැ. ගොඩදෙනෙක් බලන්නේ වැරැදි නැතත්, වැරැදි මවලා පෙන්වන්න තමයි.
අලුත් පරපුරට පාර හදපු කෙනෙක් නේද ඔබ?
නවක ශිල්පීන්ට මම ගොඩාක් උදවු කළා මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට. නමුත් පසුකාලීනව මුල මතක නැතුව අපිවත් කපාගෙන යනවා. ඔවුන්ට එන්න කිවුවත් එන්නේ නැහැ. වෙලාවට වැඩ කිරීමේ පුරුද්දක් නැහැ. ඉතින් අවස්ථාවක් දෙන එක මම අඩු කළා. එහෙමත් තෝරාගත්ත ළඟින් ඉන්න පිරිසකට මම උදවු කරනවා.
අද මොකද හිතෙන්නේ නිෂ්පාදනය පැත්තට යොමුවීම ගැන?
එය ගැන මට හිතාගන්න බැහැ. ඉතාමත් පොඩි වයසක් තුළ මෙවැනි කර්තව්‍යයකට සම්බන්ධ වීම ගැන සතුටුයි.
වසන්ත විතාරණගේ











