ලග්නාධිපති ග්‍රහයා ලග්න භාවයේ නම් (පළමුවැනි කොටුව)
කිසිදු ආකාරයකට ප්‍රති උපකාර ගැන නොසිතා අන් අයට උදව් කරන්නට පෙලඹේ. තම කටයුතු උසස් ලෙස ඉටු කරයි. උත්සාවන්තකම නිසා උත්පත්ති තත්ත්වයට වඩා උසස් තැනකට පත්වේ. ආත්ම ගෞරවය අගය කරයි. එය ආරක්ෂා කරගනී. ජය පරාජය සමව පිළිගනී. ලග්නාධිපති මටසිලිටු ගතිගුණ ඇති ග්‍රහයකු නම් නම්‍යශීලී ගතිගුණද, රළු ග්‍රහයකු නම් දරදඬු ගතිගුණද ඇත්තෙක් වෙයි.
ලග්නාධිපති දෙවැන්නේ නම්
සිල්වත් ධාර්මික ගතිගුණ බහුල වේ. ඉපැයීම් මාර්ග ගැන නිතර නිතර සිතයි. ධාර්මික බව අඩුය. නිතරම තමන් ගැනත් තමන්ගේ අය ගැනත් සිතන්නට පෙලඹෙයි. එක් දෙයකින් පරාජය පිළිනොගනී. එකක් වැරදුණු විට තවත් දෙයක් අරඹයි. උත්සාහවන්තය. කතාවෙන් සියල්ල ජයගත හැකිය.
ලග්නාධිපති තුන්වැන්නේ නම්
තම කටයුතු කෙරේ අධික විශ්වාසයෙන් කටයුතු කරන්නෙකි. එහෙයින් තනි තීරණ ගෙන කටයුතු කරන්නෙකි. තීරණ ගැනීමේදී ඉක්මන් නොවෙයි. සතුරන් පරාජයට පත්කරයි. ආරම්භ කළ කිසිවක් පහසුවෙන් අත් නොහරී. අසාර්ථක වූ දේවල් ගැන පසු නොතැවෙයි. ළාබාල වයසේදීම ආර්ථිකය ගැන සිතල කටයුතු කරයි. සඳු, බුධ, ගුරු, ශුක්‍ර වැනි ග්‍රහයින් තුන්වැන්නට සුබය. පිරිසිදුකමට මුල්තැනක් දෙයි.
ලග්නාධිපති හතර වැන්නේ නම්
නිතරම තම මව්පියන් ගැන සිතා කටයුතු කරන අතර ඔවුන්ට නිතැතින්ම ආදරය කරයි. ඔවුන්ට විශේෂ අවස්ථාවක් උදාකරයි. ගේ දොර ඉඩකඩම් හා වාහන ලැබීමට වාසනාව ඇත. අන්‍ය සිත් රිදවීමට ප්‍රිය නොවේ. සාමයෙන් සමගියෙන් වැඩ කරයි.
ලග්නාධිපති පස්වැන්නේ නම්
අධ්‍යාපනය අතින් ඉදිරියට යෑමේ දැඩි හැකියාවක් සහ උනන්දුවක් සිත තුළ ඇත. සිත කලබල නැත. හික්මීමෙන් සහ සන්සුන්ව කටයුතු කරයි. අනුන්ට කරදරයක් වීමට කැමැති නැත. තමන් ජීවිතයේ ලබාග්නනා අද්දැකීම් ඇසුරින් ජීවිතය ජයගනී. එහෙත් පස්වැන්නට කුජ සුබ නැත. දරුවන්ට අපල ගෙනදිය හැක. බොහෝ විට තරගකාරී කටයුතුවලින් ජය අත්වීමට ඉඩ තිබේ.
ලග්නාධිපති හයවැන්නේ නම්
සතුරන් පැරදවීමේ උපන් හපනෙකි. නිරෝගී වේ. සතුන්ට ආදරය කරයි. පවුලේ සියල්ලන් අභිභවා උසස් දිවියකට හිමිකම් කියයි.
ලග්නාධිපති හත්වැන්නේ නම්
මේ අයගේ විවාහ ජීවිතය අසාර්ථක සහ ප්‍රශ්න මැද ගතවීමට ඉඩකඩ තිබේ. බිරියට අසුබ ගෙනදේ. කුජ හෝ ශනි හත්වැන්නට සුබ නැත. අපල ගෙනදේ. පිරිමින්ගේ ජවය ශක්තිය හීන කරයි. නිතරම සහකරුට සහකාරියට නම්‍යශීලී කටයුතු කරන්නට සිදුවේ.
ලග්නාධිපති අටවැන්නේ නම්
ශරීරයේ අසනීප මතුවිය හැකිය. අවස්ථාවට උචිත අයුරින් කතා කරයි. කපටිකමින් අරමුණට ළඟාවීමට හපනෙකි. නඩුහබවලට පැටලේ. තම බිරියට පිටුපා කටයුතු කරන්නකු වේ. ගෙදරදොර සාමය අඩුවිය හැකිය.
ලග්නාධිපති නවවැන්නේ නම්
අධ්‍යාපන කටයුතු දක්ෂ ලෙස කරගනී. තම පවුලට හිතවත්ව කටයුතු කරයි. මව්පියනට පූජ්‍ය පක්ෂයට මෙන්ම ප්‍රභූන්ට ගරු කරයි. දුරදිග බලා කටයුතු කරයි. කාගේත් ගුරු සැලකිලි ලබයි. නිහතමානීය. රටේ ප්‍රසිද්ධ අයකු වෙයි. බොහෝදුරට දේශපාලනයෙන් ඉහළට යයි.
ලග්නාධිපති දහවැන්නේ නම්
බොහෝ අයගෙන් ගරු නම්බු ලබයි. මව්පියන්ට ඥාතීන්ට සලකයි. වැදගත් රැකියාවකින් ජීවිතය දිනයි. උත්සාහවන්තය. කාර්යක්ෂමය. ගේදොර ඉඩකඩම් ලබයි. කාලය අපතේ නොහරී. උපරිම පල නෙළාගනී.
ලග්නාධිපති එකොළොස්වැන්නේ නම්
තම පවුලේ අයට සහ ඥාතීන්ට හිතවත් වේ. ධනවත් වී ජීවිතය සාර්ථක කරගනී. උසස් විවාහයක් සිදුකර ගැනීමට හැකිවනු ඇත. කාගෙත් හොඳ දකී. සමාජයේ පිළිගැනීම ලබයි.
ලග්නාධිපති දොළොස්වැන්නේ නම්
සූදුවට හා මත්පැනට පෙලඹේ. නඩුහබුවලට පැටලීමට ඉඩ තිබේ. චරිතයද හොඳ නොවේ. නිතරම සොරකමට සිත යයි. උපන් ගමින් යෑමට සිදුවේ. බාල කාලය යහපත් නොවේ. ලග්නාධිපති දොළොස්වැන්නට සුබපල ලබාදෙනවා අඩුය.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්











