‘කිසි ලෙඩක්, දුකක් නැතිව හරි අපූරුවට හිටපු අපිට මෙහාට ආවට පස්සේ ලෙඩවල ඉවරයක් නැහැ’ මහත්තයා යනුවෙන් පවසමින් දිනක් මා හමුවන්නට පැමිණි කාන්තාවක පැවැසුවේ හෙම්බත් වූ ස්වරූපයෙන්. ඇගේ කායික මෙන්ම මානසික මට්ටමත් පිරිහීමට පත්ව ඇති බව බැලූබැල්මටම පැහැදිලිව පෙනුණා. එහෙත් ඇය පවසන ආකාරයට ඔවුන් අසනීපවලට මුහුණ දෙන්නට පටන්ගෙන තිබුණේ ඉතා මෑතදි. ඒ අනුව ඇගෙන් විස්තර විමසූ විට පැවැසුවේ, තමන් සහ පවුලේ අය මෙයට ප්‍රථම කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි බවත්, ඒ කාලයේ තම පවුලේ අයට කිසිදු රෝග පීඩාවක් නොවූ බවත්ය. එහෙත් තමන් ඇතුළු පවුලේ අය දැන් සිටින නිවෙසට පැමිණි පසු සියලුදෙනාටම නිතර, නිතර අසනීප වන බවත්, මේ නිසාම හිතට නිදහසක් නැති බවත් ඇය වැඩිදුරටත් කියයි. ඒ අනුව ඇගේ ඉල්ලීමට පදිංචි නිවෙස පරීක්‍ෂාකර බැලීමට මාහට පැවරිණි.
නිවෙස ඉදිරිපිටට යද්දී සිතට ආවේ මෙතරම් සුන්දර පරිසරයක මනස්කාන්ත අයුරින් පිහිටා තිබූ මෙම නිවෙසේ වාස්තු දෝෂ ඇත්ද යන්නයි. මන්ද, පරිසරයේ පිහිටීමට ගැළපෙන අයුරින් වර්ණ ගන්වා ඉතා අලංකාරව එම නිවෙස ඉදිකර තිබිණි. එහෙත් ගෘහණියගේ තොරතුරු අනුව එහි පදිංචිව සිටි පිරිසට නම් සුවදායී ජීවිතයක් උරුමව තිබුණේ නැත.
නිවෙස තුළට පිවිසි විගස පෙර තිබූ මානසික මට්ටම ක්‍ෂණිකව වෙනස් වන බව ප්‍රධාන පියස්ස යටදීම අවබෝධ විය. ප්‍රධාන උළුවස්ස යටම තිබුණේ නිවෙසේ අලංකාරය උදෙසා ඉදිකළ කුඩා පල කිහිපයකට බෙදූ වහලයක් සහිත කොටසකි. එහි කුරුපා සවි කිරීමෙන් යටලී මූට්ටුත් අතිශය දෝෂ සහිත බව බැලූ බැල්මටම හැඟී ගියේය. ඒ අනුව එම වහල කොටස පල දෙකකට බෙදා දෝෂ ඉවත් කරන්නට හැකි බව පැහැදිලි කළ අතර, නිවෙසේ ඇතුළත දොරවල් සහ ජනෙල් පිහිටා තිබුණු ආකාරය අනුව ඉදිරි දොරෙන් ඇතුල් වෙද්දී පිටුපස දොරෙන් පිටත දර්ශනය විය. එයද නිවැසියන්ට සහ ආර්ථිකයට සුබදායක නොවන්නකි.
නිවෙසේ ගෘහණිය නිතර, නිතර අසනීප වීමට ප්‍රධාන හේතුවක් ඇත්ද යන්න සොයා බලද්දී වඩාත් අවධානය යොමු කළ යුතු කොටස වන්නේ මුළුතැන්ගෙයයි. එය නිවැරැදි වාස්තුවකට අනුව පිහිටා ඇති නිවෙසේ සතුටත්, සමගියත්, නිරෝගීතාවයත් උතුරා යයි. එහෙත් එම නිවෙසේ මුළුතැන්ගෙය නිවැරැදිව දිශා ගතකොට ඉදිකර තිබුණෙද නිවෙස තනන්නට පෙර ඉදිකර තිබූ වැසිකිළිවළකින් අඩක් මුළුතැන්ගෙයට හසුවී තිබිණි. එයද නිවෙසේ මුල්ලකට හසුවන අයුරින් තිබුණු අතර, එයින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අභියෝගයට ලක්ව තිබිණි. මේ ආකාරයට නිවෙසක් තුළ වැසිකිළි වළක් පිහිටීමෙන් එම නිවෙසේ පදිංචිකරුවන් රෝග සඳහා ගන්න ඖෂධවල නියම ගුණ ශරීරවලට නොදෙන්නත් හේතු වෙනවා. එසේම නිවෙසක වැසිකිළි වගේම කුණු, ඉඳුල් සෝදන ස්ථානයන්ද වාස්තුව අනුව නිසි තැන්වල ස්ථානගත නොකළහොත් එය අසුබ විය හැකිය.
මේ කාලය ඇතැම් පිරිස් වාස්තු හෝ සෞඛ්‍ය ගැන නොසිතා ඇසට ප්‍රිය වෙන්නට, දකින්නන්ට ප්‍රිය වෙන්නට මෙන්ම වියදම සීමා කරන්නට සිතා ඉතා කුඩා පලවලට බෙදමින් පියවර කිහිපයක් යටතේ වහලය ඉදිකරන්නට පෙලඹෙයි. මෙය වාස්තුවට අනුව කළහොත් අලංකාරය සේම සෞඛ්‍ය ආරක්‍ෂාවද ලැබුණත් එසේ නොවීමෙන් සිදුවන්නේ මහා අයහපතකි. නිවෙසක ඉහළම මහලයේ මුදුන් යටලීය ගෘහමූලිකයාට තදින්ම බලපාන බැවින්, එය ඉතා නිවැරැදිව පිහිටුවිය යුතුය. එහිදී ගෘහමූලිකයාගේ උසට වඩා දිගින් අඩු යටලීයක් යෙදුවහොත් ඔහුට විශාල සෞඛ්‍ය තර්ජනයකට මුහුණපාන්නට සිදුවෙයි. එනිසා නිතරම මුදුන් යටලීය කොටස් කිහිපයක් එකට සවි කළ එකක් නම් එම කොටස් සියල්ල පෙර කියූ ආකාරයටම දිගින් වැඩි විය යුතුය. එම කොටස් ප්‍රමාණය ඔත්තේ සංඛ්‍යාවක් වීමද වඩාත් සුදුසු වෙයි. එමෙන් සියලුම මූට්ටු සඳහා ලී ඇණ භාවිත කළ යුතුය. මූට්ටු යොදන විට පරාල මූට්ටු හෝ වෙනත් මූට්ටු එකට නොයෙදෙන ලෙස යෙදීමත් වැදගත් සහ නිවැරැදි වෙයි.
මේ නිවැසියන් තවත් වරදක් සිදුකරගෙන ඇති බව පැහැදිලි වූයේ නිවෙසේ නැඟෙනහිර දෙසින් අමුතුවෙන් ඉදිකර තිබූ කොටසිනි. ඉන් දෝෂ ගණනාවක් නිවෙසට එකතු වී තිබූ බව පෙනෙන්නට තිබිණි. ඒ අනුව එම කොටස ඉවත් කළයුතු බව පැහැදිලිව පෙනුණේය. මේ සියලු කාරණා සමඟ නිවෙසේ පිවිසුම් ගේට්ටුවේ පිහිටීමත් දෝෂ සහිත වී තිබුණු අතර, එයට හේතු වී තිබුණේ නිවෙසට නැඟෙනහිරින් එකතු කර තිබූ කොටසයි. එම කොටස වෙනස් කිරීමෙන් පසුව ගේට්ටුවේ පිහිටීමත් නිවෙසේ පිහිටීමත් ගැටලු රහිත තත්ත්වයට පත්කරගත හැකි විය.
කෙසේ නමුත් වර්තමානයේ ඉදිකිරීම් කටයුතු කරන බොහෝ දෙනකුට පැවැසීමට ඇත්තේ, තම හිතුමතේට නිවෙසට කොටස් එකතු කිරීම සහ නිවාස ඉදිකිරීමට යෑම මුදලත්, ජීවිතයත් විනාශ කරගැනීමක් බැවින් නිසි පරිදි අවශ්‍ය උපදෙස් ඇතුව නිසි පදනමකට එම කටයුතු කරගැනීම ඔබගේ අනාගත සුබ සිද්ධියට හේතුවනු බවයි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර











